2. 5. 10.
සඞ්ගාරව සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනවියෙහි මහබික්සඟුන් හා සමග සැරිසරනසේක. එසමයෙහි ධනඤ්ජානී නම් බැමිණි මණ්ඩලකප්ප නම් ගම්හි වෙසෙයි. බුදුන් කෙරෙහි දු දහම් කෙරෙහි දු සඟුන් කෙරෙහි දු (අවේත්‍යප්‍රසාද වශයෙන්) පහන, එකල ධනඤ්ජානී බැමිණි පය පැකිල තුන් වරක් උදන් ඇනූ: “ඒ භගවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා, ඒ භාහවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා, ඒ භගවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා” කියායි.
එසමයෙහි සඞ්ගාරව නම් මාණවක මණ්ඩලකප්ප නම් ගම්හි වාස කෙරෙයි. හේ නිඝණ්ඩු කෙටුභශාස්ත්‍ර සහිත අක්‍ෂරප්‍රභේද සහිත ඉතිහාසය පස්වනු කොට ඇති ත්‍රිවේදයන්ගේ පරතෙර ගියේ පද ශාස්ත්‍ර හදාරනුයේ ව්‍යාකරණ හදාරනුයේ ලෞකායතික මහාපුරුෂලක්‍ෂණයෙහි පරිපූරකාරී වූයේ වෙයි. සඞ්ගාරව මාණවක මෙසේ නමස්කාරපාඨ බණන ධනඤ්ජානී බැමිණියගේ බස් ඇසී. අසා ධනඤ්ජානී බැමිණියට තෙල කී: “බමුණන් විද්‍යමාන වැ සිටිය දී මේ ධනඤ්ජානී බැමිණි අවෘද්ධිමත් වූ යැ, විනාශප්‍රාප්ත වූ යැ. තවද ඒ මුණ්ඩක ශ්‍රමණයන් ගේ ගුණ කියා”යනු යි.
‘පුත භද්‍රමුඛය, තෝ ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ සිල් හා නුවණ නො දත්හි. පුත භද්‍රමුඛය, ඉදින් තෝ ඒ භාග්‍යවතුන් වහන්සේගේ සිල් හා නුවණ දණහි නම්, පුත භද්‍රමුඛය, තෝ ඒ භාග්‍යවතුන් වහන්සේ ආක්‍රෝශ කළ යුත්තකු කොට පරිභාෂණ කළ යුත්තකු කොට නො හඟිහි.’
‘භවතිය, එසේ වී නම් යම් දිනෙක ශ්‍රමණ ගෞතමයෝ මණ්ඩලකප්ප ගමට පැමිණියාහු වෙත් ද, එකල මට දන්වන්නේ යැ’යි කී. ‘භද්‍රමුඛය, එසේ යැ’යි ධනඤ්ජානී බැමිණි සඞ්ගාරව මාණවකයාහට පිළිවදන් දින්.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනවියෙහි පිළිවෙළින් සැරිසරනසේක් මණ්ඩලකල්ප ගම කරා වැඩිසේක. භාග්‍යවතුන් වහන්සේ ඒ මණ්ඩලකප්ප ගම්හි තෝදෙය්‍ය බමුණන්ගේ අඹ වෙනෙහි වැඩ වාස කෙරෙති. ධනඤ්ජානී බැමිණි භාග්‍යවතුන් වහන්සේ ඒ මණ්ඩලකප්ප ගමට වැඩිසේක් මණ්ඩලකල්ප ගම්හි තෝදෙය්‍ය බමුණන්ගේ අඹ වෙනෙහි වැඩ වාස කෙරෙත් ලැ’යි ඇසූ යැ.
එසඳ ධනඤ්ජානී බැමිණි සඞ්ගාරව මාණවකයා කරා එළැඹියා. එළඹ සඞ්ගාරව මාණවකයාට තෙල කිවූ: “පුත්‍ර භද්‍රමුඛය, ඒ භාග්‍යවතුන් වහන්සේ මණ්ඩලකප්ප ගමට වැඩිසේක් මණ්ඩලකප්ප ගම්හි තෝදෙය්‍ය බමුණන්ගේ අඹ වෙනෙහි වැඩවෙසෙති. පුත, භද්‍රමුඛය, තෝ දැන් යමක් ගැන සිතෙහි නම් එයට කල් දනැ”යි කිවු.
‘භවතිය, එසේයැ’යි සඞ්ගාරව මාණවකයා ධනඤ්ජානී බැමිණියට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ, එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වී. සතුටු වියයුතු සිහි කළ යුතු කථා කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් සඞ්ගාරව මාණවක භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ:
“භවත් ගෞතමයන් වහන්ස, ඉහාත්මයෙහි මැ දැන ව්‍යවසිත වැ පාරමී සඞ්‍ඛ්‍යාත ‘නිර්‍වාණයට පැමිණියම්හ’යි කියා ආදිබ්‍රහ්මචර්‍ය්‍යය පිළින කෙරෙත් ද එබඳු මහණ බමුණු කෙනෙක් ඇත. භවත් ගෞතමයන් වහන්ස, යම් මැ මහණ බමුණු කෙනෙක් ඉහාත්ම යෙහි මැ දැන ව්‍යවසිත වැ පාරමී සඞ්‍ඛ්‍යාත ‘නිවනට පැමිණියම්හ’යි කියා ආදිබ්‍රහ්මචර්‍ය්‍යය පිළින කෙරෙත් නම් ඔවුනතුරෙන් භවත් ගෞතමයන් වහන්සේ කවරහ?
භාරද්වාජය, ඉහාත්මයෙහි මැ දැන පර්‍ය්‍යවසිත වැ ‘නිවන් පැමිණියම්හ’යි බණන ආදිබ්‍රහ්මචර්‍ය්‍යය පිළින කරන ඔවුන්ගේ ද වෙනස කියමි. භාරද්වාජය, අනුශ්‍රවකථා ගත් කිසි මහණ බමුණු කෙනෙක් ඇත. ඔවු අනුශ්‍රව වශයෙන් ඉහාත්මයෙහි මැ දැන පර්‍ය්‍යවසිත වැ ‘නිවන් පැමිණියම්හ’ යි කියා ආදිබ්‍රහ්මචර්‍ය්‍යය පිළින කෙරෙති. තේවිජ්ජබ්‍රහ්මණයන් සෙයිනි. භාරද්වාජය, හුදු ශ්‍රද්ධාමාත්‍ර වශයෙන් ඉහාත්මයෙහි මැ දැන පර්‍ය්‍යවසිත වැ ‘නිවන් පැමිණියම්හ’ යි කියා ආදිබ්‍රහ්මචර්‍ය්‍යය පිළින කෙරෙත් ද, එ බඳු කිසි මහණ බමුණු කෙනෙක් ඇත. තර්‍කග්‍රාහී වූ විමංසක වූ බ්‍රාහ්මණයන් සෙයිනි. භාරද්වාජ, පෙර නො ඇසූවිරූ දහම්හි තමන් විසින් මැ දහම් දැන ඉහාත්මයෙහි මැ දැන පර්‍ය්‍යවසිත වැ ‘නිවන් පැමිණියම්හ’ යි කියා ආදිබ්‍රහ්මචර්‍ය්‍යය පිළින කෙරෙත් ද, එ බඳු කිසි මහණ බමුණු කෙනෙක් ඇත.
භාරද්වාජය, එහි යම් ඒ මහණ බමුණු කෙනෙක් අනනුශ්‍රැත ධර්‍මයෙහි තමන් විසින් මැ දහම් දැන ඉහාත්මයෙහි මැ දැන පර්‍ය්‍යවසිත වැ ‘නිවන් පැමිණියම්හ’යි කියා ආදිබ්‍රහ්මචර්‍ය්‍යය පිළින කෙරෙත් ද, ඒ සම්බුද්ධයන් අතුරෙන් මම අන්‍යතරයෙක්මි. භාරද්වාජය, යම් පරිදි යම් ඒ මහණ බමුණු කෙනෙක් පෙර නො ඇසූවිරූ දහම්හි තමන් විසින් මැ දහම් දැන ඉහාත්මයෙහි මැ දැන පර්‍ය්‍යවසිත වැ ‘නිවන් පැමිණියම්හ’යි කියා ආදිබ්‍රහ්මචර්‍ය්‍යය පිළින කෙරෙත් ද, ඒ සම්බුද්ධයන් අතුරෙන් මම අන්‍යතරයෙක්මි යන ඒ මේ කරුණ මේ කාරණයෙනුදු දතයුතු යැ.