3. 3. 10.
දේවදූත සූත්රය
මා විසින් මෙසේ අසනලද: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩවසනසේක. එකල්හි භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්ෂූන් අමතාවදාළහ. ඒ භික්ෂූහු ‘පින්වතුන් වහන්සැ’යි භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්යවතුන් වහන්සේ තෙල දේවදූත සූත්රය වදාළ සේක:
මහණෙනි, දොර සහිත වූ ගෘහ දෙකක් යම්සේ ද, එහි ඇස් ඇති පුරුෂයෙක් මැද සිටියේ ගෙට පිවිසෙන්නා වූ ද ගෙන් නික්මෙන්නා වූ ද ගෙහි ඇවිදිනා වූ ද ඔබමොබ හැසිරෙන්නා වූ ද මිනිසුන් යම්සේ දකී ද, එපරිදි මැ මහණෙනි, මම විශුද්ධ වූ මිනිසැස ඉක්මසිටි දිවැසින් ච්යුත වන උපදනා හීනප්රණීත සුවර්ණ දුර්වර්ණ සුගත දුර්ගත සත්ත්වයන් දක්මි. කම් වූ පරිදි මියගිය සත්ත්වයන් දැනගනිමි.
මේ භවත් සත්ත්වයෝ ඒකාන්තයෙන් කායසුචරිතයෙන් යුක්ත වූවාහු වාක්සුචරිතයෙන් යුක්ත වූවාහු මනඃසුචරිතයෙන් යුක්ත වූවාහු ආර්ය්යෝපවාද නො කළාහු සම්යග්දෘෂ්ටි ඇත්තාහු සම්යග්දෘෂ්ටිකර්ම සමාදාන ඇත්තාහු වෙති. ඔහු කාබුන් මරණින් මතු ශෝභන ගති ඇති ස්වර්ගලෝකයට පැමිණියාහු ය. යළි මේ භවත් සත්ත්වයෝ කායසුචරිතයෙන් යුක්ත වූවාහු වාක්සුචරිතයෙන් යුක්ත වූවාහු මනඃසුචරිතයෙන් යුක්ත වූවාහු ආර්ය්යෝපවාද නො කළාහු සම්යග්දෘෂ්ටි ඇත්තාහු සම්යග්දෘෂ්ටිකර්ම සමාදාන ඇත්තාහු වෙති. ඔහු කාබුන් මරණින් මතු මිනිසුන් කෙරෙහි උපන්නාහු යැ.
මේ භවත් සත්ත්වයෝ ඒකාන්තයෙන් කායදුශ්චරිතයෙන් යුක්ත වූවාහු වාග්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු මනෝදුශ්චරිතයෙන් යුක්ත වූවාහු ආර්ය්යෝපවාද කළාහු මිථ්යාදෘෂ්ටි ඇත්තාහු මිථ්යාදෘෂ්ටිකර්මසමාදාන කළාහු වෙති. ඔහු කාබුන් මරණින් මතු ප්රේත විෂයට පැමිණියාහු යැ. යළි මේ භවත් සත්ත්වයෝ කායදුශ්චරිතයෙන් යුක්ත වූවාහු වාග්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු මනෝදුශ්චරිතයෙන් යුක්ත වූවාහු ආර්ය්යෝපවාද කළාහු මිථ්යාදෘෂ්ටි ඇත්තාහු මිථ්යාදෘෂ්ටිකර්මසමාදාන කළාහු වෙති. ඔහු කාබුන් මරණින් මතු තිරශ්චීනයෝනියට පැමිණියාහු යැ. යළි මේ භවත් සත්ත්වයෝ කායදුශ්චරිතයෙන් යුක්ත වූවාහු වාක්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු මනෝදුශ්චරිතයෙන් යුක්ත වූවාහු ආර්ය්යෝපවාද කළාහු මිථ්යාදෘෂ්ටි ඇත්තාහු මිථ්යාදෘෂ්ටිකර්මසමාදාන කළාහු වෙති. ඔහු කාබුන් මරණින් මතු අපාය වූ දුකට ගති වූ විවශ වැ පතිත වන නිරයට පැමිණියාහු යයි.
මහණෙනි, නිරයපාලයෝ ඒ සත්ත්වයා වෙන වෙන අත් ගෙන යමරජුට දක්වති. ‘දේවයිනි, මේ පුරුෂ මෑණියන් කෙරෙහි වරදවා පිළිපන්නෙක, පියාණන් කෙරෙහි වරදවා පිළිපන්නෙක, මහණුන් කෙරෙහි වරදවා පිළිපන්නෙක, ක්ෂීණාස්රව බමුණන් කෙරෙහි වරදවා පිළිපන්නෙක, කුලදෙටුවන් කෙරෙහි අපචායන නො කළ කෙනෙක, දේවයන් වහන්සේ මොහුට දඬුවම් පණවත්ව’ යි.
මහණෙනි, යමරජ තුලුන් අතින් පළමු වන දේවදූතයා අනුයෝග වතට නංවා ප්රශ්න කරයි. ලබ්ධි පිහිටුවා ප්රශ්න කරයි. කරුණු විචාරයි: එම්බා පුරුෂය, තෝ මිනිසුන් කෙරෙහි ප්රථම දේවදූතයා පහළවූවාහු නුදුටුයෙහි? හෙ මෙසේ කියයි: වහන්ස, නුදුටුමි’ යි. මහණෙනි, යමරජ තුලුනට මෙසේ කියයි: එම්බා පුරුෂය, තෝ මිනිසුන් කෙරෙහි මන්ද වූ උඩුහුරු වැ හෝනා සිය මලමූයෙහි ගැලුණු එහි හෝනා ළදරු කුමරුවකු නුදුටුයෙහි? හේ මෙසේ කියයි: ‘වහන්ස, දිටිමි’ යි. මහණෙනි, යමරජ තුලුනට මෙසේ කියයි: එම්බා පුරුෂය, විඥ වූ වෘද්ධ වූ තට තෙල සිත් නො වී නු? ‘මයිත් ජාතිස්වභාව ඇතියෙමි, ජාතිය නො ඉක්ම ගියෙමි, එබැවින් මම කයින් වචසින් මනසින් පින් කෙරෙමි’යි කියා යි. හේ මෙසේ කියයි: ‘වහන්ස, නො හැකි වීමි, වහන්ස, පමාවීමි’ යි. මහණෙනි, යමරජ තුලුනට මෙසේ කියයි: එම්බා පුරුෂය, පමා වූ බැවින් කයින් වචසින් මනසින් පින් නො කෙළෙහි යැ. එම්බා පුරුෂය, එයින් පමාවුවක්හට කරන්නාක් සෙයින් තට දඬුවම් කෙරෙති. තාගේ තෙල පාප කර්මය මව විසින් නො කරනලද, පියා විසින් නො කරනලද, බෑයා විසින් නො කරනලද, බුහුන විසින් නො කරනලද, මිත්රාමාත්යයන් විසින් නො කරනලද, නෑසහලේනෑයන් විසින් නො කරනලද මහණබමුණන් විසින් නො කරනලද, දෙවියන් විසින් නො කරන ලද, තා විසින් මැ තෙල පාප කර්මය කරන ලද, තො මැ තෙල පාප කර්මයාගේ විපාකය විඳිනෙහි’ යැයි.
මහණෙනි, යමරජ ඔහුට පළමු වන දේවදූතයා අනුයෝග වශයෙන් ප්රශ්න කොට ලබ්ධි පිහිටුවා ප්රශ්න කොට කරුණු විචාරා දෙවන දේවදූතයා අනුයෝගවතට නඟා විචාරයි, ලබ්ධි පිහිටුවා විචාරයි, කරුණු විචාරයි. එම්බා පුරුෂය, තෝ මිනිසුන් කෙරෙහි පහළ වූ දෙවැනි දේවදූතයා නුදුටුයෙහි? යි ‘නුදුටුමි වහන්සැ’ යි. මහණෙනි, යමරජ ඔහුට මෙසේ කියයි: එම්බා පුරුෂය, මිනිසුන් කෙරෙහි උපතින් අසූවයස් වූ හෝ අනූ වයස් වූ හෝ සියක් වසක් වූ හෝ ජාතියෙන් දිරූ ගොනැස්සක් සෙයින් වක් වූ බිඳුණු සිරුරු ඇති සැරයටිය පිහිට කොට ඇති වෙවුළමින් යන ආතුර වූ ගිය යොවුන්බව් ඇති කඬදත් ඇති පැසුණු කෙසේ ඇති ගිලිහුණු කෙස් ඇති මටතල වූ රැලිහුන් තලකැලැල් හුන් සිරුරු ඇති ස්ත්රියක හෝ පුරුෂයකු හෝ නුදුටුයෙහි දැ? යි. හේ මෙසේ කියයි: ‘දිටිමි වහන්සැ’ යි. මහණෙනි, යමරජ ඔහුට මෙසේ කියයි: ‘එම්බා පුරුෂය, විඥ වූ මහලු වියපත් තට තෙල සිත නො වී නු? ‘මම් වූ කලි ජරාසැහැවියෙමි, ජරාව නො ඉක්ම වූයෙමි, මම් එබැවින් කයින් වචසින් මනසින් කුසල් කෙරෙමි’යි කියා යි. හේ මෙසේ කියයි: ‘නො හැකි වීමි වහන්ස, පමා වීමි වහන්සැ’ යි. මහණෙනි, යමරජ ඔහුට මෙසේ කියයි: ‘එම්බා පුරුෂය, ප්රමාදවත් බැවින් කයින් වචසින් මනසින් කුසල් නො කෙළෙහි? එම්බා පුරුෂය, ඒකාන්තයෙන් තට ප්රමාද වූවකුට යම් සේ ද එපරිද්දෙන් කරන්නාහ. තාගේ තෙල පාපකර්මය මව විසින් නො මැ කරනලද, පියා විසින් නො කරනලද, බෑයා විසින් නො කරන ලද, බුහුන විසින් නො කරනලද, සගයහළුවන් විසින් නො කරනලද, නෑසහලේනෑයන් විසින් නො කරනලද, මහණ බමුණන් විසින් නො කරනලද, දෙවියන් විසින් නො කරනලද, තා විසින් මැ තෙල පාපකර්මය කරනලද, තො මැ තෙල කර්මයාගේ විපාකය විඳිනෙහි’ යැයි.