3. 2. 5.
බහුධාතුක සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම් අනේවඩු මහසිටුහු ගේ අරම්හි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල බහුධාතුක සුත වදාළ සේක.
මහණෙනි, යම් කිසි භය කෙනෙක් උපදනාහු ද එ හැම බාලයා නිසා උපදිති, පණ්ඩිතයා නිසා නූපදිත්. යම් කිසි උපද්‍රව කෙනෙක් උපදනාහු ද, එ හැම බාලයා නිසා උපදිති, පණ්ඩිතයා නිසා නූපදිත්. යම් කිසි උපසෘෂ්ටාකාරයෝ උපදනාහු ද, එ හැම බාලයා නිසා උපදිති, පණ්ඩිතයා නිසා නූපදිත්. මහණෙනි, ගිනි ඇවිළැගත් නළ (බට) සෙවෙනිගෙයක් වේවයි තණ සෙවෙනි ගෙයක් වේවයි ඇතුළත පිටත සුණු පිරියම් කළ වැළැහු වාත ප්‍රවේශ ඇති පැහැසු දොර කවුළු ඇති පියු වාතපාන ඇති කුළුගෙවලුදු යම් සේ දවා ද, එසෙයින් මැ මහණෙනි, යම් කිසි භය කෙනෙක් උපදනාහු ද එ හැම බාලයා නිසා උපදිති, පණ්ඩිතයා නිසා නූපදිත්. යම් කිසි උපද්‍රව කෙනෙක් උපදනාහු ද එ හැම බාලයා නිසා උපදිති, පණ්ඩිතයා නිසා නූපදිත්. යම් කිසි උපසෘෂ්ටාකාරයෝ උපදනා හු ද එ හැමබාලයා නිසා උපදිති, පණ්ඩිතයා නිසා නූපදිත්. මහණෙනි, මෙසේ බාල සප්‍රතිභය වෙයි, පණ්ඩිත අප්‍රතිභය වේ. බාල උපද්‍රව සහිත වෙයි, පණ්ඩිත අනුපද්‍රව වේ. බාල උපසර්‍ග සහිත වෙයි, පණ්ඩිත අනුපසර්‍ග වේ. මහණෙනි, පණ්ඩිතයා නිසා භයෙක් නැත, පණ්ඩිතයා නිසා උපද්‍රවයෙක් නැත, පණ්ඩිතයා නිසා උපසර්‍ගයෙක් නැත්. එ හෙයින් මහණෙනි, මෙහි ලා පණ්ඩිත වන්නම් හ. විමංසක වන්නම්හ,යි මෙසේ හික්මිය යුතු. මහණෙනි තොප විසින් මෙසේ ම හික්මිය යුතු යයි.
මෙසේ වදාළ කල්හි ආනන්‍දයෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: වහන්ස, කිපමණෙකින් මහණ පණ්ඩිත යැ විමංසක යැ යි කියන්නට නිසි වේදැයි.
ආනන්‍දය, මහණ යම් හෙයකින් ධාතු කුශල වේ ද, ආයතනකුශල වේ ද, ප්‍රතීත්‍යසමුත්පාද කුශල වේ ද, ස්ථානාස්ථානකුශල වේ ද, ආනන්‍දය, මෙතෙකින් මහණ පණ්ඩිත යැ විමසෙක යැ,යි කියන්නට නිසි වේ යයි.
යළි වහන්ස, කිපමණෙකින් ධාතුකුශල මහණැයි කියන්නට නිසි වේ දැ,යි.
ආනන්‍දය, මේ අටළොස් ධාතු කෙනෙක් වෙති: චක්‍ෂුර්ධාතු රූප ධාතු චක්‍ෂුර්විඥානධාතු යැ, ශ්‍රෝත්‍රධාතු ශබ්ද ධාතු ශ්‍රෝතවිඥානධාතු යැ, ඝ්‍රාණ ධාතු ගන්‍ධධාතු ඝ්‍රාණවිඥාන ධාතු යැ, ජිහ්වාධාතු රස ධාතු ජිහ්වාවිඥානධාතු යැ, කායධාතු ස්ප්‍රෂ්ටව්‍යධාතු කායවිඥාන ධාතු යැ, මනෝධාතු ධර්‍මධාතු මනෝවිඥානධාතු යි. ආනන්‍දය, යම් හෙයකින් මේ අටළොස් ධාතුන් දනී ද, දකී ද, ආනන්‍දය, මෙතෙකිනුදු ධාතුකුශල මහණැ,යි කියන්නට නිසි වේ යයි.
යළි වහන්ස, යම් කරුණෙකින් ධාතුකුශල මහණැයි කියන්නට නිසි වේද, එබඳු අන් කරුණෙකුදු වන්නේ දැ’යි.
ආනන්‍දය, වන්නේය. ආනන්‍දය, මේ ධාතූහු සදෙනෙක් වෙති: පෘථුවිධාතු යැ, අබ්ධාතු යැ, තෙජොධාතු යැ, වායුධාතු යැ, ආකාශධාතු යැ, විඥානධාතු යි. ආනන්‍දය, යම් කරුණෙකින් මේ ෂඩ්ධාතූන් දනී ද, දකී ද, ආනන්‍දය, මෙතෙකිනුදු ධාතුකුශල මහණැයි කියන්නට නිසි වේ යයි.
යළි වහන්ස, යම් කරුණෙකින් ධාතුකුශල මහණැ,යි කියන්නට නිසි වේ ද, එබඳු අන් කරුණෙකුදු වන්නේ දැ’යි.
ආනන්‍දය, වන්නේය. ආනන්‍දය, මේ ධාතූහු සදෙනෙක් වෙති: සුඛධාතු යැ දුඃඛධාතු යැ සෞමනස්‍යධාතු යැ දෞර්‍මනස්‍යධාතු යැ උපේක්‍ෂාධාතු යැ අවිද්‍යාධාතු යයි. ආනන්‍දය, යම් කරුණෙකින් මේ ෂඩ්ධාතූන් දනී ද, දකී ද, ආනන්‍දය, මෙතෙකිනුදු ධාතු කුශල මහණැ,යි කියන්නට නිසි වේ යයි.
යළි වහන්ස, යම් කරුණෙකින් ධාතු කුශල මහණැ,යි කියන්නට නිසි වේ ද, එබඳු අන් කරුණෙකුදු වන්නේ දැ,යි.
ආනන්‍දය, වන්නේය. ආනන්‍දය, මේ ධාතූහු සදෙනෙක් වෙති: කාමධාතු යැ නෙක්ඛම්මධාතු යැ ව්‍යාපාදධාතු යැ අව්‍යාපාදධාතු යැ විහිංසාධාතු යැ අවිහිංසාධාතු යි. ආනන්‍දය, යම් කරුණෙකින් මේ ෂඩ් ධාතූන් දනී ද දකී ද, ආනන්‍දය, මෙතෙකිනුදු ධාතුකුශල මහණැ යි කියන්නට නිසි වේ යයි.
යළි වහන්ස, යම් කරුණෙකින් ධාතුකුශල මහණැ යි කියන්නට නිසි වේ ද, එබඳු අන් කරුණෙකුදු වන්නේ දැ යි.
වන්නේ ය ආනන්‍දය, ආනන්‍දය, මේ ධාතූහු තිදෙනෙක් වෙති: කාමධාතුයැ රූප ධාතු යැ අරූප ධාතු යි. ආනන්‍දය, යම් කරුණෙකින් මේ තුන් ධාතූන් දනී ද දකී ද ආනන්‍දය මෙතෙකිනුදු ධාතුකුශල මහණැයි කියන්නට නිසි වේ ය’යි.
යළි වහන්ස, යම් කරුණෙකින් ධාතු කුශල මහණැ යි කියන්නට නිසි වේ ද, එබඳු අන් කරුණෙකුත් වන්නේ දැ යි.
වන්නේය, ආනන්‍දය, ආනන්‍දය, මේ ධාතූහු දෙදෙනෙක් වෙති: සඞ්ඛත ධාතු ද අසඞ්ඛත ධාතු දැ’යි. ආනන්‍දය, යම් කරුණෙකින් මේ දෙ ධාතූන් දනී ද දකී ද, මෙතෙකිනුදු ධාතු කුශල මහණැයි කියන්නට නිසි වේ ය’යි.
යළි වහන්ස, කිපමණෙකින් ආයතනකුශල මහණැයි කියන්නට නිසි වේ දැ යි.
ආනන්‍දය, මේ අධ්‍යාත්මික බාහ්‍ය වූ ආයතනයෝ සදෙනෙක් වෙති: ඇස ද රූපයෝ ද කන ද ශබ්දයෝ ද නැහැය ද ගන්‍ධයෝ ද දිව ද රසයෝද කය ද ස්ප්‍රෂ්ටව්‍යයෝ ද සිත ද ධර්‍මයෝ දැ යි. ආනන්‍දය, යම් කරුණකින් මේ ආධ්‍යාත්මික බාහ්‍ය වූ ෂඩායතනයන් දනී ද, දකී ද, ආනන්‍දය, මෙතෙකින් ආයතන කුශල මහණැයි කියන්නට නිසි වේ යැයි.