3. 3. 8.
උපක්කිලේස සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑනුවර ඝෝෂිතාරාමයෙහි වැඩවසන සේක. එකල කොසඹෑනුවර මහණහු හටගත් භණ්ඩන ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විවාදාපන්න වූවාහු උනුන් මුවසැතින් පෙළන්නාහු වෙසෙති. ඉක්බිති අන්‍යතර මහණෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේය. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ සිටියේය. එකත්පස් වැ සිටි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ: “වහන්ස, මේ කොසඹෑනුවර මහණහු හටගත් භණ්ඩන ඇති වැ හටගත් කලහ ඇති වැ විවාදයට පැමිණ, උනුන් මුවසැතින් පෙළමින් වෙසෙති. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ඒ මහණුන් කරා අනුකම්පා පිණිස වඩනේ මැනැව’යි ඇයැද සිටිමි” යි, භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් අධිවාසනා කළෝ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ මහණුන් කරා එළැඹි සේක. එළඹ ඒ මහණුනට තෙල වදාළෝ: “මහණෙනි, කම් නැත, නහමක් භණ්ඩන කරව, නහමක් කලහ කරව, නහමක් විග්‍රහකරව, නහමක් විරුද්ධවාද කරව” යි.
මෙසේ වදාළ කල අන්‍යතර මහණෙක් භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ: “වහන්ස, ධර්‍මස්වාමි වූ භාග්‍යවතුන් වහන්සේ බලන සේක්වා, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අල්පොත්සුක ව දෘෂ්ටධර්‍මසුඛවිහරණයෙහි අනුයුක්ත ව වැඩවසන සේක්වා. අපි තෙල භණ්ඩන කලහ විග්‍රහ විවාදයෙන් පැනෙම්හ” යි.
දෙවනුවටත් භාග්‍යවතුන් වහන්සේ ඒ මහණුනට තෙල වදාළෝ: “මහණෙනි, කම් නැත, භණ්ඩන නො කරව, කලහ නො කරව, විග්‍රහ නො කරව, විවාද නො කරව” යි.
දෙවනවටත් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ: “වහන්ස, ධර්‍මස්වාමි වූ භාග්‍යවතුන් වහන්සේ ඉවසන සේක්වා, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අල්පොත්සාහ ව ඉහාත්මසුඛවිහාරයෙහි අනුයුක්ත ව වසන සේක්වා. තෙල භණ්ඩනයෙන් කලහයෙන් විරුද්ධග්‍රහණයෙන් විරුද්ධවාදයෙන් අපි පැනෙම්හ” යි.
තෙවනවටත් භාග්‍යවතුන් වහන්සේ ඒ මහණුනට තෙල වදාළෝ: “මහණෙනි, කම් නැත, භණ්ඩන නො කරන්නේ මැනැව, කලහ නො කරන්නේ මැනැව, විග්‍රහ නො කරන්නේ මැනැව, විවාද නො කරන්නේ මැනැව” යි.
තෙවනවටත් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ: “වහන්ස, නවත්නේ මැනැව, වහන්ස, ධර්‍මස්වාමි වූ භාග්‍යවතුන් වහන්සේ නිරුත්සුක ව මෙලො වැ සුඛ විහරණයෙහි යෙදුණාහු වැඩවසන සේක්වා. අපි තෙල භණ්ඩන කලහ විග්‍රහ විවාදයෙන් පැනෙම්හ” යි.
එසඳ භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පාසිවුරු ගෙන කොසඹෑනුවර පිඬු පිණිස වැඩිසේක. කොසඹෑයෙහි පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළැකුණාහු සෙනසුන් සඟවාතබා, පාසිවුරු ගෙන සිටිවන සිටිසේක් ම මේ ගාථා වදාළ සේක:
සමානස්වරූප වූ මේ භණ්ඩනකාරක ජන තෙමේ මහාශබ්ද ඇතියේ යැ, කිසිවෙක් ‘මම බාලයෙමි’ නො සිතී, සංඝයා බිඳෙන කල්හි වැඩි පමණ වූ (මා නිසා සහසු බිඳෙති යන) අන් කරුණ නො සිතී.
යම් කලහයෙකින් මේ නිර්ලජ්ජභාවයට එළවන ලද්දාහු (මෙසේ මේ ආදීනව සහිතය යන) එ කරුණ නො දනිත් ද, ඔහු මුළාවූ සිහි ඇතියාහු පණ්ඩිතාභාස ඇතියාහු වාග්ගෝචර කොට ඇත්තාහු යම් තාක් මුව ඇයුම් කැමැති වෙත් ද, එතෙක් බණනාහු වෙති.
මට ආක්‍රෝශ කෙළේය, මා පෙළී ය, මා දිනී ය, මා අයත් වස්තු පැහැර ගතැ’ යි යම් කෙනෙක් ඒ වෛරය සිතැ බඳිත් ද, උන්ගේ වෛරය නො සන්හිඳෙයි.
මට ආක්‍රෝශ කෙළේය, මා පහළේ ය, මා දිනී ය, මා සතු දෑ පැහැර ගතැ’ යි යම් කෙනෙක් ඒ අයුරු වෛරය සිතැ නො බඳිත් ද, උන්ගේ වෛරය සන්හිඳේ.
මෙ ලොවැ කිසිදු කලෙක වෛරයෝ වෛරයෙන් නොසන්හිඳෙති. අවෛරයෙන් ම සන්හිඳෙත්, මෙය පුරාතන වූ (බුදු පසේබුදු මහරහතන් විසින් පුරුදු කළ) ධර්‍මයෙකි.
මේ කලහයෙහි දී ‘අපි නැසෙම්හ’ යි (කලහකාර) අන්‍යජනයෝ නො දන්නාහ. යම් කෙනෙක් ඒ කලහයෙහි දී (ඇපි නැසෙම්හ’ යි) දනිත් ද, ඒ හේතුයෙන් කලහයෝ සන්හිඳෙත්.
ඇට බිඳුනා පණ නස්නා ගෙරි අස් ධන පැහැරගන්නා යම් කෙනෙක් ඇත් ද, රට වොලොගන්නා ඔවුනුදුගේ සඞ්ගති වෙයි. තොපගේ සඞ්ගති කවර හෙයින් නො වේ ද?
ඉදින් සම්ප්‍රඥාන ඇති තමා හා වසන්නට නිසි සත් විහරණ ඇති, ධීර වූ කල්‍යාණ මිත්‍රයකු ලබන්නේ නම්, (ප්‍රකට වූත් අප්‍රකට වූත්) හැම උවදුරු තාක් මැඩ ඔහු හා සතුටු සිත් ඇති ව ස්මෘතිමත් ව හැසිරෙන්නේ ය.
ඉදින් සම්ප්‍රඥාන ඇති තමා හා වසන්නට නිසි සත් විහරණ ඇති, ධීර වූ කල්‍යාණ මිත්‍රයකු නො ලබන්නේ නම්, දිනන ලද රට හැරපියා එකලා වූ (මහාජනක) රජු සෙයින් ද, රක්‍ෂිතවනයෙහි එකලා වූ මාතඞ්ග නාගයා මෙන් ද එකලා වැ වසන්නේ ය.
එකලා වූවහුගේ හැසිරීම ශ්‍රේෂ්ඨ වෙයි. බාලයා කෙරෙහි සහායභාවයෙක් නැත. අල්පොත්සුක වූ අරණ්‍යයෙහි වාසයට පැමිණි ශ්‍රේෂ්ඨ මාතඞ්ගයා සෙයින් එකලා වැ හැසිරෙන්නේ ය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සිටිසේක් ම මේ ගාථා වදාරා (උපාලි ගැහැවිහුගේ භෝගග්‍රාම වූ) බාලකලෝණකාර ග්‍රාමයට වැඩිසේක. එකල ආයුෂ්මත් භගු තෙරණුවෝ බාලකලෝණකාර ගම්හි වෙසෙති. ආයුෂ්මත් භගු තෙරණුවෝ වඩනා භාග්‍යවතුන් වහන්සේ දුර දී මැ දුටහ, දැක අසුන් පැන්වී, පා දෝනා දිය ද එළැවී. භාග්‍යවතුන් වහන්සේ පැන්වූ අස්නෙහි වැඩහුන් සේක. වැඩහිඳ පා දෙවූහ. ආයුෂ්මත් භගු තෙරණුවෝ ද භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හුන්හු. එකත්පස්ව හුන් ආයුෂ්මත් භගු තෙරණුවනට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
“මහණ, කිම සිහියැ හැකි ද? කිම් යැපියැ හේ ද? කිම පිඬුවායෙන් ක්ලාන්ත නො වන්නෙහි ද?”