5. බ්‍රාහ්මණ වර්‍ගය
2. 5. 1.
බ්‍රහ්මායු සූත්‍රය
මා විසින් මෙසේ අසනලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විදේහ දනවියෙහි පන්සියක් පමණ (ගුණ විසින්) මහත් බික්සඟුන් හා සමග සැරිසරන සේක. එකල ජරාජීර්‍ණ, වෘද්ධ, මහලු, කල් ගැලවූ, පශ්චිම වයසට පැමිණි, උපතින් එක්සිය විසිහැවිරිදි, නිඝණ්ඩු කෙටුභශාස්ත්‍ර සහිත, ශික්‍ෂා නිරුක්ති සහිත, ඉතිහාසය පස්වනු කොට ඇති ත්‍රිවේදයන්ගේ පරතෙර පත්, පද හදාරන, ව්‍යාකරණ හදාරන, ලෞකායතික මහාපුරුෂලක්‍ෂණයෙහි පරිපූරකාරී වූ බ්‍රහ්මායු නම් බමුණු මිථිලායෙහි වෙසෙයි. “සැහැකුලපුත් මහණ භවත් ගොයුම්හු සැහැකුලින් පැවිදි වැ පන්සියක් පමණ වූ මහත් බික්සඟුන් හා සමග විදේහජනපදයෙහි සැරිසරනසේක්ල” යනු බ්‍රහ්මායු බමුණු ඇසී. ඒ භවත් ගොයුමාණන්ගේ මෙසේ කලණ යසගී උස් වැ නැඟිණ: “මෙ කරුණිනුදු ඒ භගවත්හු අර්‍හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණසම්පන්නයහ, සුගතයහ, ලෝකවිත්හ, අනුත්තර පුරුෂදම්‍යසාරථිහ, දෙවිමිනිස්නට ශාස්තෘහ, බුද්ධයහ, භගවත්හ”යි. ඔබ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මෙලොව හා මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව තමන් විසින් විශ්ෂ්ටඥානයෙන් දැන පසක් කොට දන්වති. ඔබ ආදිකල්‍යාණ කොට මධ්‍යකල්‍යාණ කොට පර්‍ය්‍යවසාන කල්‍යාණ කොට සාර්‍ත්‍ථ කොට සව්‍යඤ්ජන කොට දහම් දෙසති, කේවලපරිපූර්‍ණ පරිශුද්ඛ බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙති. එ බඳු රහතුන් දැක්ම මනා මැ නු”යි.
එකල උත්තර නම් මාණවකයෙක් බ්‍රහ්මායු බ්‍රාහ්මණ ගේ අතැවැසි වෙයි. නිඝණ්ඩු කෙටුභශාස්ත්‍ර සහිත, ශික්‍ෂානිරුක්ති සහිත, ඉතිහාසය පස් වනු කොට ඇති, ත්‍රිවේදයන්ගේ පරතෙර දුටුයේ වෙයි. පදශාස්ත්‍ර හදාරනුයේ වෙයි, ව්‍යාකරණ හදාරනුයේ වෙයි, ලෝකායත මහාපුරුෂ ලක්‍ෂණයෙහි පරිපූරකාරී වෙයි. ඉක්බිති බ්‍රහ්මායු බ්‍රාහ්මණ උත්තර මාණවකයා ඇමැතී: “පුතැ උත්තරයෙනි, මේ ශාක්‍යපුත්‍රයෝ ශ්‍රමණගෞතමයෝ ශාක්‍යකුලයෙන් නික්ම පැවිදි වැ විදේහජනපදයෙහි පන්සියක් පමණ මහත් බික්සඟුන් හා සමග සැරිසරන සේක් ල, ඒ භගවත් ගෞතමයන්ගේ මෙසේ කලණ යසගී උස් වැ නැඟිණ: “මෙ කරුණිනුදු ඒ භගවත්හු අර්‍හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, ... එ බඳු රහතුන් දැක්ම වේ නම් මනා මැ නු! පුතැ උත්තරයෙනි, තෝ එව. මහණ ගොයුමන් කරා යා. ගොස් ඒ මහණ ගොයුමන් ගේ ඇති සෙයින් මැ යසගී නැඟිණි ද? ඇති සෙයින් නො නැඟිණි දැ? යි ඒ මහණ ගොයුමන් දැනගනැ”යි. “ඉදින් ඒ භවත් ගොයුමාණෝ ඒ සැටි මැ වෙත් ද නොහොත් ඒ සැටි මැ නො වෙත් දැ? යි තා ගේ වශයෙන් අපි ඒ භවත් ගොයුමාණන් හඳුනාගනුම්හ”යි. භවත්නි, කෙසේ නම් මම ඒ භවත් ගොයුමාණන් හඳුනාගන්නෙම් ද? ඒ භවත් ගොයුමාණන් ගේ ඇති සැටි මැ යසගී නැඟිණි ද, නොහොත් ඇති සැටි නො නැඟිණි ද, ඒ භවත් ගොයුමාණෝ එ බඳු මැ වෙත් ද, නොහොත් එ බඳු මැ නො වෙත් දැ? යි පිළිවිත්.
පුතැ උත්තරයෙනි, යම් ලකුණින් සමන්‍වාගත මහාපුරුෂයක්හට ගතීහු දෙදෙනෙක් මැ ඇද්ද ... අන් ගතියක් නැද්ද, එ බඳු දෙතිස් මහාපුරුෂලක්‍ෂණයෝ අපගේ වේදයෙහි ආහ. ඉදින් ගිහිගෙහි වෙසේ නම් දැහැමින් වැටෙන දැහැමින් රජ තන් පත් සතර මුහුදු හිම් කොට ඉසුරු කරන අභ්‍යන්තර බාහිර සතුරන් දිනූ දනවියෙහි ධ්‍රැවභාවය ලත් සර්‍වරත්න සමන්‍වාගත වූ සක්විති රජ වෙයි. ඔබ ගේ සප්තරත්නයෝ වෙති. ඔහු කවරහ යත්: චක්‍රරත්න යැ හස්තිරත්න යැ අශ්වරත්න යැ මණිරත්න යැ ස්ත්‍රීරත්න යැ ගෘහපතිරත්න යැ සත් වැනි පුත්‍රරත්න යැ යි. ඔබට ශූර වූ වීර්‍ය්‍යමයශරීර ඇති පරසෙන් මඩනා දහසින් වැඩි පුත්‍රයෝ ඇත. ඔබ සාගර පර්‍ය්‍යන්ත කොට ඇති මේ පොළොව අදණ්ඩයෙන් අශස්ත්‍රයෙන් පඤ්චශීලධර්‍මයෙන් දිනා ගෙන වෙසෙති. ඉදින් ගෙන් නික්ම සසුන් වදනේ නම් ලෝකයෙහි කෙලෙස් සියන් පෙරළු අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වෙති. (එ බඳු මහාපුරුෂ ලක්‍ෂණයෝ යි.) පුතැ උත්තරයෙනි, මම් කලි තට වේද දින්මි. තෝ මා ගේ මතුරු පළිගත්හි”යි.
‘භවත්නි, එසේ යැ’යි උත්තර මණෙවු බ්‍රහ්මායු බමුණුහට පිළිවදන් දී හුනස්නෙන් නැඟී බ්‍රහ්මායු බමුණු සකසා වැඳ විදේහ දනවියෙහි භාග්‍යවතුන් වහන්සේ කරා චාරිකා කොට ගියේ. පිළිවෙළින් සැරිසරනුයේ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹිණ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වී. සතුටු වියයුතු සිහි කළයුතු කථා නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් උත්තර මාණවක භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයෙහි දෙතිස් මහපුරිස් ලකුණු සමනාගන්නට වී. උත්තර මාණවක භාග්‍යවතුන් වහන්සේගේ සිරුරෙහි දෙතිස් මහපුරිස් ලකුණු බෙහෙවින් දිට, දෙකක් තබා යැ. මහාපුරුෂලක්‍ෂණ දෙකෙකැ පැතුම් කෙරෙයි, සොයමින් වෙහෙසෙයි, සනිටුහනට නො යෙයි, විමති හෙයින් නො පහදියි. කෝෂාවහිතවස්ත්‍රගුභ්‍යයෙහි යැ ප්‍රභූතජිහ්වතායෙහි යැ යි. එසඳ භාග්‍යවතුන් වහන්සේට තෙල සිත් වී: “මේ උත්තර මාණවක මා ගේ දෙතිස් මහාපුරුෂලක්‍ෂණ දෙකක් තබා බෙහෙවින් දක්නේ යැ. මහාපුරුෂලක්‍ෂණ දෙකෙකැ ආකාඞ්ක්‍ෂා කෙරෙයි, විචිකිච්ඡා කෙරෙයි, අධිමුක්ති නො කෙරෙයි, සම්ප්‍රසාද නො කෙරෙයි. කෝෂාවහිතවස්ත්‍රගුහ්‍යයෙහි යැ. ප්‍රභූතජිහ්වතායෙහි යැ යි.
එසඳ භාග්‍යවතුන් වහන්සේ යම් පරිදි උත්තර මාණවක භාග්‍යවතුන් වහන්සේගේ කෝෂාවහිතවස්ත්‍රගුහ්‍යය දිටී ද ඒ පරිදි ඉදුහයක් කළසේක. එසඳ භාග්‍යවතුන් වහන්සේ දිවනෙරැ දෙකන්සිදුරු අනුමාර්‍ජන පරිමාර්‍ජන කළ සේක. දෙ නැහැසිදුරු දු අනුමාර්‍ජන පරිමාර්‍ජන කළ සේක. හැම නළල් මඬල ද දිවින් වැසූ සේකි.
ඉක්බිති උත්තර මාණවකයාහට තෙල සිත් වී: ශ්‍රමණ ගෞතමයෝ ද්වාත්ත්‍රිංශත් මහාපුරුෂලක්‍ෂණයෙන් සමන්‍වාගතයහ. මම ශ්‍රමණගෞතමයන් ලුහුබඳනෙම් නම් ඔබගේ ඉරියවු දක්නෙම් නම් මනා මැ නු යි. ඉක්බිති උත්තර මාණවක සත් මසක් භාග්‍යවතුන් වහන්සේ වෙන් වැ නො යන සේයක් සෙයින් ලුහුබැඳ ගියේ. ඉක්බිති උත්තර මාණවක සත් මස් ඇවෑමෙන් විදේහ දනවියෙහි මිථිලාව කරා සැරිසරා ගියේ. පිළිවෙළින් සැරිසරමින් මිථිලාව කරා බ්‍රහ්මායු බමුණු කරා එළැඹණ. එළැඹ බ්‍රහ්මායු බමුණු සකසා වැඳ එකත්පස් වැ හින. බ්‍රහ්මායු බමුණු එකත්පස් වැ හුන් උත්තර මාණවකයාහට තෙල කී: “කිමෙක දරුව උත්තරයෙනි, ඒ භවත් ගෞතමයන්ගේ එසේ ඇති සැටි වූ මැ යසගී නැඟිණි ද? අන් පරිදි නො නැඟිණි ද? කිමෙක ඒ භවත් ගෞතමයෝ එ බඳු මැ වෙත් ද? අන් බඳු නො වෙත් දැ?”යි.