2. 5. 9.
සුභ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි අප බුදුහු සැවැත්නුවර නිසා ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. එසමයෙහි තෝදෙය්‍ය බමුණුහුගේ පුත් සුභ මණෙවු කිසි කටයුත්තෙකින් සැවැත්නුවර එක්තරා ගෘහපතියක්හුගේ නිවෙස්නෙහි වෙසෙයි. එසඳ තෝදෙය්‍යපුත්‍ර සුභ මාණව යම් ගැහැවියක්හුගේ නිවෙස්නෙහි වෙසේ ද, එ ගැහැවිහට තෙල කී: “ගැහැවියෙනි, සැවැත්නුවර රහතුන්ගෙන් වෙන් නොවේ” යන තෙල බස මා විසින් අසන ලද. අද කවර නම් මහණකු හෝ බමුණකු හෝ පර්‍ය්‍යුපාසන කරමෝ දැ?” යි.
“ස්වාමීනි, මේ භගවත්හු සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. ස්වාමීනි, ඒ භාග්‍යවතුන් වහන්සේ පර්‍ය්‍යුපාසන කරව” යි.
එසඳ තෝදෙය්‍යපුත්‍ර සුභ මාණව ඒ ගැහැවිහට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු වී. සතුටු වියයුතු කාලාන්තර යෙහි සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් තෝදෙය්‍යපුත්‍ර සුභ මාණව භාග්‍යවතුන් වහන්සේට තෙල් සැල කෙළේ:
“භවත් ගෞතමයෙනි, බමුණෝ මෙසේ කීහු: ගෘහස්ථ තෙමේ අනවද්‍ය න්‍යාය (කාරණ) ධර්‍මය පුරන්නේ වෙයි, ප්‍රව්‍රජිත තෙමේ අනවද්‍ය න්‍යාය ධර්‍මය පුරන්නේ නො වේ” යයි. මෙහි ලා භවත් ගෞතමයෝ කුමක් කියත් දැ?” යි.
මාණවකය, මම මෙහි දී විභජ්ජවාදයෙමි. මම මෙහි දී ඒකාන්තවාද නො වෙමි. මාණවකය, මම ගිහියක්හුගේ වේවයි, පැවිද්දක්හුගේ වේවයි, මිථ්‍යාප්‍රතිපත් නො වනමි. මාණවකය, ගිහියෙක් වේවයි පැවිද්දෙක් වේවයි, වරදවා පිළිපන්නේ වරදවා පිළිපැදීම හේතු කොට ගෙන් අනවද්‍ය වූ කාරණ ධර්‍මය සපයන්නේ නො වේ. මාණවකය, මම ගිහියකුගේ වේවයි, පැවිද්දකුගේ වේවයි, මනා පිළිවෙත වනමි. මාණවකය, ගිහියෙක් වේවයි පැවිද්දෙක් වේවයි මොනොවට පිළිපන්නේ මොනොවට පිළිපැදීම් හේතුයෙන් අනවද්‍ය වූ න්‍යායධර්‍මය සපයන්නේ වෙයි.
භවත් ගෞතමයන් වහන්ස, බමුණෝ මෙසේ කීහු: “බොහෝ වූ (මෙහෙකරුවන් විසින් හෝ උවරණ විසින්) අර්‍ත්‍ථ ඇති මහත් වූ නාමග්‍රහණාදි කිස ඇති මහත්වූ අධිකාර ඇති මහත් වූ (පීඩා සඞ්ඛ්‍යාත) සමාරම්භ ඇති මේ ගෘහාවාස කර්‍මය මහත්ඵල වෙයි. අල්පාර්‍ත්‍ථ වූ අල්පකෘත්‍ය වූ අල්පාධිකාර ඇති අල්ප සමාරම්භ ඇති මේ ප්‍රව්‍රජ්‍යාකර්‍මය අල්පඵල වේ ය කියා යි. මෙහි ලා භවත් ගෞතමයන් වහන්සේ කුමක් වදාරනසේක් ද?
මාණවකය, මම මෙහි දු විභජ්ජවාදයෙමි. මම මෙහි ඒකාන්තවාද නො වෙමි. මාණවකය, මහාර්‍ත්‍ථ වූ මහාකෘත්‍ය වූ මහාධිකාර ඇති මහාසමාරම්භ ඇති කර්‍මාන්තයෙක් වනසට යන්නේ අල්පඵල වේ ද, එබඳු කර්‍මස්ථානයෙක් ඇත. මාණවකය, මහාර්‍ත්‍ථ වූ මහාකෘත්‍ය වූ මහාධිකාර ඇති මහාසමාරම්භ ඇති කර්‍මාන්තයෙක් සම්පාදන කරනුලබනුයේ මහත්ඵල වේ ද, එබඳු කර්‍මස්ථානයෙක් ද ඇත. මාණවකය, අල්පාර්‍ත්‍ථ වූ අල්ප කෘත්‍ය වූ අල්පාධිකාර ඇති අල්පසමාරම්භ ඇති කර්‍මාන්තයෙක් වැනසෙනුයේ අල්පඵල වේ ද, එබඳු කර්‍මස්ථානයෙක් ද ඇත. මාණවකය, අල්පාර්‍ත්‍ථ වූ අල්ප කෘත්‍ය වූ අල්පාධිකාර ඇති අල්පසමාරම්භ ඇති කර්‍මාන්තයෙක් මහත්ඵල වේ ද, එබඳු කර්‍මස්ථානයෙක් ද ඇත.
මාණවකය, මහාර්‍ත්‍ථ වූ මහාකෘත්‍ය වූ මහාධිකරණ ඇති මහාසමාරම්භ ඇති කවර නම් කර්‍මස්ථානයෙක් වනසට යන්නේ අල්පඵල වේ ද යත්: මාණවකය, කෘෂිකර්‍මාන්තය මහාර්‍ත්‍ථ වූයේ මහාකෘත්‍ය වූයේ මහාධිකරණ ඇත්තේ මහාසමාරම්භ ඇත්තේ වනසට යන්නේ අල්පඵල වෙයි.
මාණවකය, මහාර්‍ත්‍ථ වූ මහාකෘත්‍ය වූ මහාධිකරණ ඇති මහාසමාරම්භ ඇති කවර නම් කර්‍මස්ථානයෙක් සමෘද්ධ වනුයේ මහත්ඵල වේ ද යත්: මාණවකය, කෘෂිකර්‍මාන්තය මැ මහාර්‍ත්‍ථ වූයේ මහාකෘත්‍ය වූයේ මහාධිකරණ ඇත්තේ මහාසමාරම්භ ඇත්තේ සමෘද්ධ වනුයේ මහත්ඵල වෙයි.
මාණවකය, අල්පාර්‍ත්‍ථ වූ අල්පකෘත්‍ය වූ අල්පාධිකරණ ඇති අල්පසමාරම්භ ඇති කවර නම් කර්‍මස්ථානයෙක් වනසට යනුයේ අල්පඵල වේ ද යත්: මාණවකය, වෙණෙදහම් කර්‍මාන්තය අල්පාර්‍ත්‍ථ වූයේ අල්පකෘත්‍ය වූයේ අල්පාධිකරණ ඇතියේ අල්පසමාරම්භ ඇතියේ වනසට යන්නේ අල්පඵල වෙයි.
මාණවකය, අල්පාර්‍ත්‍ථ වූ අල්පකෘත්‍ය වූ අල්පාධිකරණ ඇති අල්පසමාරම්භ ඇති කවර නම් කර්‍මස්ථානයෙක් සමෘද්ධ වනුයේ මහත්ඵල වේ ද යත්: මාණවකය, වෙණෙදහම් කර්‍මාන්තය මැ අල්පාර්‍ත්‍ථ වූයේ අල්පකෘත්‍ය වූයේ අල්පාධිකරණ ඇතියේ අල්පසමාරම්භ ඇතියේ සමෘද්ධ වන්නේ මහත්ඵල වෙයි.
මාණවකය, යම්සේ මහාර්‍ත්‍ථ වූ මහාකෘත්‍ය වූ මහාධිකරණ ඇති මහාසමාරම්භ ඇති කෘෂිකර්‍මාන්තය වැනැසෙනුයේ අල්පඵල වේ ද, එසෙයින් මැ මාණවකය, මහාර්‍ත්‍ථ වූ මහාකෘත්‍ය වූ මහාධිකරණ ඇති මහාසමාරම්භ ඇති ගෘහවාසකර්‍මය වැනැසෙනුයේ අල්පඵල වෙයි.
මාණවකය, යම්සේ මහාර්‍ත්‍ථ වූ මහාකෘත්‍ය වූ මහාධිකරණ ඇති මහාසමාරම්භ ඇති කෘෂිකර්‍මය මැ සමෘද්ධ වනුයේ මහත්ඵල වේ ද, එසෙයින් මැ මාණවකය, මහාර්‍ත්‍ථ වූ මහාකෘත්‍ය වූ මහාධිකරණ ඇති මහාසමාරම්භ ඇති ගෘහවාසකර්‍මය සමෘද්ධ වන්නේ මහත්ඵල වෙයි.