3. 2. 8.
ආනාපානසති සූත්රය
මා විසින් මෙසේ අසන ලද නොහොත් මා ඇසූ හැටි මෙසේ යැ: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි පුවරම් නම් මුවරමාපායෙහි හැම තැනැ ශීලාදී ගුණයෙන් පළට වූ බොහෝ ස්ථවිර ශ්රාවකයන් සමග වැඩවසන සේක. ආයුෂ්මත් සැරියුත් තෙරුන් ද, ආයුෂ්මත් මහමුගලන් තෙරුන් ද, ආයුෂ්මත් මහසුප් තෙරුන් ද, ආයුෂ්මත් මහකසයින් තෙරුන් ද, ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරුන් ද, ආයුෂ්මත් මහාකප්පින තෙරුන් ද, ආයුෂ්මත් මහාචුන්ද තෙරුන් ද, ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් ද, ආයුෂ්මත් රේවත තෙරුන් ද, ආයුෂ්මත් අනඳ තෙරුන් ද, අන්ය වූ මහත් ගුණයෙන් ප්රකට වූ ස්ථවිර ශ්රාවක භික්ෂූන් ද සමග පුවරම් මුවරමාපායෙහි වැඩවසන සේක.
තව ද එසමයෙහි ස්ථවිර භික්ෂූහු නවක පැවිද්දනට අවවාද අනුශාසනා කෙරෙති. ඇතැම් ස්ථවිර භික්ෂූහු පැවිද්දන් දසදෙනෙකුට ද අවවාද අනුශාසනා කෙරෙති. ඇතැම් ස්ථවිර භික්ෂූහු පැවිද්දන් විසි දෙනකුට ද අවවාද අනුශාසනා කෙරෙති. ඇතැම් ස්ථවිර භික්ෂූහු පැවිද්දන් තිස්දෙනකුට ද අවවාද අනුශාසනා කෙරෙති. ඇතැම් ස්ථවිර භික්ෂූහු පැවිද්දන් හතලිස් දෙනෙකුට ද අවවාද අනුශාසනා කෙරෙති. තෙර මහණුන් විසින් අවවාද අනුශාසනා කරනු ලබන ඒ නවක භික්ෂූහු ශීලපරිපූරණාදී පුර්වවිශේෂයෙන් වැඩි උදාරතර අපර කෘත්ස්න පරිකර්මාදි විශේෂ දනිත්.
එ සමයෙහි භාග්යවතුන් වහන්සේ එදවස් පොහොයැ පණුරැසියෙහි පවුරුණු ඇති සඳ පිරුණු මැදිපොහෝරැය භික්ෂුසංඝපරිවෘත ව අභ්යවකාශයෙහි වැඩහුන් සේක. එසඳ භාග්යවතුන් වහන්සේ නිහඬ නිහඬ ව හුන් මහණුන් බලා ඒ මහණුන් ඇමතූ සේක. “මහණෙනි, මේ ප්රතිපදායෙන් (මම්) ආරාධිතයෙමි. මහණෙනි, මේ ප්රතිපදායෙන් මම ඇරැයු සිතැතියෙමි. එහෙයින් මහණෙනි, නො පත් අර්හත්ඵලයාගේ ප්රාප්තිය පිණිස අනධිගත ඵලයා ගේ අධිගමය පිණිස නො පසක් කළ නිවන පසක් කරණු පිණිස වෙසෙසින් වීර්ය්යාරම්භ කරවු. මම මේ සැවතෙහි මැ පිපි කුමුදු ඇති චාතුමාසිනිය හෙවත් පශ්චිමකාර්තික පූර්ණිමාව දක්වා බලමි’යි වදාළහ.
“භාග්යවතුන් වහන්සේ එ සැවැත්හි මැ කුමුදු ඇති ඉල්පොහොය දක්වා බලන සේක් ලැ” යි දනව්වැසි සඟහු ඇසූහු මැ ය. ඒ දනව්වැසි භික්ෂූහු බුදුන් දක්නට පැමිණෙත්. ඒ තෙර මහණහු වැඩි පමණින් නවක පැවිද්දන්ට අවවාද අනුශාසනා කෙරෙති. කිසි තෙර මහණ කෙනෙක් පැවිද්දන් දසදෙනකුට ද අවවාද අනුශාසනා කෙරෙති. කිසි තෙර මහණ කෙනෙක් පැවිද්දන් විසි දෙනකුට ද අවවාද අනුශාසනා කෙරෙති. කිසි තෙර මහණ කෙනෙක් පැවිද්දන් තිස්දෙනකුට ද අවවාද අනුශාසනා කෙරෙති. කිසි තෙර මහණ කෙනෙක් පැවිද්දන් සතලිස්දෙනකුට ද අවවාද අනුශාසනා කෙරෙත්. තෙරමහණුන් විසින් අවවාද අනුශාසනා කරනු ලබන ඒ නවක භික්ෂූහු පූර්ව විශේෂයට වඩා අපර වූ ශ්රෝතාපත්ති ආදි උදාර විශේෂය වෙසෙසින් දනිත්.
එසමයෙහි භාග්යවතුන් වහන්සේ එදින පොහොලත් පණුරැස කුමුදු පිපි ඉල් පුණු පොහෝදා රැය බික්සඟන විසින් පිරිවරන ලදු ව අබවස හුන් සේක. එසඳ භාග්යවතුන් වහන්සේ නිහඬ නිහඬ ව හුන් බික්සඟන දැක ඒ සඟුන් ඇමතූ සේක. “මහණෙනි, මේ භික්ෂුපර්ෂත් නො සිස් යැ. මහණෙනි, මේ භික්ෂූ පර්ෂත් නිෂ්ප්රලාප යැ, ශුද්ධ යැ, අධිගමසාරයෙහි පිහිටි යැ. සම්බුදු පිරිසෙක් ආහුනෙය්ය වේ ද, පාහුනෙය්ය වේ ද, දක්ඛිණෙය්ය වේ ද, අඤ්ජලිකරණීය වේ ද, ලොවට අනුත්තර පුණ්යක්ෂේත්ර වේ ද, මහණෙනි මේ භික්ෂු සංඝ තෙමේ එබඳු යැ. මහණෙනි, මේ පිරිස එබඳු යැ යම්බඳු පිරිසක් කෙරෙහි දුන් ඇලුප් දනෙක් බොහෝ වේ ද, දුන් බොහෝ දනෙක් ඉබොහෝ වේ ද, මහණෙනි, මේ භික්ෂූ සඞ්ඝ එබඳු යැ, මහණෙනි, මේ පිරිස එබඳු යැ. යම්බඳු පිරිසෙක් ලෝකයා ගේ දර්ශනයට දුර්ලභ වේ ද, මහණෙනි, මේ භික්ෂූසංඝ එබඳු යැ. මහණෙනි, මේ පර්ෂත් එබඳු යැ. යම්බඳු පිරිසක් දක්නට යොදුන් දහසකුදු වුව මාර්ගෝපකරණ ගෙනත් යන්නට නිසි වේ ද, මහණෙනි, මේ බික්සඟහු එබන්දහ, මේ පර්ෂත් එබඳු වෙතී’ වදාළෝ.
මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි අර්හත් ක්ෂීණාස්රව වූ වුසූ මඟබඹසර ඇති කළ කරණී ඇති තැබූ කෙලෙස්බර ඇති පැමිණි සදර්ත්ථ ඇති ක්ෂය වූ භවසංයෝජන ඇති මොනොවට දැන විමුක්ත වූ මහණහු ඇත. මෙබඳු රහත් මහණහු ද බික්සඟුන් කෙරෙහි ඇත්තාහ. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි පඤ්චෝරම්භාගිය සංයෝජන යන් ක්ෂය වීමෙන් ඕපපාතික වූ එහි මැ පිරිනිවෙනසුලු ඒ ශුද්ධාවාසලෝකයෙන් පෙරළා නො එන සැහැවි ඇති භික්ෂූහු වෙති. මහණෙනි, බික්සඟුන් කෙරෙහි මෙබඳු වූ අනාගාමී මහණහු ද ඇත්තාහ. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි ත්රිවිධ සංයෝජනයන් ගේ පරික්ෂය හේතුයෙන් රාග ද්වේෂ මෝහයන් ගේ තානවයෙන් සකෘදාගාමී ව වරෙක මැ මෙලොවට අවුත් දුක් කෙළෙවර කරන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් සකෘදාගාමී මහණහු ද ඇත්තාහ. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි ත්රිවිධ සංයෝජනයන් ගේ පරික්ෂය හේතුයෙන් ශ්රෝතාපන්න ව අවිනිපාත ස්වභාව ඇති ව නියත ව සම්බෝධිපරායණ වූ සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් ශ්රෝතාපන්න භික්ෂූහු ද ඇත්තාහ.
මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි සතර සීවටන් පිළිබඳ භාවනානුයෝගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් සතිපට්ඨාන භාවනානු යොගී මහණහුදු වෙති. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි සතර සම්යක් ප්රධානවීර්ය්ය පිළිබඳ භාවනානුයෝගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් මහණහු දු වෙති. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි සතර ඍද්ධිපාදයන් පිළිබඳ භාවනානුයෝගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් ඍද්ධිපාද භාවනානුයෝගී මහණහු දු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි පඤ්චප්රකාර ඉන්ද්රියභාවනානුයෝගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් ඉන්ද්රිය භාවනානුයෝගී මහණහුද වෙති. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි පඤ්චප්රකාර බලභාවනානුයෝගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙබඳු බලභාවනානුයොගී මහණහුදු වෙති. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි සප්තබෝධ්යංග භාවනානුයෝගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙබඳු බෝධ්යඞගභාවනානුයෝගී මහණහුදු වෙති. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි අරිඅටඟිමඟ පිළිබඳ භාවනානුයෝගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් මාර්ගභාවනානුයොගී මහණහුදු වෙත්.