3. 3. 5.
දන්තභූමි සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩවසන සේක. තව ද එසමයෙහි අචිරවත සමණුද්දෙස අරණ්‍යකුටිකායෙක්හි වෙසෙයි. එකල්හි ජයසේන රාජකුමාර ජංඝාවිහරණයෙන් ඔබැ මොබැ හැසිරෙනුයේ අචිරවත සමණුද්දෙස යම් තැනෙක්හි ද එතැන්හි එළැඹියේ ය. එළැඹ අචිරවත සමණුද්දේසයන් සමග සතුටු විය, සතුටුවිය යුතු සිහි කරන්නට නිසි කථාව කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් ජයසේන රාජකුමාර අචිරවත සමණුද්දේසනට තෙල කී: “භවත ගිනිවෙස්න, මෙ සස්නෙහි මහණ අප්‍රමත්ත වැ ආතාපන වීර්‍ය්‍ය ඇති වැ ප්‍රහිතාත්ම වැ වසනුයේ චිත්තෛකාග්‍රතා ලබන්නේ ය යන මෙ කරුණ මා විසින් අසන ලදැ” යි.
රාජ කුමාරය, තෙල එ සේ මැය, රාජ කුමාරය, තෙල එසේ මැ ය. මෙ සස්නෙහි මහණ අප්‍රමත්ත ව කෙලෙස් තවන වැර ඇති ව නිවනට මෙහෙයූ සිත් ඇති ව වාස කරනුයේ චිත්තෛකාග්‍රතා ලබන්නේ යයි ඇසූ සේකි.
භවත් ගිනිවෙස්න, ඇසූ පරිදි පුහුණු කළ පරිදි මට දහම් දෙසාවයි අයැද සිටිමි.
රාජ කුමාරය, මම තොපට ඇසූ පරිදි පුහුණු කළ පරිදි දහම් දෙසන්නට නො හැකියෙමි. රාජ කුමාරය, මම තොපට ඇසූ පරිදි පුහුණු කළ පරිදි දහම් දෙසන්නෙම් නම් තෙපි ද මබස අරුත් අවබෝධ නො කරන්නහු නම් ඒ මට කායක්ලමථුයෙක් වෙයි, ඒ මට විහිංසායෙක් වෙයි.
භවත් අග්ගිවෙස්සනයෝ මට ඇසූ පරිදි පුහුණු කළ පරිදි දහම් දෙසත්වා. මම භවත් අග්ගිවෙස්සනයන්ගේ කී අරුත් නුවණින් දන්නෙම් නම් මනා මැ නු.
රාජ කුමාරය, මම තොපට ඇසූ පරිදි පුහුණු කළ පරිදි දහම් දෙසමි. ඉදින් තෙපි මබස අරුත් නුවණින් දැනගන්නහු නම් තෙල් මැනැව, ඉදින් තෙපි මබස අරුත් දැන නො ගන්නහු නම් තමා නො දන්නා තන්හි මැ සිටුහු නම්, එහි ලා මතුයෙහි මා නුපුළුවුස්නා බව යයි.
භවත් අග්ගිවෙස්සනයෝ මට ඇසූ පරිදි පුහුණු කළ පරිදි දහම් දෙසත්වා, ඉදින් මම භවත් අග්ගිවෙස්සනයන්ගේ බස අරුත් නුවණින් දන්නෙම් නම්, මෙසේ මේ මැනව, ඉදින් මම භවත් අග්ගිවෙස්සනයන්ගේ බස අරුත් නුවණින් නො දන්නෙම් නම් තමන් සතු නො දන්නා තන්හි මැ සිටීම් නම් එහි දී භවත් අග්ගිවෙස්සනයන් මතුයෙහි නො පුළුවුස්මි’ යි.
එසඳ අචිරවත හෙරණ ජයසේන රජකුමරහට ඇසූ පරිදි පුහුණු කළ පරිදි දහම් දෙසී. මෙසේ දෙසූ කළ ජයසේන රජකුමර අචිරවත හෙරණහට තෙල කී: “භවත් ගිනිවෙස්න, මහණ නොපමා ව කෙලෙස් තවන වැර ඇති ව නිවනට මෙහෙයූ සිත් ඇති ව වසනුයේ චිත්තෛකාග්‍රතා ලබා යන යමෙක් ඇද්ද, තෙල නො වන්නෙකි. වන්නට අවකාශ ද නැති. එ සඳ ජයසේන රජකුමර අචිරවත හෙරණ හට අස්ථානතා ද අනවකාසතා ද පවසා හුනස්නෙනේ නැගී ගියේ.
එසඳ අචිරවත හෙරණ ජයසේන රජකුමරු නැඟී යන්නා හා මැ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පස් වැ හින. එකත් පස් වැ හුන් එසඳ අචිරවත හෙරණ ජයසේන රජකුමරු හා යම් පමණ කථා සංලාපයෙක් වී ද, එ හැම භාග්‍යවතුන් වහන්සේට සැලකෙළේ.
මෙසේ සැල කළ කල්හි භාග්‍යවතුන් වහන්සේ අචිරවත හෙරණ හට තෙල වදාළ සේක: “ගිනිවෙස්න, යම් දහමෙක් කාමයෙන් නික්මැ යෑමෙන් දත යුතු වේ ද, නික්මීමෙන් දැක්ක යුතු වේ ද, නික්මීමෙන් ලැබිය යුතු වේ ද, නික්මීමෙන් පසක්කළ යුතු වේ ද, ඒ දහම මෙහි ලා කොයින් ලැබේ ද? ජයසේන රජකුමර දෙවැදෑරුම් කාමමධ්‍යයෙහි වසනුයේ කාමයන් වළඳ කරනුයේ කාම විතර්‍කයන් විසින් කනු ලබනුයේ කාමපරිදාහයෙන් දැවෙනුයේ කාමපර්‍ය්‍යෙෂණයෙහි උත්සුක වූයේ ඒකාන්තයෙන් ඒ දහම දන්නේ වේව’යි දක්නේ වෙව’යි පසක් කරනුයේ වේව’යි යන තෙල කරුණ නො වෙයි. ගිනිවෙස්න, යම් පරිදි හස්තිදම්‍යයෝ දෙදෙනෙක් හෝ අශ්වදම්‍යයෝ දෙදෙනෙක් හෝ ගෝදම්‍යයෝ දෙදෙනෙක් හෝ සුදාන්ත වූවාහු සුවිනීත වූවාහු ඇද්ද, හස්තිදම්‍යයෝ දෙදෙනෙක් හෝ අශ්වදම්‍යයෝ දෙදෙනෙක් හෝ ගෝදම්‍යයෝ දෙදෙනෙක් හෝ අදාන්ත වූවාහු අවිනීත වූවාහු ඇද්ද, ගිනිවෙස්න, ඒ කෙසේ හඟිහි, සුදාන්ත වූ සුවිනීත වූ යම් හස්තිදම්‍යයෝ දෙදෙනෙක් හෝ අශ්වදම්‍යයෝ දෙදෙනෙක් හෝ ගෝදම්‍යයෝ දෙදෙනෙක් හෝ ඇද්ද, ඔහු දැමුණාහු මැ දාන්තකාරණයට යන්නා හු නො වේ ද? දැමුණාහු මැ දාන්ත කාරණයට දාන්තභූමියට යන්නාහු නො වේ ද?
වහන්ස, එසේ යැ.
යම් ඒ හස්තිදම්‍යයෝ දෙදෙනෙක් හෝ අශ්වදම්‍යයෝ දෙදෙනෙක් හෝ ගෝදම්‍යයෝ දෙදෙනෙක් හෝ අදාන්ත වූවාහු අවිනීත වූවාහු ඇද්ද, ඔහු අදාන්ත වැ මැ සිට සුදාන්ත සුවිනීත වූ ඒ හස්තිදම්‍යයන් දෙදෙනා සෙයින් අශ්වදම්‍යයන් දෙදෙනා සෙයින් ගෝදම්‍යයන් දෙදෙනා සෙයින් දාන්ත කාරණයට යන්නාහු වේ ද, අදාන්ත වැ මැ සිට දාන්ත කාරණයට යන්නාහු වේ ද,
වහන්ස, තෙල නො වන්නේ මැ යි.
ගිනිවෙස්න, එපරිදි මැ යම් දහමෙක් නික්මීමෙන් දත යුතු ව ද නික්මීමෙන් දැක්ක යුතු වේ ද, නික්මීමෙන් ලැබිය යුතු වේ ද, නික්මීමෙන් පසක් කළ යුතු වේ ද, ජයසේන රජ කුමර කාමමධ්‍යයෙහි වසනුයේ කාමයන් වළඳ කරනුයේ කාමවිතර්‍කයන් විසින් කනු ලබනුයේ කාමපරිදාහයෙන් දැවෙනුයේ කාමපර්‍ය්‍යෙෂණයෙහි උත්සුක වූයේ එකැතින් ඒ දහම් දන්නේ වේව’යි දක්නේ වේව’යි පසක් කරනුයේ වේව’යි යන තෙල කරුණ නො වේ.
ගිනිවෙස්න, යම් පරිදි ගමකට හෝ නිගමයකට හෝ නුදුරෙහි මහාපර්‍වතයෙක් වේ ද, යහළුවෝ දෙදෙනෙක් ඒ ගමින් හෝ නියම් ගමින් හෝ නික්මැ අතිනත් ගෙන් ඒ පර්‍වතය යම් තැනෙක් හි ද එහි එළැඹෙන්නාහු ය. එළැඹ එක් යහළුවෙක් යට පවුපාත්හි සිටිනේ ය. එක් යහළුවෙක් පර්‍වත මස්තකයට නඟින්නේ ය. යට පවුපාත්හි සිටි යහළු පර්‍වත මස්තකයෙහි සිටි යහළුහට මෙසේ කියන්නේ ය: ‘යහළුව, තෙපි ගල් මුදුන්හි සිටියහු කුමක් දක්නා ව’යි. හේ මෙසේ කියන්නේ ය: