3. සුඤ්ඤත වර්‍ගය
3. 3. 1.
චූළසුඤ්ඤත සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි පුවරම් වෙහෙර මුවරමාපායෙහි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ සවස්කාලයෙහි පිළිසලනින් නැඟීසිටියාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේට අභිවාදනය කොට එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ආයුෂ්මත් ආනන්‍දස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ:
වහන්ස, එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි ශාක්‍යයන්ගේ නාගරක නම් නියම් ගම්හි වැඩ වසන සේක. වහන්ස, එහි දී මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි දී “ආනන්‍දය, මම දැන් ශුන්‍යතාවිහාරයෙන් බහුල කොට වෙසෙමි” අසන ලදි. හමුයෙහි දී පිළිගන්නා ලදි. ‘වහන්ස, කිම, මාගේ ඒ ඇසීම සුශ්‍රැත වේ ද? සුගෘහිත වේ ද? මනා කොට මෙනෙහි කරන ලද වේ ද? මොනොවට කළ විමසීමෙක් වේ ද?
ආනන්‍දය, ඒකාන්තයෙන් තොපගේ තෙල ඇසීම සුශ්‍රැත වෙයි, සුගෘහිත වෙයි, මනා කොට මෙනෙහි කරන ලද වෙයි, මොනොවට විමසන ලද වෙයි. ආනන්‍දය, මම පළමුවත් දැනුත් ශුන්‍යතවිහරණයෙන් බහුල කොට වෙසෙමි. ආනන්‍දය, යම් පරිදි මේ මුවරමා පැහැය ඇත් ගව අස් වෙළඹුන් ගෙන් ශුන්‍ය වේ ද, රන්රිදියෙන් ශුන්‍ය වේ ද, ස්ත්‍රීපුරුෂ සන්නිපාතයෙන් ශුන්‍ය වේ ද, (එතෙකුදු වුව) මේ අශුන්‍යතායෙක් ද ඇත. කිමෙක යත්: බික්සඟුන් නිසා වන ඒකත්‍වය යි. ආනන්‍දය, එපරිදි ම මහණ ග්‍රාමසංඥා මෙනෙහි නො කොට මනුෂ්‍යසංඥා මෙනෙහි නො කොට අරණ්‍යසංඥා පිණිස ඒකත්‍වයක් මෙනෙහි කෙරේ ද, ඒ මහණහුගේ අරණ්‍යසංඥායෙහි සිත දිවෙයි, පහදියි, මොනොවට සිටී, බැස ගනී. ඒ මහණ මෙසේ නුවණින් දන්නේ ය. ග්‍රාමසංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. මනුෂ්‍යසංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. (එතෙකුදු වුව) මේ දරථමාත්‍රයෙක් ඇත, කිමෙක යත්: අරණ්‍යසංඥා නිසා වන ඒකත්‍වය යි. ඒ මහණ ග්‍රාමසංඥාව පිළිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි නුවණින් දන්නේය. මනුෂ්‍යසංඥා පිළිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි නුවණින් දන්නේය. (එතෙකුදු වුව) අශුන්‍යතායෙක් ද ඇත, කිමෙක යත්: අරණ්‍යසංඥා නිසා වන ඒකත්‍වය යි (කියා ද දන්නේ ය). මෙසේ එහි යමෙක් නැද්ද, එයින් ඒ ශුන්‍ය යයි මොනොවට නුවණින් දනී. යමෙක් එහි ඉතිරි වේ ද, විද්‍යමාන වන එය ඒ මේ අශුන්‍යතාව ඇතැ’ යි නුවණින් දන්නේ ය. ආනන්‍දය, මෙසෙයිනුදු ඒ මහණ හට තෙල යථාභූතවූ අවිපර්‍ය්‍යස්ත වූ පරිශුද්ධ වූ ශුන්‍යතාවක්‍රාන්තියෙක් වෙයි.
තවද ආනන්‍දය, මහණ මනුෂ්‍යසංඥා සිත්හි නො කොට, අරණ්‍යසංඥා සිත්හි නො කොට, පෘථිවිසංඥා පිණිස ඒකත්‍වය සිත්හි කෙරෙයි. ඔහුට පෘථිවිසංඥායෙහි සිත අවතරණ කෙරෙයි. පහදී, මොනොවට පිහිටයි, නිශ්චයට බැසගනී. ආනන්‍දය, යම් පරිදි ගෙරි සමෙක් සියක්තුලින් මොනවට හිදුවන ලද්දේ පහවගිය රැළි ඇත්තේ වේ ද, ආනන්‍දය, එපරිදි ම මහණ මේ පොළොවෙහි යම් උස්පහත් තැන් ඇද්ද, නදීන් හා දුර්‍ගමස්ථාන ඇද්ද, කණුකටු තැන් ඇද්ද, පර්‍වතයෙන් විෂම වූ තැන් ඇද්ද, එ හැම සිත්හි නො කොට පෘථිවිසංඥා නිසා ඒකත්‍වය මෙනෙහි කෙරේ ද, ඔහුට පෘථිවිසංඥායෙහි සිත බසී, පහදී, මොනොවට පිහිටයි, නිශ්චය කොට ගනී. ඒ මහණ මෙසේ නුවණින් දනී: මනුෂ්‍යසංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද ඔහු මෙහි නැත. අරණ්‍යසංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. වැලිත් මේ දරථමාත්‍රයෙක් ඇත. කිමෙක යත්: පෘථිවිසංඥා නිසා වන ඒකත්‍වයයි කියා යි. හේ මනුෂ්‍යසංඥා පිළිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි නුවණින් දනී, අරණ්‍යසංඥා පිළිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි දනී, (එහෙත්) මේ අශුන්‍යතායෙක් ද ඇත. කිමෙක යත්: පෘථිවිසංඥා නිසා වන ඒකත්‍වයයි කියාත් දනී. මෙසේ එහි යමෙක් නැද්ද එයින් ඒ ශුන්‍ය යයි නුවණින් දකී, එහි යමෙක් ඉතිරි වැ ඇද්ද, විද්‍යමාන වූ එය ඇතැ’ යි නුවණින් දනී. මෙසෙයිනුදු ආනන්‍දය, ඔහුට යථාභූත වූ අවිපර්‍ය්‍යස්ත වූ පරිශුද්ධ වූ තෙල ශුන්‍යතාවක්‍රාන්තිය වෙයි.
තවද ආනන්‍දය, මහණ අරණසංඥා මෙනෙහි නො කොට, පෘථිවිසංඥා මෙනෙහි නො කොට, ආකාසානඤ්චායතනසංඥා නිසා වන ඒකභාවය මෙනෙහි කෙරෙයි. ආකාසානඤ්චායතනසංඥා පිණිස ඔහුගේ සිත බසී, පහදී, මොනොවට පිහිටයි, නිශ්චය කොට ගනී, හේ මෙසේ නුවණින් දනී: අරණ්‍යසංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. පෘථිවිසංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. (එහෙත්) මේ දරථමාත්‍රයෙක් ඇත. කිමෙක යත්: ආකාසානඤ්චායතනසංඥා නිසා වන ඒකත්‍වය කියායි. හේ අරණසංඥා පිළිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි නුවණින් දනී. පෘථිවිසංඥා පිළිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි නුවණින් දනී. එහෙත් මේ අශුන්‍යතායෙක් ද ඇත. කිමෙක යත්: ආකාසානඤ්චායතනසංඥා නිසා වන ඒකත්‍වය කියාද දනී. මෙසේ එහි යමෙක් නැද්ද, එයින් ඒ ශුන්‍ය යයි නුවණින් දකී, එහි යමෙක් ඉතිරි වැ ඇද්ද, විද්‍යමාන වූ එය ඇති’ යි නුවණින් දනී. ආනන්‍දය, මෙසෙයිනුදු ඒ මහණහට යථාභූත වූ අවිපර්‍ය්‍යස්ත වූ පරිශුද්ධ වූ තෙල ශුන්‍යතාවක්‍රාන්තිය වෙයි.
තවද ආනන්‍දය, මහණ පෘථිවිසංඥා මෙනෙහි නො කොට, ආකාසානඤ්චායතනසංඥා මෙනෙහි නො කොට, විඤ්ඤාණඤ්චායතනසංඥා නිසා වන ඒකභාවය මෙනෙහි කෙරෙයි. විඤ්ඤාණඤ්චායතනසංඥායෙහි ඔහුගේ සිත බසී, පහදී, මොනොවට පිහිටයි, නිශ්චයට යෙයි. හේ මෙසේ නුවණින් දනී: ‘පෘථිවිසංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද ඔහු මෙහි නැත. ආකාසානඤ්චායතනසංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. විඤ්ඤාණඤ්චායතනසංඥා නිසා වන යම් ඒකීභාවයෙක් වේ ද, මේ දරථ මාත්‍රා මතුයෙක් ඇත කියා යි. හේ පෘථිවිසංඥා පිළිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි නුවණින් දනී. ආකාසානඤ්චායතනසංඥා පිළිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි දනී. විඤ්ඤාණඤ්චායතනසංඥා නිසා එකඟභාවයෙක් වේ ද, මේ අශුන්‍යතා ඇති’ යි දනී. මෙසේ එහි යමෙක් නැද්ද, එයින් ඒ ශුන්‍ය යයි නුවණින් දකී, එහි යමෙක් ඉතිරි වැ ඇද්ද, විද්‍යමාන වූ එය ඇති’ යි නුවණින් දනී. ආනන්‍දය, මෙසෙයිනුදු ඒ මහණහට යථාභූත වූ අවිපර්‍ය්‍යස්ත වූ පරිශුද්ධ වූ තෙල ශුන්‍යතාවක්‍රාන්තිය වෙයි.