3. 2. 4.
සේවිතබ්බාසේවිතබ්බ සූත්රය
මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු මහසිටුහුගේ අරම්හි වැඩවාස කෙරෙති. එකල භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’ කියා මහණුන් ඇමතූ සේක. ‘වහන්සැ’ යි ඒ මහණහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්යවතුන් වහන්සේ තෙල සුත වදාළ සේක.
මහණෙනි, තොපට සේවිතව්ය අසේවිතව්ය වූ ධර්මපර්ය්යාය දේශනා කරමි. ඒ අසව, මනාකොට මෙනෙහි කරව, කියමි’ යි. ‘වහන්ස, එසේ’ යයි ඒ මහණහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්යවතුන් වහන්සේ තෙල වදාළ සේක.
මහණෙනි, මම කායසමාචාරය ද දෙපරිද්දෙකින් කියමි: සේවිතව්ය ද අසේවිතව්ය දැයි. එ ද එකිනෙක වෙනස් කායසමාචාර යි. මහණෙනි, මම වචීසමාචාරය ද දෙපරිද්දෙකින් කියමි: සේවිතව්ය ද අසේවිතව්ය දැ’ යි. එ ද එකිනෙක වෙනස් වාක්සමාචාර යි, මහණෙනි, මම මනස්සමාචාරය ද දෙපරිද්දෙකින් කියමි: සේවිතව්ය ද අසේවිතව්ය දැ’ යි. එ ද එකිනෙක වෙනස් මනස්සමාචාර යි. මහණෙනි, මම චිත්තෝත්පාදය ද දෙපරිද්දෙකින් කියමි: සේවිතව්ය ද අසේවිතව්ය දැ’ යි. එ ද එකිනෙක වෙනස් චිත්තෝත්පාද යි. මහණෙනි, මම සංඥාප්රතිලාභය ද දෙපරිද්දෙකින් කියමි: සේවිතව්ය ද අසේවිතව්ය දැ’ යි. එ ද එකිනෙක වෙනස් සංඥාප්රතිලාභ යි. මහණෙනි, මම දෘෂ්ටිප්රතිලාභය ද දෙපරිද්දෙකින් කියමි: සේවිතව්ය ද අසේවිතව්ය දැ’ යි. එ ද එකිනෙක වෙනස් දෘෂ්ටිප්රතිලාභ යි. මහණෙනි, මම ආත්මභාවප්රතිලාභ ද දෙපරිද්දෙකින් කියමි: සේවිතව්ය ද අසේවිතව්ය දැ’ යි. එ ද එකිනෙක වෙනස් ආත්මභාවප්රතිලාභ වේ යයි.
මෙසේ වදාළ කල ආයුෂ්මත් ශාරිපුත්රයන් වහන්සේ භාග්යවතුන් වහන්සේට තෙල සැළකළහ: වහන්ස, මම භාග්යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාළ විස්තර විසින් අර්ත්ථ විභාග නො කළ මේ භාෂිතයාගේ අර්ත්ථ විස්තර විසින් මෙසේ අවබෝධ කොට දනිමි.
“මහණෙනි, මම කායසමාචාරය ද දෙපරිද්දෙකින් කියමි: සේවිතව්ය ද අසේවිතව්ය දැ’ යි. එ ද වෙන වෙන සිටි කායසමාචාරය’ යි භාග්යවතුන් වහන්සේ විසින් මෙසේ තෙල බසෙක් වදාරන ලද ද, තෙල බස කුමක් පිණිස වදාරන ලද ද යත්: වහන්ස, යම්බඳු කායසමාචාරයෙක් සෙවුනහට අකුශලධර්මයෝ වෙසෙසා වැඩෙත් ද, කුශලධර්මයෝ පිරිහෙත් ද, මෙබඳු කායසමාචාර නො සෙවිය යුතු ය. වහන්ස, යම් බඳු කායසමාචාරයක් සෙවුනාහට අකුශලධර්මයෝ පිරිහෙත් ද, කුශලධර්මයෝ වෙසෙසා වැඩෙත් ද, මෙබඳු කායසමාචාර සෙවිය යුතු යැයි.
වහන්ස, කෙබඳු කායසමාචාරයක් සෙවුනාහට අකුශලධර්මයෝ වැඩෙත් ද, කුශලධර්මයෝ පිරිහෙත් ද, වහන්ස, මෙලොවැ කිසිවෙක් රෞද්ර ලෙහෙ වැකුණු අත් ඇති පරප්රහාරයෙහි පරවධයෙහි නියුක්ත ප්රාණීන් කෙරෙයි අදයාපන්න පණිවා ඇතියෙක් වේ ද, අයිනාදන් ගන්නේ වේ ද, මෙරමා සතු පරා අයත් සතුටු එළවන පිරිකර බඩු ඇද්ද ග්රාමගත වේවයි, අරණ්යගත වේවයි. ඒ නුදුන් දැය සොරසිතින් ගන්නේ වේ ද, යළි කාමයෙහි මිසහසර ඇතියේ වේ ද, මවු විසින් රක්නා ලද පියා විසින් රක්නා ලද දෙමාපියන් විෂින් රක්නා ලද බෑයා විසින් රක්නා ලද බුහුන විසින් රක්නා ලද නෑයන් විසින් රක්නා ලද ගෝත්රය විසින් රක්නා ලද ධර්මය විසින් රක්නා ලද සස්වාමික සපරි දණ්ඩ වූ යටතින් මාලාගුණමාත්රයෙනුදු පරික්ෂිප්ත වූ යම් කුලකුමරිකාවෝ ඇද්ද, එබඳු ස්ත්රීන් කෙරෙහි මිථ්යාචාර වශයෙන් ව්යතික්රම කරන්නේ වේ ද. වහන්ස, මෙබඳු කාය සමාචාරය සෙවුනාහට අකුශලධර්මයෝ වැඩෙති, කුශලධර්මයෝ පිරිහෙති කියා යි.
වහන්ස, කෙබඳු කායසමාචාරයක් සෙවුනාහට අකුශලධර්මයෝ පිරිහෙත් ද, කුශලධර්මයෝ වැඩෙත් ද යත්: වහන්ස, මෙලොවැ කිසිවෙක් පණිවා හැරපියා පණිවායෙන් දුරුවූයේ වේ ද, බහාතැබූ දඬු ඇති ව බහාතැබූ ශස්ත්ර ඇති ව ලජ්ජාවට පැමිණ දයාපන්න ව සියලු ප්රාණීන් කෙරෙහි හිතානුකම්පී වාස කෙරේ ද, අයිනාදන් හැරපියා අයිනාදනින් විරත වේ ද, මෙරමා සතු පරා අයත් තෘෂ්ටිජනක යම් උපකරණ ඇද්ද, ග්රාමගත වේවයි අරණ්යගත වේවයි එ හැම අයිනාදන් සොරසිතින් නො ගන්නේ වේ ද. කාමයෙහි මිසහසර හැරපියා කාමයෙහි මිසහසරින් වැළැකුණේ වේ ද, මාතුරක්ඛිතා ය, පිතුරක්ඛිතා ය, මාතාපිතුරක්ඛිතා ය, භාතුරක්ඛිතා ය, භගිනිරක්ඛිතා ය, ඤාතිරක්ඛිතා ය, ගොත්තරක්ඛිතා ය, ධම්මරක්ඛිතා ය, සස්සාමිකා ය, සපරිදණ්ඩා ය යන මොවුන් හා යටතින් මල්දමින් වටලා වෙන්කළා වූවා දැ’ යි යම් කුලකුමාරිකාවෝ ඇද්ද, එබඳු ස්ත්රීන් කෙරෙහි ව්යතික්රම නො කරන්නේ වේ ද, වහන්ස, මෙබඳු කායසමාචාර සෙවුනාහට අකුශලධර්මයෝ පිරිහෙති, කුශලධර්මයෝ වැඩෙති කියා යි.
“මහණෙනි, මම කායසමාචාරය ද දෙපරිද්දෙකින් කියමි: සේවිතව්ය ද අසේවිතව්ය දැ’ යි. එ ද වෙන වෙන කායසමාචාර වෙතී’ භාග්යවතුන් වහන්සේ යමක් වදාරන ලද ද, මෙය තෙල පිණිස වදාරන ලදි.
“මහණෙනි, මම වාක්සමාචාරය ද දෙපරිද්දෙකින් කියමි: සේවිතව්ය ද අසේවිතව්ය දැ’ යි. එ ද වෙන වෙන වාක්සමාචාර වෙති’ යි මෙසේ භාග්යවතුන් වහන්සේ විසින් තෙල බසෙක් වදාරන ලද ද, තෙල කුමක් පිණිස වදාරන ලද්දේ ද යත්: වහන්ස, යම්බඳු වාක්සමාචාරයක් සෙවුනාහට අකුශලධර්මයෝ වැඩෙත් ද, කුශලධර්මයෝ පිරිහෙත් ද, මෙබඳු වාක්සමාචාරය නො සෙවිය යුතු ය. වහන්ස, යම්බඳු වාක්සමාචාරයක් සෙවුනාහට අකුශලධර්මයෝ පිරිහෙත් ද, කුශලධර්මයෝ වැඩෙත් ද, මෙබඳු වාක්සමාචාරය සෙවිය යුතු ය.