3. 2. 7.
මහාචත්තාරීසක සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඬුසිටුහුගේ දෙව්රම් වෙහෙරැ වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’, කියා භික්‍ෂූන් අඬගා වදාළ සේක. ‘පින්වතුන් වහන්සැ’යි ඒ වහන්දැ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල මහාචත්තාරීසක සුත වදාළ සේක.
මහණෙනි, තොපට නිර්දෝෂ වූ මාර්‍ගසමාධිය සප්‍රත්‍ය කොට සපරිවාර කොට දෙසන්නෙමි. ඒ අසව්, මොනොවට මෙනෙහි කරව් ප්‍රකාශ කරන්නෙමි’යි වදාළ සේක.
එසේය වහන්සැ’යි ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක.
මහණෙනි, ප්‍රත්‍ය සහිත වූ සපරිවාර වූ ආර්‍ය්‍ය සම්‍යක්සමාධිය කවරෙ යැ යත්: ඒ මෙසේ යැ: සම්මාදිට්ඨි, සම්මාසංකප්ප, සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මාආජීව, සම්මාවායාම, සම්මාසති යන මේ සතඟින් චිත්තයාගේ යම් ඒකාග්‍ර බවක් පරිවාර බවක් වේ ද, මහණෙනි, මේ ආර්‍ය්‍ය සම්‍යක්සමාධිය සප්‍රත්‍ය යි ද සපරිවාර යි ද කියනු ලැබේ.
මහණෙනි, එහි ලා (විපස්සනා සම්මාදිට්ඨි, මග්ග සම්මාදිට්ඨි යන ද්විවිධ) සම්‍යක්දෘෂ්ටිය පූර්‍වඞ්ගම වෙයි. කිසෙයින් මහණෙනි, සම්‍යග්දෘෂ්ටිය පූර්‍වඞ්ගම වෙයි යත්: මිථ්‍යාදෘෂ්ටිය ‘මිථ්‍යාදෘෂ්ටි’ යයි ලක්‍ෂණ ප්‍රතිවේධයෙහි ලා ආරම්මණ වශයෙන් දැනගනී. සම්‍යග්දෘෂ්ටිය (කෘත්‍යවශයෙන් අසම්මූඪ හෙයින්) දැනගනී. මෙසේ ඒ දැනුම ඔහුට සම්මාදිට්ඨි නම් වෙයි.
මහණෙනි, මිථ්‍යාදෘෂ්ටි කවර යත්: දුන් දැය විපාක නැත, යජන ලදුයෙහි විපාක නැත. පුදන ලදුයෙහි විපාක නැත, සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵල විපාක නැත. (පරලොවැ සිටියහුට) මේ ලොව නැත, (මෙලොවැ සිටියහුට) පරලොව නැත, මවු නැත, පියා නැත, (සැවැ උපදනා) ඕපපාතික සත්‍වයෝ නැත, ලොවැ යම් කෙනෙක් මේ ලොවත් පර ලොවත් විශිෂ්ටඥානයෙන් තුමූ මැ ප්‍රත්‍යක්‍ෂ කොට දැන ප්‍රකාශ කෙරෙත් ද, එබඳු සම්‍යග්ගත සම්‍යක්ප්‍රතිපන්න ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් නැතැ’යි. මහණෙනි, මේ මිථ්‍යාදෘෂ්ටි නම් වෙයි.
මහණෙනි, සම්‍යක්දෘෂ්ටි කවර යත්: මහණෙනි, මම සම්‍යග්දෘෂ්ටිත් දෙ පරිදි කොට කියමි. මහණෙනි, සාස්‍රව වූ පුණ්‍යභාගිය වූ උපධි සංඛ්‍යාත විපාකය දෙන සම්‍යග්දෘෂ්ටියක් ඇත. මහණෙනි, ආර්‍ය්‍ය වූ අනාස්‍රව වූ ලෝකෝත්තර මාර්‍ගාඞ්ග වූ සම්‍යග්දෘෂ්ටියක් ඇති.
මහණෙනි, සාස්‍රව වූ පුණ්‍යභාගිය වූ උපධිවිපාකය දෙන සම්‍යග්දෘෂ්ටිය කවර යත්: දුන් දැය විපාක ඇත. යජන ලදුයෙහි විපාක ඇත. පුදන ලදුයෙහි විපාක ඇත. සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵල විපාක ඇත. මෙලොව ඇත. පරලොව ඇත. මවු ඇත. පියා ඇත. උපදනා ඕපපාතික සත්‍වයෝ ඇත. ලොවැ යම් කෙනෙක් මෙලොවත් පරලොවත් විශිෂ්ටඥානයෙන් තුමූ මැ ප්‍රත්‍යක්‍ෂ කොට දැන ප්‍රකාශ කෙරෙත් ද, එබඳු සම්‍යග්ගත සම්‍යක් ප්‍රතිපන්න ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇතැ’යි. මහණෙනි, මේ සාස්‍රව පුණ්‍යභාගී වූ උපධි සංඛ්‍යාත විපාකය දෙන සම්මාදිට්ඨි නම් වෙයි.
මහණෙනි, ආර්‍ය්‍ය වූ අනාස්‍රව වූ ලෝකෝත්තර මාර්‍ගාඞ්ග වූ සම්මාදිට්ඨි කවර යත්: මහණෙනි, ආර්‍ය්‍ය සිත් ඇති අනාස්‍රව සිත් ඇති ආර්‍ය්‍යමාර්‍ගසමඞ්ගී වූ ආර්‍ය්‍යමාර්‍ගය වඩනුවහු හේ යම් ප්‍රඥාවක් ප්‍රඥේන්‍ද්‍රියෙක් ප්‍රඥාබලයෙක් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් මාර්‍ගාඞ්ගයෙක් ඇද්ද, මහණෙනි, මේ ආර්‍ය්‍ය වූ අනාස්‍රව වූ ලෝකෝත්තර මාර්‍ගාඞ්ග වූ සම්මාදිට්ඨි යයි කියනු ලැබේ. ඒ මහණ මිථ්‍යාදෘෂ්ටි ප්‍රහාණය පිණිස සම්‍යග්දෘෂ්ටි ප්‍රතිලාභය පිණිස වෑයම් කෙරෙයි. ඒ වෑයම ඔහුට සම්මාවායාම වෙයි. හේ ස්මෘතියෙන් සමන්‍වාගත ව මිථ්‍යාදෘෂ්ටිය දුරු කෙරෙයි. ස්මෘතිමත් ව සම්‍යග්දෘෂ්ටිය උපදවා වෙසෙයි. ඒ ස්මෘතිය ඔහුට සම්මාසති වෙයි. මෙසේ ඔහුට මේ තුන් ධර්‍මයෝ සම්‍යග්දෘෂ්ටිය අනුපරිධාවන කෙරෙති. (සහජාත ද පුරේජාත ද වී) පරිවාර වෙත්. ඒ කවර තුන් දහම්හ යත්: සම්මාදිට්ඨි, සම්මාවායාම, සම්මාසති යන මොහු යි.
මහණෙනි, එහි ලා සම්‍යග්දෘෂ්ටි පූර්‍වාඞ්ගම වෙයි. මහණෙනි, කි සෙයින් සම්‍යග්දෘෂ්ටි පූර්‍වාඞ්ගම වෙයි යත්: මිථ්‍යාසඞ්කල්පය ‘මිථ්‍යාසඞ්කල්ප’ යයි (ලක්‍ෂණ ප්‍රතිවේධයෙහි ලා අරමුණු විසින්) දැනගනී. සම්‍යක්සඞ්කල්පය ‘සම්‍යක්සඞ්කල්ප’ යයි දැනගනී. ඔහුට ඒ දැනුම සම්මාදිට්ඨි නම් වෙයි.
මහණෙනි, මිථ්‍යාසඞ්කල්ප කවරෙ යත්: කාමසඞ්කල්ප, ව්‍යාපාදසඞ්කල්ප, විහිංසාසඞ්කල්ප යි. මහණෙනි, මේ මිථ්‍යාසඞ්කල්ප නමි.
මහණෙනි, සම්‍යක්සඞ්කල්ප කවරෙ යත්: මහණෙනි, මම සම්‍යක්සඞ්කල්පයත් දෙ පරිදි කොට කියමි. මහණෙනි, සාස්‍රව වූ පුණ්‍යභාගිය වූ උපධිවිපාක දෙන සම්‍යක්සඞ්කල්පයෙක් ඇත. මහණෙනි, ආර්‍ය්‍ය අනාස්‍රව ලෝකෝත්තර මාර්‍ගාඞ්ග වූ සම්‍යක්සඞ්කල්පයක් ඇති.
මහණෙනි, සාස්‍රව වූ පුණ්‍යභාගිය වූ උපධිවිපාකය දෙන සම්‍යක්සඞ්කල්ප කවරෙ යත්: නෛෂ්ක්‍රම්‍යසඞ්කල්ප, අව්‍යාපාදසඞ්කල්ප, අවිහිංසාසඞ්කල්ප යි. මහණෙනි, මේ සම්‍යක්සඞ්කල්ප සාස්‍රව යැ පුණ්‍යභාගිය යැ උපධිවිපාක දෙන්නේ යි.
මහණෙනි, ආර්‍ය්‍ය වූ අනාස්‍රව වූ ලෝකෝත්තර මාර්‍ගාඞ්ග වූ සම්‍යක්සඞ්කල්ප කවරෙ යත්: මහණෙනි, ආර්‍ය්‍ය සිත් ඇති අනාස්‍රව සිත් ඇති ආර්‍ය්‍යමාර්‍ගසමඞ්ගී වූ ආර්‍ය්‍යමාර්‍ගය වඩනුවහුගේ යම් තර්‍කයෙක් විතර්‍කයෙක් සඞ්කල්පයෙක් සිත අරමුණෙහි පිහිටුවීමෙක් වෙසෙසින් පිහිටුවීමෙක් සිත අරමුණට නැංවීමෙක් වාක්‍සංස්කාරයෙක් වේ ද, මහණෙනි, මේ සම්‍යක්සඞ්කල්පය ආර්‍ය්‍ය යැ, අනාස්‍රව යැ, ලෝකෝත්තර යැ මාර්‍ගාඞ්ග යි. ඒ මහණ මිථ්‍යාසඞ්කල්පයාගේ ප්‍රහාණයට වෑයම් කරයි. සම්‍යක්සඞ්කල්පයාගේ ප්‍රතිලාභයට වෑයම් කරයි. ඒ ව්‍යායාමය ඔහුට සම්මාවායාම වෙයි. හේ ස්මෘතිමත් වූයේ මිථ්‍යාසඞ්කල්පය දුරලයි. ස්මෘතිමත් වූයේ සම්‍යක්සඞ්කල්පය උපදවා වෙසෙයි. ඔහුට ඒ ස්මෘතිය සම්මාසති වෙයි. මෙසේ මේ තුන් ධර්‍මයෝ (සහජාත ද පුරේජාත ද වී) සම්‍යක්සඞ්කල්පය අනුව යෙති. අනුව වැටෙත්, ඒ කවර තුන් දහම්හ යත්: සම්මාදිට්ඨි, සම්මාවායාම, සම්මාසති යන මොහු යි.
මහණෙනි, ඒ (ආර්‍ය්‍ය සම්‍යක් සමාධියෙහි) ලා සම්‍යක්දෘෂ්ටි පූර්‍වාඞ්ගම වෙයි. කිසෙයින්, මහණෙනි, සම්‍යග්දෘෂ්ටි පූර්‍වාඞ්ගම වෙයි යත්: මිථ්‍යාවචනය ‘මිථ්‍යාවචන’ යයි දැනගනී. සම්‍යග්වචනය ‘සම්‍යග්වචන’ යයි දැනගනී. ඒ දැනුම ඔහුට සම්‍යග්දෘෂ්ටි වෙයි.