3. 3. 3.
අච්ඡරියබ්භුත සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහු ගේ අරම්හි වැඩවසන සේක. එකල්හි පසුබත පිණ්ඩපාතයෙන් වැළැකුණු උවටන්හල්හි එක්රැස්ව වැඩහුන් බොහෝ භික්‍ෂූන් ගේ මේ අතුරුකථායෙක් පහළ වී: යම් තථාගතයන් වහන්සේ කෙනෙක් තෘෂ්ණාමානදෘෂ්ටි සුන් කළ කම්වට සුන් කළ ගෙවාලූ කම්වට ඇති හැම විවාදුක් ඉක්මැ සිටි පිරිනිවි අතීත බුදුවරයන් දත්සේක් ද, ඇවත, තථාගතයන් වහන්සේ ගේ මහත්-ඍද්ධි ඇති බව මහත්-අනුභාව ඇති බව ආශ්චර්‍ය්‍ය යැ, ඇවත, අද්භූත යැ. කිසේ යැ යත්: ඒ භාග්‍යවත්හු මෙබඳු ගොත් ඇති වූහ’ යි කියා ද, ඒ භාග්‍යවත්හු මෙබඳු නම් ඇති වූහ’ යි කියා ද ඒ භාග්‍යවත්හු මෙබඳු ගොත් ඇති වූ හ’ යි කියා ද, ඒ භාග්‍යවත්හු මෙබඳු සිල් ඇති වූහ’ යි කියා ද, ඒ භාග්‍යවත්හු මෙබඳු දහම් ඇති වූහ’ යි කියා ද, ඒ භාග්‍යවත්හු මෙබඳු ප්‍රඥා ඇති වූ හ’ යි කියා ද, ඒ භාග්‍යවත්හු මෙබඳු විහරණ ඇති වූ හ’ යි කියා ද, ඒ භාග්‍යවත්හු මෙසේ විමුක්ත වූහ’ යි කියා ද, දත්හ’ යි.
මෙසේ කී කල්හි, ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ඒ භික්‍ෂූන් හට මෙසේ කීහ: ඇවැත්නි, තථාගතවරයෝ ආශ්චර්‍ය්‍යය ද වෙති, ආශ්චර්‍ය්‍යධර්‍ම සමන්‍වාගත ද වෙති. ඇවැත්නි, තථාගතවරයෝ අද්භූත ද වෙති, අද්භූතධර්‍ම සමන්‍වාගත ද වෙත් යයි.
ඒ භික්‍ෂූන් ගේ මේ අතුරු කථාව කොට අඩාළ වෙයි. එසඳ භාග්‍යවතුන් වහන්සේ පිළිසලනින් නැගීසිටි සේක් උවටන්හල කරා වැඩි සේක. වැඩ පැන්වූ අස්නෙහි හුන් සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ සඟුන් ඇමතූ සේක:
මහණෙනි, දැන් මා එන්නට පළමු ව කිනම් කථායෙකින් යුක්ත ව රැස්ව හුන්නහු ද? තොප ගේ කිනම් අතුරු කථාවක් කොට අඩාළ වී දැ’ යි, පුළුවුත් සේක.
වහන්ස, මෙහි පසුබත පිණ්ඩපාතයෙන් වැළැකුණු උවටන්හලැ රැස්වැ හුන් අප ගේ මේ අතුරු කථාව උපන: ‘ඇවැත්නි, ආශ්චර්‍ය්‍ය යැ… ඒ භාග්‍යවත්හු මෙසේ විමුක්ත වූහ’යි කියා යි. වහන්ස, මෙසේ කී කල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ අපට තෙල කීහ: ‘ඇවැත්නි, තථාගතවරයෝ ආශ්චර්‍ය්‍යය වූවාහු ද ආශ්චර්‍ය්‍යධර්‍මසමන්‍වාගත වූවාහු ද වෙති. ඇවැත්නි, තථාගතවරයෝ අද්භූත වූවාහු ද අද්භූතධර්‍මසමන්‍වාගත වූවාහු ද වෙත් ’ යයි. වහන්ස, මේ අප ගේ කොට අඩාළ වූ අතුරු කථාව වී. එකල්හි භාග්‍යවතුන් වහන්සේ අනුප්‍රාප්ත සේකැ ’ යි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් ඇමතූ සේක: “ආනන්‍දය එහෙයින් තථාගතයන් ගේ ආශ්චර්‍ය්‍යය අද්භූතධර්‍මයෝ තොපට අධිමාත්‍ර ව වැටැහෙත්ව” යි, වදාළහ.
වහන්ස, මා විසින් තෙල කරුණ භාග්‍යවතුන් වහන්සේ ගේ සම්මුඛයෙහි අසන ලද, සම්මුඛයෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, බෝසත්හු ස්මෘතිමත් ව සම්‍යග්ඥාන ඇති ව තුසීකයට එළඹුණහ” යි. වහන්ස, ‘බෝසත්හු ස්මෘතිමත් ව සම්ප්‍රඥාන ඇති ව තුසීකයට එළඹුණහ’ යන යමක් ඇද්ද, වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.
වහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමියෙහි තෙල අසන ලද, හමියෙහි පිළිගන්නා ලද, “ආනන්‍දය, බෝසත්හු ස්මෘතිමත් ව සම්ප්‍රඥාන ඇති ව තුසීකයෙහි සිටියහ” යි. වහන්ස, ‘බෝසත්හු ස්මෘතිමත් ව සම්ප්‍රඥාන ඇති ව තුසීකයෙහි සිටියහ’ යන යමක් ඇද්ද, වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.
වහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමියෙහි තෙල අසන ලද, හමියෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, බෝසත්හු ආයු ඇති තාක් තුසීකයෙහි සිටියහ” යි. වහන්ස, ‘බෝසත්හු ආයු ඇති තාක් තුසීකයෙහි සිටියහ’ යන යමක් ඇද්ද, වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.
වහන්ස, මා විසින් භාග්‍යවතුන් හමියෙහි තෙල අසන ලද, හමියෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, බෝසත්හු ස්මෘතිමත් ව සම්ප්‍රඥාන ඇති ව තුසීකයෙන් සැව මව්කුස පිලිසඳ ගත්හ” යි. වහන්ස, ‘බෝසත්හු ස්මෘතිමත් ව සම්ප්‍රඥාන ඇති ව තුසීකයෙන් සැව මව්කුස පිලිසඳ ගත්හ’ යන යමක් ඇද්ද, වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.
වහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමියෙහි තෙල අසන ලද, හමියෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, යම් කලෙක තුසීකයෙන් සැව මව්කුස පිලිසඳ ගත්තේ වේ ද, එකල මරුන් සහිත බඹුන් සහිත දෙවියන් සහිත ලෝකයෙහි මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජායෙහි දෙවියන් ගේ දේවානුභාව ඉක්මැගෙන ම අප්‍රමාණ වූ උදාර වූ අවභාසයෙක් පහළ වෙතී”. “නිත්‍යවිවෘත වූ අසංවෘත වූ අන්‍ධකාර වූ ඝනාන්‍ධකාර ඇති යම් ලෝකන්තරික නිරය කෙනෙක් ඇද්ද, යම් නිරයෙක මෙසේ මහත් ඍද්ධි ඇති මහත් අනුභාව ඇති මේ සඳහිරු දෙදෙනා පවා සිය එළියෙන් වළඳ නො කෙරෙත් ද, එබඳු ඒ ලෝකන්තරිකයෙහි දු දෙවියන් ගේ දේවානුභාව ඉක්මැගෙන ම නො පමණ උදාර එළියෙක් ලෝකයෙහි පහළ වෙයි’. ඒ නිරෑහි යම් සත්ත්‍ව කෙනෙක් උපන්හු ද, ඒ සත්හු දු ඒ එළියෙන් ‘මෙහි උපන් අන්‍ය සත්ත්‍වයෝත් ඇති’ යි උනුන් හඳුනාගනිත්. මේ දශසහශ්‍රී ලෝකධාතුව ද කම්පිත වෙයි, ප්‍රකර්‍ෂයෙන් කම්පිත වෙයි, වෙසෙසින් වෙවුලයි. දෙවියන් ගේ දේවානුභාව ඉක්මැ ගෙන ම අප්‍රමාණ වූ උදාර වූ අවභාසයෙක් ලෝකයෙහි පහළ වෙතී” ඇසිණ. වහන්ස, … මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.
වහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමියෙහි තෙල අසන ලද, හමියෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, යම් කලෙක බෝසත් මව්කුස පිලිසඳ ගන්නේ වේ ද, එකල මිනිසෙක් වේවයි, නො මිනිසෙක් වේව’ යි, කිසිවෙක් ඒ බෝසත් හෝ බෝසත්මව හෝ නහමක් පෙළාව’ යි, සතරවරම් දෙව්පුත්හු සිවුදිග ආරක්‍ෂා පිණිස ඔහු කරා පැමිණෙතී.” වහන්ස, … මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.