3. 2. 3.
සප්පුරිස සූත්රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු මහසිටුහුගේ අරම්හි වැඩවසන සේක. එසමයෙහි භාග්යවතුන්වහන්සේ ‘මහණෙනි’ යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූන් ‘වහන්සැ’ යි කියා භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහු. භාග්යවතුන් වහන්සේ තෙල සත්පුරුෂ සූත්රය වදාළ සේක:
මහණෙනි, තොපට සත්පුරුෂධර්මය හා අසත්පුරුෂධර්මය හා දෙසමි. එය අසව. මනා කොට මෙනෙහි කරව, කියමි’ යි.
වහන්ස, එසේ යයි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්යවතුන් වහන්සේ තෙලවදාළ සේක:
මහණෙනි, අසත්පුරුෂධර්ම නම් කවරෙ යත්: මහණෙනි, මෙලොවැ පාපපුරුෂ (කැත් බමුණු) උසස් කුලයෙන් පැවිදි වූයේ වෙයි. හේ මෙසේ සලකයි: ‘මම් වනාහි උසස් කුලෙන් නික්ම පැවිදි වූයෙමි. මේ තෙසු භික්ෂූහු උසස් කුලෙන් පැවිදි නො වූහ’ කියා යි, හේ ඒ උසස් කුල ඇති බැවින් තමා හුවයි, මෙරමා හෙළාදකී. මහණෙනි, මෙ ද අසත්පුරුෂ ධර්මයෙක. මහණෙනි, සත්පුරුෂ වනාහි මෙසේ සලකයි: ‘උච්චාකුලීන භාවයෙන් ලෝභ ධර්මයෝ හෝ පරික්ෂයට නොයෙති, ද්වේෂධර්මයෝ හෝ පරික්ෂයට නොයෙති, මෝහධර්මයෝ හෝ පරික්ෂයට නොයෙති. ඉදින් උසස් කුලයෙන් පැවිදි නොවූයේ නමුදු හේ ද ධර්මානුධර්මප්රතිපන්න වී නම්, සාමීචිප්රතිපන්න වී නම්, අනුධර්මයෙහි හැසිරෙන සුලු වී නම්, හේ ඒ මහණුන් කෙරෙහි පූජාර්හ වෙයි, හේ ඒ මහණුන් කෙරෙහි ප්රශංසාර්හ වෙයි කියා’ යි. හේ ප්රතිපදාව ම අභ්යන්තර කොට තබා ඒ උච්චා කුලීනතාහේතුයෙන් තමා හුවන්නේ නො වෙයි, මෙරමා හෙළාදක්නේ නො වෙයි. මහණෙනි, මේ සත්පුරුෂධර්මයි.
තවද මහණෙනි, අසත්පුරුෂ (කැත් බමුණු ගැහැවි යන) මහාකුලයෙන් නික්ම පැවිදි වූයේ වෙයි ... මහාභෝග ඇති කුලයෙන් නික්ම පැවිදි වූයේ වෙයි ... උදාරභෝගකුල සංඛ්යාත සතරකුලයෙන් නික්ම පැවිදි වූයේ වෙයි. හේ මෙසේ සලකයි: ‘මම් වනාහි උදාර භොග ඇති කුලයෙන් නික්ම පැවිදි වූයෙම් වෙමි. මේ සෙසු භික්ෂූහු උදාරභෝග කුලයෙන් නික්ම පැවිදි වූවාහු නො වෙති කියා’ යි. හෙ ඒ උදාරභෝගතායෙන් තමාහුවන්නේ වෙයි. මෙරමා හෙළාදක්නේ වෙයි. මහණෙනි, මෙ ද අසත්පුරුෂධර්ම යි. මහණෙනි, සත්පුරුෂ වනාහි මෙසේ සලකයි: ‘උදාරභෝගතායෙන් ලෝභධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති, ද්වේෂධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති, මෝහධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති. උදාර භොග ඇති කුලයෙන් නික්ම පැවිදි නො වූයේ නමුදු හේ ධර්මානුධර්මයෙහි පිළිපන්නේ වේ ද, සාමීචිධර්මයෙහි පිළිපන්නේ වේ ද, අනුධර්මය පුරනසුලු වේ ද, හේ ඒ භික්ෂූන් කෙරෙහි පූජාර්හ වෙයි, හේ ඒ භික්ෂූන් කෙරෙහි ප්රශංසාර්හ වෙයි කියා’ යි. හේ පිළිවෙත ම අභ්යන්තර කොට තබා ඒ උදාරභෝගතාහේතුයෙන් තමා හුවන්නේ නො වෙයි, මෙරමා හෙළාදක්නේ නො වෙයි. මෙ ද මහණෙනි, සත්පුරුෂධර්ම යි.
තවද මහණෙනි, අසත්පුරුෂ ප්රසිද්ධ වූයේ පරිවාර සම්පන්න වූයේ වෙයි. හේ මෙසේ ප්රත්යවේක්ෂණ කෙරෙයි: ‘මම වනාහි ප්රසිද්ධ වූයෙම් වෙමි, පරිවාරසම්පන්න වූයෙම් වෙමි. මේ සෙසු භික්ෂූහු වනාහි අප්රසිද්ධයහ, අල්පපරිවාර ඇතියහ කියා’ යි. හේ ඒ ඥාතභාවහේතුයෙන් තමා හුවයි, මෙරමා හෙළාදකී. මහණෙනි, මෙ ද අසත්පුරුෂධර්ම යි. මහණෙනි, සත්පුරුෂ වනාහි මෙසේ ප්රත්යවේක්ෂණ කෙරෙයි: ‘ඥාතභාවහේතුයෙන් ලෝභධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති, ද්වේෂධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති, මෝහධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති. ප්රසිද්ධ නො වූයේ නමුදු පරිවාරසම්පන්න නො වූයේ නමුදු හේ ධර්මානුධර්මයෙහි පිළිපන්නේ වේ ද, සාමීචිධර්මයෙහි පිළිපන්නේ වේ ද, අනුධර්මය පුරනසුලු වේ ද, හේ ඒ භික්ෂූන් කෙරෙහි පූජාර්හ වෙයි, හේ ඒ භික්ෂූන් කෙරෙහි ප්රශංසාර්හ වෙයි කියා’ යි. හේ පිළිවෙත ම අභ්යන්තර කොට තබා ඒ ඥාතභාවහේතුයෙන් තමා හුවන්නේ නො වෙයි, මෙරමා හෙළාදක්නේ නො වෙයි. මහණෙනි මෙ ද සත්පුරුෂ ධර්ම යි.
තවද මහණෙනි, අසත්පුරුෂ සිවුරුපිඬුවාසෙනසුන්ගිලන්පසබෙහෙත්පිරිකර ලබන සුලු වෙයි. හේ මෙසේ සලකයි: ‘මම වනාහි සිවුරුපිඬුවාසෙනසුන්ගිලන්පසබෙහෙත්පිරිකර ලබනසුලුයෙම් වෙමි. මේ සෙසු භික්ෂූහු සිවුරුපිඬුවාසෙනසුන්ගිලන්පසබෙහෙත්පිරිකර නොලබනසුලු වෙති කියා’ යි. හේ ඒ ලාභහේතුයෙන් තමා හුවයි, මෙරමා හෙළාදකී. මහණෙනි, මෙ ද අසත්පුරුෂධර්ම යි. මහණෙනි, සත්පුරුෂ වනාහි මෙසේ සලකයි: ‘ලාභ හේතුයෙන් ලෝභධර්මයෝ හෝ පරික්ෂයට නොයෙති, ද්වේෂධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති, මෝහධර්මයෝ හෝ පරික්ෂයට නොයෙති. සිවුරුපිඬුවාසෙනසුන්ගිලන්පසබෙහෙත්පිරිකර නොලබනසුලු වුව ද, හේ ධර්මානුධර්මයෙහි පිළිපන්නේ වේ නම්, සාමීචිධර්මයෙහි පිළිපන්නේ වේ නම්, අනුධර්මය පුරනසුලු වේ නම්, හේ ඒ මහණුන් කෙරෙහි පූජාර්හ වෙයි, හේ ඒ මහණුන් කෙරෙහි ප්රශංසාර්හ වෙයි කියා’ යි. හේ පිළිවෙත මැ අභ්යන්තර කොට ගෙන ඒ ලාභහේතුයෙන් තමා හුවාගන්නේ නො වෙයි, මෙරමා හෙළාදක්නේ හෝ නො වෙයි. මහණෙනි මෙ ද සත්පුරුෂ ධර්ම යි.
තවද මහණෙනි, අසත්පුරුෂ බහුශ්රුත වෙයි. හේ මෙසේ සලකයි: ‘මම වනාහි බහුශ්රැතයෙමි. මෙ සෙසු භික්ෂූහු බහුශ්රැතයෝ නො වෙති’ කියායි. හේ ඒ බහුශ්රැතභාවයෙන් තමා හුවාදකී, මෙරමා හෙළාදකී. මහණෙනි, මෙ ද අසත්පුරුෂ ධර්ම යි. මහණෙනි, සත්පුරුෂ වනාහි මෙසේ සලකයි: ‘බහුශ්රැතභාවයෙන් ලෝභධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති, ද්වේෂධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති, මෝහධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති. බහුශ්රුත නො වුව ද, හේ ධර්මානුධර්මයෙහි පිළිපන්නේ නම්, සාමීචිධර්මයෙහිත් පිළිපන්නේ වේ නම්, අනුධර්මය පුරන සුලු වේ නම්, හේ ඒ මහණුන් කෙරෙහි පූජාර්හ වෙයි, හේ ඒ මහණුන් කෙරෙහි ප්රශංසාර්හ වෙයි’ කියා යි. හේ ප්රතිපත් ම කරුණු කොට ගෙන ඒ බහුශ්රැතභාවයෙන් තමා නොහුවන්නේ යැ, මෙරමා නො හෙළාදක්නේ යැ. මහණෙනි, මෙ ද සත්පුරුෂධර්මයි.