3. 2. 2.
ඡබ්බිසෝධන සූත්රය
මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවාසය කරන සේක. එකල්හි භාග්යවතුන් වහන්සේ මහණෙනි යි භික්ෂූන් ඇමතූසේක. ඒ භික්ෂූහු ‘වහන්සැ’ යි භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්යවතුන් වහන්සේ තෙල වදාළසේක.
මහණෙනි, මෙ සස්නෙහි මහණෙක් ‘ජාතිය ක්ෂය විය, බඹසර වසනලද, කරණී කරන ලද, මේ රහත්බව පිණිස කළ යුතු අන් කිසෙක් නැති යි නුවණින් දන්මි’ කියා අර්හත්ත්වය ප්රකාශ කෙරෙයි. මහණෙනි, ඒ මහණහුගේ භාෂිතය අභිනන්දන නො කටයුතු ය, පිළිකෙව් නො කටයුතු ය. අභිනන්දන නො කොට පිලිකෙවේ නො කොට ප්රශ්නයෙක් විචාළ යුතු ය: ඇවැත්නි, භාග්යවත් වූ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්හත් වූ සම්යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මේ සතර වෝහාර කෙනෙක් මොනොවට වදාරන ලදහ. කවර සතර කෙනෙක යත්: දක්නා ලද්දෙහි දෘෂ්ටවාදී බව යැ. අසන ලද්දෙහි ශ්රැතවාදී බව යැ, ගන්ධ රස ස්ප්රෂ්ටව්ය සඞ්ඛ්යාත මුතයෙහි මුතවාදී බව යැ, ධර්මාලම්බන සඞ්ඛ්යාත විඥානයෙහි විඥානවාදී බව යැ. ඇවැත්නි, භාග්යවත් වූ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්හත් වූ සම්යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මේ සතර වෝහාර කෙනෙක් මොනොවට වදාරන ලදහ.
කෙසේ දන්නා වූ කෙසේ දක්නා වූ ඒ ආයුෂ්මත්හුගේ සිත මේ සතර වෝහාරයන් කෙරෙහි උපාදාන වශයෙන් නො ගෙන ආස්රවයන් කෙරෙන් මිදුණේ වේ ද යත්: මහණෙනි, වැස නිමවූ බඹසර ඇති කළ කරණී ඇති බහා තැබූ කෙලෙස්බර ඇති පැමිණි ස්වාර්ත්ථ සඞ්ඛ්යාත රහත්ඵල ඇති පරික්ෂීණ වූ භවසංයෝජන ඇති මොනොවට දැන මිදුණු ක්ෂීණාස්රව මහණහට පිළිතුරු පවසනු පිණිස මේ ස්වභාවය වෙයි. ‘ඇවැත්නි, මම රූපාලම්බනයෙහි රාගවශයෙන් උපගමන නැතියෙම්, ප්රතිඝ වශයෙන් අපගමන නැතියෙම් තෘෂ්ණාදෘෂ්ටි විසින් අනිශ්රිත වූයෙම් ඡන්දරාග වශයෙන් ප්රතිබද්ධ නො වූයෙම් කාමරාගයෙන් මිදුණෙම් කෙලෙසුන් කෙරෙන් විසංයුක්ත වූයෙම් විගතමර්ය්යාදා කළ සිතින් යුක්ත ව වාසකරමි. ඇවැත්නි, මම ශබ්දාලම්බනයෙහි ... ඇවැත්නි, මම (ගන්ධ රස ස්ප්රෂ්ටව්ය) මුතයෙහි ... ඇවැත්නි, මම ධර්මාලම්බනයෙහි රාගවශයෙන් උපගමන නැතියෙම්, ප්රතිඝවශයෙන් අපගමන නැතියෙම්, තෘෂ්ණාදෘෂ්ටි විසින් අනිශ්රිත වූයෙම් ඡන්දරාග වශයෙන් ප්රතිබද්ධ නො වූයෙම් කාමරාගයෙන් මිදුණෙම් කෙලෙසුන් කෙරෙන් විසංයුක්ත වූයෙම් විගතමර්ය්යාදා කළ සිතින් යුක්ත ව වාසකරමි. ඇවැත්නි, මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ මාගේ සිත මේ සතර වෝහාරයන් කෙරෙහි උපාදාන වශයෙන් නො ගෙන ආස්රවයන් කෙරෙන් මිදිණැ’ යි කියා යි.
මහණෙනි, ඒ මහණහුගේ භාෂිතය ‘මැනැවැ’යි අභිනන්දන කළ යුතු යැ, අනුමෝදනා කළ යුතු යැ, මැනැවැ’ යි ඒ භාෂිතය අභිනන්දන කොට අනුමෝදන් ව මතුයෙහි ප්රශ්නයෙක් පිලිවිසියැ යුතු: ඇවැත්නි, භාග්යවත් වූ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්හත් වූ සම්යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මේ පස්වැදෑරුම් උපාදානස්කන්ධයෝ මොනොවට දෙසන ලදහ. කවර පසෙක යත්: ඒ මෙසේ යැ: රූපූපාදානසකන්ධ යැ, වේදනූපාදානසකන්ධ යැ, සඤ්ඤුපාදානස්කන්ධ යැ, සඞ්ඛාරූපාදානසකන්ධ යැ,විඤ්ඤාණූපාදානසකන්ධ යි. ඇවැත්නි, භාග්යවත් වූ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ සම්යක්
සම්බුද්ධයන් වහන්සේ විසින් මේ පඤේචාපාදාන ස්කන්ධයෝ මොනොවට දෙසන ලදහ. කෙසේ දන්නා වූ කෙසේ දක්නා වූ ඒ ආයුෂ්මත්හුගේ සිත මේ පඤ්චෝපාදානස්කන්ධයන් කෙරෙහි උපාදාන වශයෙන් නො ගෙන ආස්රවයන් කෙරෙන් මිදුණේ වේ ද: මහණෙනි, වැස නිමවූ බඹසර ඇති කළ කරණී ඇති බහාතැබූ කෙලෙස්බර ඇති පැමිණි රහත්ඵල ඇති පරික්ෂීණ භවසංයෝජන ඇති ක්ෂීණාස්රව මහණහුගේ ප්රශ්නව්යාකරණයට මේ ස්වභාව වෙයි: ඇවැත්නි, මම රූපය අබල ය, විරාග ය, අනස්වාසික යයි දැන රූප යෙහි යම් උපයුපාදාන කෙනෙක් ඇද්ද සිත පිළිබඳ අධිෂ්ඨාන අභිනිවේශ අනුශය කෙනෙක් ඇද්ද උන්ගේ ක්ෂය හේතුයෙන් විරාගහේතුයෙන් නිරෝධ හේතුයෙන් ත්යාග හේතුයෙන් හැරැපීම්හේතුයෙන් මාගේ සිත මිදිණැ’යි නුවණින් දනිමි. ඇවැත්නි, මම වේදනාව ... ඇවැත්නි, මම සංඥාව ... ඇවැත්නි, මම සංස්කාරයන් ... ඇවැත්නි, මම විඥානය අබල ය විරාග ය අනාස්වාසික යැ’ යි දැන විඥානයෙහි යම් උපය-උපාදාන කෙනෙක් ඇද්ද සිත පිළිබඳ අධිෂ්ඨාන අභිනිවේශ අනුශය කෙනෙක් ඇද්ද උන්ගේ ක්ෂය හේතුයෙන් විරාගහේතුයෙන් නිරෝධ හේතුයෙන් ත්යාග හේතුයෙන් හැරැපීම් හේතුයෙන් ‘මාගේ සිත මිදිණැ’යි නුවණින් දනිමි. ඇවැත්නි, මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ මාගේ සිත පඤ්චෝපාදානස්කන්ධයන් කෙරෙහි උපාදාන වශයෙන් නො ගෙන ආස්රවයන් කෙරෙන් මිදිණැ’ යි කියා යි.
මහණෙනි, ඒ මහණහුගේ භාෂිතය ‘මැනැවැ’යි අභිනන්දන කළ යුතු යි, අනුමෝදනා කළ යුතු යි. ‘මැනැවැ’ යි ඒ භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් වැ මතුයෙහි ප්රශ්නයෙක් පිළිවිසිය යුතු: ඇවැත්නි, භාග්යවත් වූ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්හත් වූ සම්යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මෙ ධාතුහු සදෙනෙක් මොනොවට වදාරන ලදහ. කවර සදෙනෙක යත්: පෘථිවිධාතු යැ, අබ්ධාතු යැ, තේජෝධාතු යැ, වායෝධාතු යැ, ආකාශධාතු යැ, විඥානධාතු යි. ඇවැත්නි, භාග්යවත් වූ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්හත් වූ සම්යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මෙ ධාතුහු සදෙන මොනවට වදාරන ලදහ. කෙසේ දන්නා වූ කෙසේ දක්නා වූ ආයුෂ්මත්හුගේ සිත මෙ සවැදෑරුම් ධාතුන් කෙරෙහි උපාදාන වශයෙන් නොගෙන ආස්රවයන් කෙරෙන් මිදුණේ වේ ද: මහණෙනි, වැසැ නිමවූ බඹසර ඇති, කළ කරණී ඇති, බහා තැබූ කෙලෙස් බර ඇති, පැමිණි රහත්ඵල ඇති, පරික්ෂීණ භවසංයෝජන ඇති, මොනොවට දැන මිදුණු ක්ෂීණාස්රව මහණහට ප්රශ්නව්යාකරණය පිණිස මෙ ස්වභාවය ඇත: ඇවැත්නි, මම පෘථිවිධාතුව ආත්මවශයෙන් නො පැමිණියෙමි. පෘථිවිධාතු නිඃශ්රිත වූ සෙසු ධාතු ද ආත්මකොටගෙන නො පැමිණියෙමි. පෘථිවිධාතු නිඃශ්රිත වූ (තෘෂ්ණා දෘෂ්ටි සංඛ්යාත) යම් උපය උපාදාන කෙනෙක් ඇද්ද, සිත පිළිබඳ (තෘෂ්ණා දෘෂ්ටි සංඛ්යාත) යම් අධිෂ්ඨාන අභිනිවේස අනුසය කෙනෙක් ඇද්ද, උන්ගේ ක්ෂය හේතුයෙන් විරාග හේතුයෙන් නිරෝධ හේතුයෙන් ත්යාග හේතුයෙන් හැරැපීම් හේතුයෙන් “මා සිත මිදිණැ” යි නුවණින් දන්මි. ඇවැත්නි, මම අබ්ධාතු ... ඇවැත්නි, මම තේජෝධාතු ... ඇවැත්නි, මම වායෝධාතු ... ඇවැත්නි, මම ආකාශධාතු … ඇවැත්නි, මම විඥානධාතු ආත්ම වශයෙන් නො ගතිමි. ආත්මය විඥාන ධාතු නිඃශ්රිතකොට ද නො ගතිමි. විඥානධාතු නිඃශ්රිත වූ (තෘෂ්ණා දෘෂ්ටි සංඛ්යාත) යම් මැ උපය උපාදාන කෙනෙක් ඇද්ද, සිත පිළිබඳ (තෘෂ්ණා දෘෂ්ටි සංඛ්යාත) යම් අධිෂ්ඨාන අභිනිවේස අනුසය කෙනෙක් ඇද්ද, උන්ගේ ක්ෂය හේතුයෙන් විරාග හේතුයෙන් නිරෝධ හේතුයෙන් ත්යාග හේතුයෙන් “මා සිත මිදිණැ” යි නුවණින් දනිමි. ඇවැත්නි, මෙසෙයින් දන්නා වූ මෙසෙයින් දක්නා වූ මාගේ සිත් මෙ සවැදෑරුම් ධාතුන් කෙරෙයි උපාදාන වශයෙන් නො ගෙන මිදිණැ යි කියායි.