2. අනුපද වර්‍ගය
3. 2. 1.
අනුපද සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන්වහන්සේ මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූ සේක. වහන්සැ’යි ඒ වහන්දැ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන්වහන්සේ තෙල අනුපද සුත වදාළ සේක.
මහණෙනි, ශාරිපුත්‍ර (ධාත්‍වාදි කුශලතාවෙන්) පණ්ඩිත වූයේ ය, මහණෙනි, ශාරිපුත්‍ර මහාප්‍රඥා ඇත්තේ ය, මහණෙනි, ශාරිපුත්‍ර (නානාස්කන්‍ධාදියෙහි ප්‍රවෘත්ත වූ) පෘථුප්‍රඥා ඇත්තේ ය, මහණෙනි, ශාරිපුත්‍ර (හර්‍ෂබහුල ව ශීලස්කන්‍ධාදිය පුරන) හාසුප්‍රඥා ඇත්තේය, මහණෙනි, ශාරිපුත්‍ර (රූපාදියෙහි අනිත්‍යාදි විසින් වහා දිවෙන) ජවන ප්‍රඥා ඇත්තේ ය, මහණෙනි, ශාරිපුත්‍ර (වහා කෙලෙස් සිඳින) තීක්‍ෂණ ප්‍රඥා ඇත්තේය. මහණෙනි, ශාරිපුත්‍ර (පෙරැ නොබුන් ලොභස්කන්‍ධාදිය ප්‍රදාරණ කරන) නිබ්බේධික ප්‍රඥා ඇත්තේය. මහණෙනි, ශාරිපුත්‍ර අඩ මසක් මුළුල්ලෙහි (සමාපත්ති විසින් හෝ ධ්‍යානාංග විසින් හෝ) අනුපිළිවෙළින් ධර්‍මවිදර්‍ශනා කෙරෙයි. මහණෙනි, ඒ අනුපද ධර්‍මවිදර්‍ශනා විෂයෙහි ශාරිපුත්‍රයන්ගේ මේ (අනුපදධර්‍ම විදර්‍ශනාව) වෙයි.
මහණෙනි, මෙ සස්නෙහි ශාරිපුත්‍ර කාමච්ඡන්‍ද නීවරණයෙන් වෙන් ව (ශේෂනීවරණ) අකුශල ධර්‍මයන්ගෙන් වෙන් ව විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වෙසෙයි. තවද ප්‍රථම ධ්‍යානයෙහි විතර්‍කය ද, විචාරය ද ප්‍රීතිය ද සුඛය ද චිත්තෛකාග්‍රතා ද ඵස්ස වේදනා සඤ්ඤා චේතනා චිත්ත ඡන්‍ද අධිමොක්ඛ විරිය සති උපෙක්ඛා මනසිකාර යන යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඔහු විසින් ඒ ධර්‍මයෝ අනු පිළිවෙළින් පිරිසිඳුනා ලද්දාහු වෙති. ඔහුට ඒ ධර්‍මයෝ ප්‍රකට ව උපදිති, ප්‍රකට ව පවත්නාහු වෙති, ප්‍රකට ව නිරුද්ධ වෙත්. හේ මෙසෙයින් දැනගනී: මෙසේ මේ ධර්‍මයෝ පෙර නොවී උපදිති, ඉපිද වැනැසෙත් යයි. හේ ඒ ධර්‍මයන්, කෙරෙහි රාග වශයෙන් නො පැමිණෙනුයේ ප්‍රතිඝවශයෙන් අනපගත වූයේ තෘෂ්ණාදෘෂ්ටින් අනිශ්‍රිත වූයේ ඡන්‍දරාගයෙන් නො බැඳුණේ කාමරාගයෙන් වෙසෙසින් මිදුණේ චතුර්යෝගයෙන් නො යෙදුණේ සියලු කෙලෙසුන් කෙරෙන් මිදුණු සිතින් යුක්ත ව වෙසෙයි. හේ මතුයෙහි අනන්තර විසේස සංඛ්‍යාත නිස්සරණය ඇතැ’යි දැනගනී. ඒ දැනුම බහුලී කාරයෙන් ඇත් මැ යයි ඔහුට දැඩි ව සිත් වේ.
යළිදු අනෙකෙකි, මහණෙනි, ශාරිපුත්‍ර විතර්‍ක විචාරයන්ගේ සන්හිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති චිත්තයාගේ එකඟ බව ඇති අවිතර්‍ක අවිචාර වූ සමාධියෙන් උපන් ප්‍රීතිසුඛ ඇති දෙවෙනි දැහැනට පැමිණ වෙසෙයි. ද්වීතිය ධ්‍යානයෙහි අධ්‍යාත්මයෙහි සම්ප්‍රසාදය ද ප්‍රීතිය ද සුඛය ද චිත්තෛකාග්‍රතාව ද ඵස්ස වේදනා සඤ්ඤා චේතනා චිත්ත ඡන්‍ද අධිමොක්ඛ විරිය සති උපෙක්ඛා මනසිකාර යැ යන යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, උන් විසින් ඒ ධර්‍මයෝ අනු පිළිවෙළින්, පිරිසිඳුනා ලදහු වෙති. ඔහුට ඒ දහම්හු ප්‍රකට ව උපදිති, ප්‍රකට ව පවත්නාහු වෙති, ප්‍රකට ව නිරුද්ධ වෙත්. හේ මෙසේ දැනගනී: මෙසේ මේ ධර්‍මයෝ පෙර නොවී උපදිති, ඉපද වැනැසෙත් යයි. හේ ඒ දහම්හි රාග විසින් නො පැමිණෙනුයේ ප්‍රතිඝ විසින් අනපගත වූයේ තෘෂ්ණා දෘෂ්ටින් අනිශ්‍රිත වූයේ ඡන්‍දරාගයෙන් නො බැඳුණේ (කාමරාගයෙන්) වෙසෙසින් මිදුණේ චතුර්යෝගයෙන් නො යෙදුණේ කෙලෙසුන් කෙරෙන් මිදුණු සිතින් යුක්ත ව වෙසෙයි. හේ මත්තෙහි නිස්සරණය ඇතැ යි දැනගනී. ඒ දැනුම බිහිලි කිරීමෙන් ඇතැයි කියා ඔහුට සිත වේ.
යළිදු මහණෙනි, ශාරිපුත්‍ර ප්‍රීතියගේ ද විරාගයෙන් ධ්‍යානෝපේක්‍ෂා ඇති ව වෙසෙයි. ස්මෘති ඇති ව සම්‍යක්ප්‍රඥා ඇති ව කයින් සුවය ද විඳී, යම් ධ්‍යානයක් හේතු කොටගෙන ආර්‍ය්‍යයෝ ඒ ධ්‍යාන සමඞ්ගී පුඟුල්හු උපේක්‍ෂා ඇත්තෙක ස්මෘතිමත් යැ සුඛ විහරණ ඇත්තෙකැ යි පවසත් ද, ඒ තුන්වැනි දැහැනට පැමිණ වෙසෙයි. තවද තෘතීය ධ්‍යානයෙහි සුඛය ද ස්මෘතිය ද සම්ප්‍රජන්‍යය ද චිත්තෛකාග්‍රතාව ද ඵස්ස වේදනා සඤ්ඤා චේතනා චිත්ත ඡන්‍ද අධිමොක්ඛ විරිය සති උපෙක්ඛා මනසිකාර යැ යන යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, උන් විසින් ඒ ධර්‍මයෝ අනුපරිපාටියෙන් ව්‍යවස්ථිත වූවාහු වෙති, ඔහුට ඒ ධර්‍මයෝ ප්‍රකට ව උපදිති, ප්‍රකට ව පවත්නාහු වෙති, ප්‍රකට ව නිරුද්ධ වෙත්. හේ මෙසේ දැනගනී: ‘මෙසේ මේ දහම්හු පෙර නොවී උපදිති, ඉපද වැනැසෙත් යයි. හේ ඒ ධර්‍මයන්හි රාග විසින් නො පැමිණෙනුයේ ප්‍රතිඝ විසින් අනපගත වනුයේ අනිශ්‍රිත වූයේ අප්‍රතිබද්ධ වූයේ විප්‍රමුක්ත වූයේ විසංයුක්ත වූයේ විගත මර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වාස කෙරෙයි. හේ මතුයෙහි නිස්සරණයෙක් ඇතැයි දැනගනී. ඒ දැනුම බහුලීකරණයෙන් ඇතැයි කියා මැ ඔහුට සිත් වේ.
යළිදු මහණෙනි, ශාරිපුත්‍ර කායිකසුඛයාගේ ද ප්‍රහාණයෙන් කායික දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් පෙර මැ සොම්නස්, දොම්නසුන්ගේ අස්තඞ්ගමයෙන් දුක් නො වූ සුව නො වූ උපේක්‍ෂායෙන් උපන් ස්මෘති පාරිශුද්ධිය ඇති සිවුවන දැහැනට පැමිණ වෙසෙයි. චතුර්‍ත්‍ථ ධ්‍යානයෙහි වේදනුපෙක්ඛා (සංඛ්‍යාත) නො දුක් නො සුව වේදනාව ද ප්‍රශ්‍රබද්ධ හෙයින් චිත්තයාගේ අනාභෝග යැ ස්මෘතිපාරිශුද්ධි යැ (එයින්) චිත්තෛකාග්‍රතාව ද ඵස්ස වේදනා සඤ්ඤා චේතනා චිත්ත ඡන්‍ද අධිමොක්ඛ විරිය සති උපෙක්ඛා මනසිකාර යැ යන යම් ධර්‍ම කෙනෙක් ඇද්ද ඔහු විසින් ඒ ධර්‍මයෝ අනු පිළිවෙළින් පිරිසිඳුනා ලදහු වෙති. ඔහුට ඒ ධර්‍මයෝ ප්‍රකට ව උපදිති, ප්‍රකට ව පවත්නාහු ය, ප්‍රකට ව නිරුද්ධ වෙත්, හේ මෙසේ දැනගනී: ‘මෙසේ මේ දහම් හු පෙර නොවී උපදිති, ඉපද වැනසෙත්’ යයි. හේ ඒ දහම්හි රාග විසින් නො ගන්නේ ප්‍රතිඝ විසින් අපගත නො වනුයේ අනිශ්‍රිත වූයේ අප්‍රතිබද්ධ වූයේ කාමරාගයෙන් වෙසෙසින් මිදුණේ චතුර්යෝගයෙන් නො යෙදුණේ සියලු කෙලෙසුන් කෙරෙහි මිදුණු සිතින් යුක්ත ව වෙසෙයි. හේ මතුයෙහි නිස්සරණයෙක් ඇතැ’යි දැනගනී. ඒ දැනුම බහුලීකාරයෙන් ඇතැයි කියා මැ ඔහුට සිත් වේ.