මධ්‍යම පණ්ණාසකය
1. ගහපති වර්‍ගය
ඒ භගවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා.
2. 1. 1.
කන්‍දරක සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් කලෙකැ භාග්‍යවතුන් වහන්සේ මහත් භික්‍ෂුසඞ්ඝයා සමග චම්පා නුවර ගග්ගරා නම පොකුණුතෙර සමීපයෙහි වැඩවාසය කරන සේක. එකල්හි පෙස්ස නම් ඇතරුපුත් ද කන්‍දරක පිරිවැජි ද භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ පෙස්ස අතරුපුත් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ හින. කන්‍දරක පිරිවැජි වැළිත් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු වියයුතු සිහිකළයුතු කථාව කොට නිමවා එකත්පස් වැ සිටියේ ය. එකත් පස් වැ සිටි කන්‍දරක පරිව්‍රාජක හාත්පස නො බැණැ වැඩහුන් සඟුන් බලා භාග්‍යවතුන් වහන්සේට තෙල කී: ආශ්චර්‍ය්‍ය යැ භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයන් විසින් භික්‍ෂුසඞ්ඝයා මැනැවින් යම් පමණ ප්‍රතිපාදනා කරනලද ද, භවත් ගෞතමයෙනි, අතීතකාලයෙහි යම් අර්‍හත් සම්‍යක්සම්බුද්ධ කෙනෙක් වූවාහු ද, ඒ භගවත්හුදු තෙල පරම කොට මැනැවින් භික්‍ෂුසඞ්ඝයා ප්‍රතිපාදනා කළාහ. භවත් ගෞතමයන් විසින් මෙකල යම්සේ භික්‍ෂුසඞ්ඝයා ප්‍රතිපාදනා කරනලද ද එමෙනි. භවත් ගෞතමයෙනි, අනාගත කාලයෙහි යම් අර්‍හත් සම්‍යක්සම්බුද්ධ කෙනෙක් පහළවන්නාහු ද ඒ භගවත්හුදු තෙල පරම කොට මැ භික්‍ෂුසඞ්ඝයා මැනැවින් ප්‍රතිපාදනා කරන්නාහ. භවත් ගෞතමයන් විසින් මෙකල යම් පරිදි භික්‍ෂුසඞ්ඝයා මැනැවින් ප්‍රතිපාදනා කරනලද ද එමෙනි’යි.
කන්‍දරකය, තෙල එසේ මැ ය, කන්‍දරකය තෙල එසේ මැ ය. කන්‍දරකය, අතීතයෙහි යම් අර්‍හත් සම්‍යක්සම්බුද්ධ කෙනෙක් වූවාහු ද, ඒ භගවත්හු තෙල පරම කොට මැ භික්‍ෂුසඞ්ඝයා මැනැවින් ප්‍රතිපාදනා කළාහ. මා විසින් මෙකල යම්සේ භික්‍ෂුසඞ්ඝයා මැනැවින් ප්‍රතිපාදනා කරන ලද ද එමෙනි. කන්‍දරකය, අනායෙහි යම් අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කෙනෙක් පහළවන්නාහු ද ඒ භගවත්හුදු තෙල පරම කොට මැ භික්‍ෂුසඞ්ඝයා මැනැවින් ප්‍රතිපාදනා කරන්නාහ. මා විසින් මෙකල යම්සේ භික්‍ෂුසඞ්ඝයා මැනැවින් ප්‍රතිපාදනා කරනලද ද එමෙනි.
කන්‍දරකය, මේ බික්සඟුන් කෙරෙහි ක්‍ෂය වූ ආස්‍රව ඇති වැස නිමවූ මඟබඹසර ඇති සියුමඟින් කළ කරණී ඇති බහාතැබූ ස්කන්‍ධභාර ඇති පැමිණි සදර්‍ත්‍ථ ඇති ක්‍ෂය කළ භවසංයෝජන ඇති මොනොවට දැන කෙලෙසුන් කෙරෙන් මිදුණු රහත්හු ඇත් මැ ය. යළිදු කන්‍දරකය, මේ බික්සඟුන් කෙරෙහි නිරතුරු සිල් ඇති නිරතුරු සීලයෙහි සිට දිවිවටන ප්‍රඥා ඇති ප්‍රඥායෙහි සිට දිවිවටන ශෛක්‍ෂ භික්‍ෂූහු ඇත. ඔහු සියුසීවටන්හි මැනැවින් තැබූ සිත් ඇති ව වෙසෙත්. කවර සතරෙක යත්: කන්‍දරකය, මෙසස්නෙහි මහණ කෙලෙස් තවන වැර ඇති ව සම්‍යක්ප්‍රඥා ඇති ව සිහි ඇති ව කාය සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාදෞර්‍මනස්‍ය දුරු කොට රූපකායයෙහි කය අනුව බලමින් වෙසෙයි. සුඛදුඃඛාදි වේදනායෙහි වේදනානුදර්ශී වැ වැර ඇති ව සම්‍යක්ප්‍රඥා ඇති ව සිහි ඇති ව වේදනායෙහි අභිධ්‍යාදෞර්‍මනස්‍ය දුරු කොට රූපකායයෙහි කය අනුව බලමින් වෙසෙයි. සුඛදුඃඛාදි වේදනායෙහි වේදනානුදර්ශී වැ වැර ඇති ව සම්‍යක්ප්‍රඥා ඇති ව සිහි ඇති ව වේදනා ලෝකයෙහි අභිධ්‍යා දෞර්‍මනස්‍ය දුරු කොට වාසය කෙරෙයි. සරාගාදි චිත්තයෙහි චිත්තානුදර්ශීවැ ආතාපන වීර්‍ය්‍ය ඇති ව සම්‍යක් ප්‍රඥා ඇති ව ස්මෘතිමත්‍ව චිත්තලෝකයෙහි අභිධ්‍යා දෞර්‍මනස්‍ය සන්හිඳුවා වාස කෙරෙයි. ස්කන්‍ධාදි ධර්‍මයෙහි ධර්‍මානුදර්ශී වැ ආතාපන වීර්‍ය්‍ය ඇති ව සම්‍යක් ප්‍රඥා ඇති ව ස්මෘතිමත්‍ව ධර්‍මලොකයෙහි අභිධ්‍යා දෞර්‍මනස්‍ය සන්හිඳුවා වාස කෙරේ යයි.
මෙසේ වදාළ කල්හි පෙස්ස ඇතරුපිත් භාග්‍යවතුන් වහන්සේට තෙල කී: වහන්ස, ආශ්චර්‍ය්‍යය යැ, වහන්ස අද්භූත යැ, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සතරසීවටන්හු සත්ත්‍වයන්ගේ විශුද්ධිය පිණිස ශෝක-පරිදේවයන් ඉක්මවාලීම පිණිස දුක්දොම්නසුන් නැසීම පිණිස න්‍යායසඞ්ඛ්‍යාත මාර්‍ගය අධිගමය පිණිස නිවන් පසක්කිරීම පිණිස මැනැවින් වදාරනලද්දාහු මැ ය. වහන්ස, එසේ මැ ය: හෙළ පිළි හඳනා ගිහිගේවැසි වූ ඇපිදු කලින් කල මේ සතර සීවටන්හි මැනැවින් තැබූ සිත් ඇති ව වසම්හ. වහන්ස, මෙහි ඇපි රූපසමූහ සඞ්ඛ්‍යාත කයෙහි කෙලෙසුන් තවන වැර ඇති ව සම්ප්‍රජන්‍යයෙන් යුක්ත ව කය සිහිකරන සිහි ඇති ව (නැසෙන වැනැසෙන හෙයින්) ලෝක නම් වූ රූප රාශියෙහි දැඩි ලෝභය හා දොම්නස දුරු කොට අනිත්‍යාදි විසින් කය පුනපුනා බලමින් වාසය කරම්හ. සුවදුක් ආදි වේදනායෙහි කෙලෙස් තවන වැර ඇති ව සම්‍යක් ප්‍රඥා ඇති ව සිහි ඇත්තමෝ වේදනා ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට වේදනාවන් පුනපුනා බලමින් වාසය කරම්හ. සරාගාදි චිත්තයෙහි කෙලෙස් තවන වැර ඇති ව සම්‍යක් ප්‍රඥා ඇති ව සිහි ඇත්තමෝ චිත්තලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට සිත විදසුන් නැණින් පුනපුනා බලමින් වාසය කරම්හ. ස්කන්‍ධාදි ධර්‍මයෙහි කෙලෙසුන් තවන වැර ඇති ව සම්‍යක්ප්‍රඥා ඇති ව ස්මෘතිමත් ව ධර්‍මසඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට ධර්‍මානුදර්ශී ව වාසය කරම්හ.
වහන්ස, ආශ්චර්‍ය්‍ය යැ, වහන්ස අද්භූත යැ. වහන්ස, මෙසේ මිනිසුන්ගේ අධ්‍යාශයගහනය මෙසේ මිනිසුන්ගේ කෙලෙස් කසට ඇතිබව මෙසේ මිනිසුන්ගේ ශඨබව පවත්නා කල්හි භාග්‍යවතුන් වහන්සේ යම් පමණෙකින් සත්ත්‍වයන්ගේ හිතාහිත පිළිවෙත් දන්නාසේක් ද එහෙයිනි. වහන්ස, යම් මිනිස් කෙනෙක් ඇද්ද, තෙල ගහන (මුවහ) මැ ය. වහන්ස, යම් සියුපා කෙනෙක් ඇද්ද, තෙල නො මුවහ මැ ය. එසේ මැ ය; වහන්ස, මම දම්‍ය වූ ඇතකු මෙහෙයන්නට පොහොසත්මි, යම් ඇසිල්ලෙකින් චම්පානගරද්වාරයට ගමනාගමනය කරන්නේ ද, (ඒ ඇසිල්ලෙහි) ඒ හැම ශඨබව කුළුබව වක්බව ඇදබව පහළකරන්නේ ය. වහන්ස, එතෙකුදුවතඅපගේ දාසයෝ වේවයි ප්‍රෙෂ්‍යයෝ වේවයි කම්කරුවෝ වේවයි ඔහු කයින් අන්පරිදි ක්‍රියාකෙරෙති, බසින් අන්පරිදි බෙණෙති. ඔවුන්ගේ සිත වූකලි අන්පරිදි වේ. වහන්ස, ආශ්චර්‍ය්‍ය යැ, වහන්ස අද්භූත යැ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මෙසේ මිනිසුන්ගේ අධ්‍යාශයගහනය මෙසේ මිනිසුන්ගේ කෙලෙස් කසට ඇතිබව මෙසේ මිනිසුන්ගේ ශඨබව පවත්නා කල්හි සත්ත්‍වයන්ට හිතාහිත ප්‍රතිපත් දන්නාසේක් ද එහෙයිනි. වහන්ස, යම් මිනිස් කෙනෙක් ඇද්ද, තෙල (අදහස් විසින්) පිළිසන් මැ ය. වහන්ස, යම් සියුපා කෙනෙක් ඇද්ද තෙල නො පිළිසන් මැ යි.