3. 3. 7.
අනුරුද්ධ සූත්රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි පඤ්චකඞ්ග නම් වඩුදෙටුවාණෝ එක්තරා පුරුෂයකු ඇමතූහ: “එම්බා පුරුෂය, තෙපි එව, ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන් කරා එළැඹ මාගේ බසින් ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන්ගේ පාදයන් හිසින් වඳුව, ‘වහන්ස, පඤ්චකඞ්ග ථපති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන්ගේ පාදයන් හිසින් වඳීයයි. මෙසේත් කියව: “වහන්ස, ආයුෂ්මත් අනුරුද්ධස්ථවිරයන් වහන්සේ පඤ්චකඞ්ග ථපතිහුගේ සෙට දින බත තමා සතරවනු ව ඉවසන සේක්වා, වහන්ස, පඤ්චකඞ්ග ථපති බොහෝ කිස ඇතියෙක, රාජකරණීයයෙන් බොහෝ කරණී ඇතියෙක, වහන්ස, එයින් අනුරුද්ධස්ථවිරයන් වහන්සේ ඉතා අලුයම වඩනා සේක්වා” යි.
‘එසේ යැ වහන්සැ’ යි එපුරිස් පඤ්චකඞ්ග ථපති හට පිළිවදන් දී, ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන් කරා එළැඹියේය. එළැඹ ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන් සකසා වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් එපුරිස් ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවනට තෙල සැලකෙළේ: ‘වහන්ස, පඤ්චකඞ්ග ථපති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන්ගේ පා හිසින් වඳී, මෙසේත් සැලකෙරෙයි: ‘වහන්ස, ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ පඤ්චකඞ්ග ථපතිහුගේ සෙට බත ආත්මචතුර්ත්ථ ව ඉවසන සේක්වා. වහන්ස, පඤ්චකඞ්ග ථපති බොහෝ කිස ඇතියෙක, රාජකරණීයයෙන් බොහෝ කරණී ඇතියෙක. වහන්ස, එයින් ආයුෂ්මත් අනුරුද්ධස්ථවිරයන් වහන්සේ ඉතා අලුයම වඩනේ මැනැව”යි. ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ තුෂ්ණීම්භාවයෙන් ඉවසූහු. ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ රෑ ගෙවීමෙන් පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙන පඤ්චකඞ්ග ථපතිහුගේ නිවෙස්න කරා වැඩියෝ, වැඩැ පැන්වූ අස්නෙහි හුන්හු. එසඳ පඤ්චකඞ්ග ථපති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන් ප්රණීත ඛාද්යභෝජ්යයෙන් සියතින් සැතැපී. මොනොවට පැවරී. ඉක්බිති පඤ්චකඞ්ග ථපති වළඳා නිමවූ පාත්රයෙන් ඉවත් කළ අත් ඇති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන් වෙත් අන්යතර නිවාසනයක් ගෙන එකත්පස් වැ හින, එකත්පස් වැ හුන් පඤ්චකඞ්ග ථපති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවනට තෙල සැලකළේ.
“වහන්ස, ස්ථවිර භික්ෂූහු මා කරා එළැඹ මෙසේ කීහ: ‘ගැහැවියෙනි, අප්රමාණ චේතෝවිමුක්ති වඩව’ යි. කිසි තෙර කෙනෙක් මෙසේ කීහ: ‘ගැහැවිය, මහද්ගත චේතෝවිමුක්ති වඩව’ යි. වහන්ස, අප්රමාණ චේතෝවිමුක්තියෙක් ඇද්ද, යම් මහද්ගතචේතෝවිමුක්තියෙක් ඇද්ද, මේ දහම්හු නානාර්ත්ථත් වෙත් ද, නානාව්යඤ්ජනත් වෙත් ද, නොහොත් ඒකාර්ත්ථ වෙත් ද, ව්යඤ්ජනමාත්රය මැ වෙනස් වේ දැ”යි.
ගැහැවිය, එකරුණෙන් මෙහි ලා තොපට මැ වැටහේවා, මෙයින් තොපට අවිරාධිත බවෙක් වෙයි.
වහන්ස, මට මෙසේ සිත් වෙයි: යම් අප්රමාණචේතෝවිමුක්තියක් හා යම් මහද්ගතචෙතොවිමුක්තියක් හා ඇද්ද, මේ දහම්හු ඒකාර්ත්ථයහ ව්යඤ්ජනමාත්රය මැ වෙන වෙන යැ කියා යි.
ගැහැවිය, යම් අප්රමාණචේතෝවිමුක්තියක් හා යම් මහද්ගතචෙතොවිමුක්තියක් හා ඇද්ද, මේ දහම්හු නානාර්ත්ථ ද වෙති, නානාව්යඤ්ජන ද වෙත්. යම් පරිදි මේ දහම්හු නානාර්ත්ථත් නානාව්යඤ්ජනත් වෙත් ද, ගැහැවිය, මේ ක්රමයෙනුදු තෙල දන්නේ මැනැව.
ගැහැවිය, යම් අප්රමාණචේතෝවිමුක්ති නම් කවර: ගැහැවිය, මේ සස්නෙහි මහණ මෙත් සහගිය සිතින් එක් දිගක් පතුරුවා වාස කෙරෙයි. දෙවන දිග එපරිදි ම ය, තෙවන දිග එපරිදි මය, සතරවන දිග එපරිදි මැ යි. මෙ සැටියෙන් උඩ ය, යට යැ, සරස යැ, යි හැම තැන සර්වාත්මතායෙන් සියලු සතුන් ඇති ලෝකය විපුල මහද්ගත අප්රමාණ අවෛර අව්යාබාධ වූ මෛත්රීසහගත සිතින් පැතිරැගෙන වාස කෙරෙයි. කරුණාසහගත සිතින් ... මෘදුතාසහගත සිතින් ... උපේක්ෂාසහගත සිතින් එක් දිගක් පැතිරැගෙන වාස කෙරෙයි. දෙවන දිග ද එසේ යැ ... වාස කෙරෙයි. ගැහැවිය, මේ අප්රමාණචෙතොවිමුක්ති වෙයි.
ගැහැවිය, මහද්ගතචේතෝවිමුක්ති කවර: ගැහැවිය, මෙ සස්නෙහි මහණ එක් රුක් මුලක් පමණ තැන මහද්ගත යයි පතුරුවා නිශ්චය කොට වාස කෙරෙයි. ගැහැවිය, මේ මහද්ගතචේතෝවිමුක්ති යයි කියනු ලැබේ. ගැහැවිය, මෙ සස්නෙහි මහණ රුක්මුල් දෙකක් හෝ තුනක් හෝ පමණ තැන මහද්ගත යයි පතුරුවා නිශ්චය කොට වාස කෙරෙයි. ගැහැවිය, මේ මහද්ගතචේතෝවිමුක්ති යයි කියනු ලැබේ. ගැහැවිය, මෙ සස්නෙහි මහණ එක් ගම්කෙතක් පමණ තැන මහද්ගත යයි පතුරුවා නිශ්චය කොට වාස කෙරෙයි. ගැහැවිය, මේ මහද්ගතචේතෝවිමුක්ති යයි කියනු ලැබේ. ගැහැවිය, මෙ සස්නෙහි මහණ ගම්කෙත් දෙකක් හෝ තුනක් හෝ පමණ තැන මහද්ගත යයි පතුරුවා නිශ්චය කොට වාස කෙරෙයි. ගැහැවිය, මේ මහද්ගතචේතෝවිමුක්ති යයි කියනු ලැබේ. ගැහැවිය, මෙ සස්නෙහි මහණ එක් මහාරාජ්යයක් පමණ තැන් මහද්ගත යයි පතුරුවා නිශ්චය කොට වාස කෙරෙයි. ගැහැවිය, මේ මහද්ගතචේතෝවිමුක්ති යයි කියනු ලැබේ. ගැහැවිය, මෙ සස්නෙහි මහණ මහාරාජ්ය දෙකක් හෝ තුනක් හෝ පමණ තැන් මහද්ගත යයි අරමුණු කොට නිශ්චය කොට වාස කෙරෙයි. ගැහැවිය, මෙ ද මහද්ගතචේතෝවිමුක්ති යයි කියනු ලැබේ. ගැහැවිය, මෙ සස්නෙහි මහණ සමුද්ර පර්ය්යන්ත පෘථුවිය පමණ තැන් මහත්ගත යයි අරමුණු කොට නිශ්චය කොට ගෙන වාසය කෙරෙයි. ගැහැවිය, මෙ ද මහද්ගතචේතෝවිමුක්ති යයි කියනු ලැබේ. ගැහැවිය, යම් පරිදි මේ දහම්හු නානාර්ත්ථත් වෙත් ද නානාව්යඤ්ජනත් වෙත් ද, තෙල මෙ කරුණිනුදු දතයුතු වේ.
ගැහැවිය, මේ භවෝත්පත්තීහු සතරදෙනෙකි: කවර සතරදෙනෙක යත්: ගැහැවිය, මෙ සස්නෙහි කිසි මහණෙක් ‘පරිත්තාභ’ යයි අරමුණු කොට, නිශ්චය කොට වෙසෙයි. හේ කාබුන් මරණින් මතුයෙහි පරිත්තාභ දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි. ගැහැවිය, මෙ සස්නෙහි කිසි මහණෙක් ‘අප්පමාණාභ’ යයි අරමුණු කොට, අධිමෝක්ෂ කොටගෙන වෙසෙයි. හේ කාබුන් මරණින් මතුයෙහි අප්පමාණාභ දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි. ගැහැවිය, මෙ සස්නෙහි කිසි මහණෙක් ‘සංකිලිට්ඨාභ’ යයි අරමුණු කොට, අධිමෝක්ෂ වශයෙන් බැසගෙන වෙසෙයි. හේ කාබුන් මරණින් මතුයෙහි සංකිලිට්ඨාභ දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි. ගැහැවිය, මෙ සස්නෙහි කිසි මහණෙක් ‘පරිසුද්ධාභ’ යයි අරමුණු කොට, අධිමෝක්ෂ වශයෙන් නිශ්චය කොටගෙන වෙසෙයි. හේ කාබුන් මරණින් මතුයෙහි පරිසුද්ධාභ දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි. ගැහැවිය, මේ සතර භවෝත්පත්තීහු යි.