3. 3. 6.
භූමිජ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම් වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් භූමිජ තෙරණුවෝ පෙරවරු කාලයෙහි හැඳපෙරෙව පාසිවුරු ගෙන ජයසේන රාජකුමරහුගේ නිවෙස්න යම් තැනෙක්හි ද එතැන්හි එළැඹියහ. එළැඹ පැන්වූ අස්නෙහි වැඩහුන්හ.
එසඳ ජයසේන රාජකුමාර ආයුෂ්මත් භූමිජ තෙරණුවන් කරා එළැඹ, ආයුෂ්මත් භූමිජ තෙරණුවන් සමග සතුටු විය. සම්මෝදනයට නිසි සිහි කරන්නට නිසි කථාව කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් ව හුන් ජයසේන රජකුමර ආයුෂ්මත් භූමිජ තෙරණුවන්ට තෙල කී: “භවත් භූමිජයෙනි, මෙවන් වාද ඇති මෙවන් දෘෂ්ටි ඇති ඇතැම් මහණබමුණු කෙනෙක් ඇත්තාහ: “ඉදින් ආශා කොට බඹසර සෙරෙත් නමුදු ඵලාධිගමයට අභව්‍යයෝ යැ, අනාශා කොට බඹසර සෙරෙත් නමුදු ඵලාධිගමයට අභව්‍යයෝ යැ, කලෙක ආශා කොටත් කලෙක අනාශා කොටත් බඹසර සෙරෙත් නමුදු ඵලාධිගමයට අභාව්‍යයෝ යැ, නො මැ ආශා කොටත් අනාශා නො කොටත් බඹසර සෙරෙත් නමුදු ඵලාධිගමයට අභව්‍යයෝ වෙති” යි. මෙහි ලා භවත් භූමිජ තෙරුන්ගේ ශාස්තෘන් වහන්සේ කුමන වාද ඇති සේක් ද? කුමක් ප්‍රකාශ කරන සේක් දැ” යි.
රාජකුමාරය, මා විසින් තෙල කරුණ බුදුන් හමුයෙහි නො අසන ලද, හමුයෙහි නො පිළිගන්නා ලද, “බුදුහු මෙසේ වදාරති” යන තෙල කරුණ ඇත. “ආශා කොටත් නුනුවණින් බඹසර වසත් නම්, ඵලාධිගමයට අභව්‍යයහ, අනාශා කොටත් නුනුවණින් බඹසර සෙරෙත් නම්, ඵලාධිගමයට අභව්‍යයහ, ආශා ද අනාශා ද කොටත් නුනුවණින් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට අභව්‍යයහ, ආශා නො කොටත් අනාශා නො කොටත් නුනුවණින් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට අභව්‍යයහ, ආශා කොටත් නුවණින් බඹසර සෙරෙත් නම්, ඵලාධිගමයට භව්‍යයහ, අනාශා කොටත් නුවණින් බඹසර සෙරෙත් නම්, ඵලාධිගමයට භව්‍යයහ, ආශා ද අනාශා ද කොටත් නුවණින් බඹසර සෙරෙත් නම්, ඵලාධිගමයට භව්‍යයහ, ආශා නො කොටත් අනාශා නො කොටත් නුවණින් බඹසර හැසිරෙත් නම්, ඵලාධිගමයට භව්‍යයහ” යන තෙල කරුණ යි. රාජකුමාරය, මා විසින් තෙල කරුණ බුදුන් හමුයෙහි නො අසන ලද, හමුයෙහි නො පිළිගන්නා ලද, “බුදුහු මෙසේ වදාරති” යන තෙල කී කරුණ විය හෙයි.
ඉදින් භවත් භූමිජයන්ගේ ශාස්තෲන් වහන්සේ මෙසේ වදාරන සේක් නම්, මෙසේ බණන සේක් නම්, භවත් භූමිජයන්ගේ ශාස්තෲන් වහන්සේ හැම මහණ බමුණන්ගේ මුදුන් පැහැර සිටුනා සේක් වැන්න. එසඳ ජයසේන රාජකුමාර ආයුෂ්මත් භූමිජ තෙරණුවන් තමන් සතු වූ මැ මුළුබතින් පිරිවිසි.
ඉක්බිති ආයුෂ්මත් භූමිජ තෙරණුවෝ පසුබතැ පිඬුවායෙන් වැළැක්කාහු බුදුන් කරා එළැඹියහ. එළැඹ බුදුන් සකසා වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් භූමිජ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළෝ. “වහන්ස, මම පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙන ජයසේන රජකුමරුන් නිවෙසට ගියෙමි. ගොස් පැනවූ අස්නෙහි හිනිමි. වහන්ස, එසඳ ජයසේන රජකුමර මා කරා එළැඹියේය, එළැඹ මා සමග සතුටු වී. සම්මෝදනයට නිසි කලාතුරුහි සිහි කළයුතු කථාව කොට නිමවා, එකත්පස් ව හින. වහන්ස, එකත්පස් ව හුන් ජයසේන රජකුමර මට තෙල සැලකෙළේ: “භවත් භූමිජයෙනි, මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති මහණබමුණු කෙනෙක් ඇත. ‘ආශා කොටත් බ්‍රම්සර සෙරෙත් නම් ඵලාධිගමයට අභව්‍යයහ, අනාශා කොටත් ... ආශා ද අනාශා ද කොටත් බඹසර පුරත් නම්, ඵලාධිගමයට අභව්‍යයහ, ආශා නො කොටත් අනාශා නො කොටත් බඹසර සෙරෙත් නම්, ඵලාධිගමයට අභව්‍යයහ” යි. මෙහි ලා භවත් භූමිජයන්ගේ ශාස්තෲන් වහන්සේ කෙබඳු වාද ඇති සේක් ද? කුමක් ප්‍රකාශ කරන සේක් දැ” යි.
වහන්ස, මෙසේ කී කල මම ජයසේන රජකුමරහට තෙල කීමි: “රාජකුමාරය, තෙල කරුණ මා විසින් බුදුන් හමුයෙහි නො අසන ලද, හමුයෙහි නො පිළිගන්නා ලද, ‘බුදුහු මෙසේ වදාරති’ යන් තෙල කරුණ ඇත: ‘ආශා කොට ද නුනුවණින් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට අභව්‍යයහ, ... ආශා නො කොට ද අනාශා නො කොට ද නුනුවණින් බඹසර පුරත් නම් ඵලාධිගමයට අභව්‍යයහ, ආශා කොට ද නුවණින් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට භව්‍යයහ, අනාශා කොට ද ... ආශා නො කොට ද අනාශා නො කොට ද නුවණින් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට භව්‍යයහ” යි. රජකුමර, මෙසේ තෙල කරුණ මා විසින් බුදුන් හමුයෙහි නො අසන ලද, හමුයෙහි නො පිළිගන්නා ලද. ‘බුදුහු මෙසේ වදාරති’ යන තෙල කරුණ ඇතැ’ යි කීමි. ඉදින් භවත් භූමිජයන්ගේ ශාස්තෲන් වහන්සේ මෙබඳු වාද ඇති සේක් නම්, මෙබඳු දෘෂ්ටි ඇති සේක් නම්, භවත් භූමිජයන්ගේ ශාස්තෲන් වහන්සේ හැම මහණබමුණන්ගේ මුදුන් පැහැරගෙන සිටුනාක් වැන්නහ” යි, හේ කී.
වහන්ස, කිම මෙසේ පුළුවුස්නා ලද්දෙම් මෙසේ පිළිතුරු විසින් පවසන්නෙම්, භගවත් හට උක්තවාදී වෙම් දෝ, භාග්‍යවතුන් වහන්සේ අභූතයෙන් අභ්‍යාඛ්‍යාන නො කෙරෙම් දෝ, ධර්‍මානුධර්‍මය ප්‍රකාශකෙරෙම් දෝ, කිසියම් සකාරණ වාදානුවාදයෙක් ගර්‍හණීය තැනට නොද ඒ දෝ හෝ’ යි, (දන්නට රිසියෙමි).
භූමිජය, ඒකාන්තයෙන් තෙපි මෙසේ විචාරන ලදුවහු මෙසේ ප්‍රකාශ කරන්නහු මා පිළිබඳ ව උක්තවාදී වව, මට අභූතයෙන් අභ්‍යාඛ්‍යාන නො කරන්නහු වව, ධර්‍මයට අනුධර්‍මය ද ප්‍රකාශ කරන්නහු වව, කිසි යම් සහේතුක වාදානුවාදයෙක් ගර්‍හණීයස්ථානයට ද නො එයි.
භූමිජය, මිථ්‍යාදෘෂ්ටික වූ මිථ්‍යාසංකල්ප ඇති මිථ්‍යාවාක් ඇති මිථ්‍යාකර්‍මාන්ත ඇති මිථ්‍යාආජීව ඇති මිථ්‍යාව්‍යායාම ඇති මිථ්‍යාස්මෘති ඇති මිථ්‍යාසමාධි ඇති යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ඇද්ද, ඔහු ආශා කොටත් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට අභව්‍යයහ, අනාශා කොටත් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට අභව්‍යයහ, ආශා කොටත් අනාශා කොටත් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට අභව්‍යයහ, ආශා නො කොටත් අනාශා නො කොටත් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට අභව්‍යයහ. එ කවර හෙයින් යත්: භූමිජය, ඵලාධිගමයට තෙල අනුපාය වේ ද එහෙයිනි.