2. 5. 8.
වාසෙට්ඨ සූත්රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ ඉච්ඡානඞ්ගල ගම්හි ඉච්ඡානඞ්ගල වන ලැහැබ්හි වැඩවසනසේක. එසමයෙහි බොහෝ වූ ප්රසිද්ධ ප්රසිද්ධ වූ බමුණුමහසල්හු ඉච්ඡානඞ්ගලගම්හි වෙසෙති, ඔහු කවරහ යත්: චඞ්කීබ්රාහ්මණ යැ තාරුක්ඛබ්රාහ්මණ යැ පොක්ඛරසාතිබ්රාහ්මණ යැ ජානුස්සෝණීබ්රාහ්මණ යැ තෝදෙය්ය බ්රාහ්මණ යැ අන්ය වූ ප්රසිද්ධ ප්රසිද්ධ බ්රහ්මණමහාසාරයෝ යි.
එසඳ ජඞ්ඝාවිහරණ කොට ඔබ මොබ ඇවිදුනා වාසෙට්ඨභාරද්වාජ දෙමාණවකයන්ගේ මේ අතුරුකථා උපන: “භවත්නි, කෙසේ බමුණු නම් වේ දැ?”යි. භාරද්වාජ මාණවක මෙසේ කී: “භවත, යම් හෙයෙකින් ‘මව්පස හා පියපසිනැ’යි දෙපසින් සුජාත වේ ද, සත්වන පිතාමහයුගය දක්වා පිරිසුදු කුක්ෂි ඇති වේ ද, ජාතිවාදයෙන් නො නෙරනලදු වැ උපක්රෝශ නො කරනලදුයේ වේ ද, භවත් මෙතෙකින් බ්රාහ්මණ නම් වෙයි” කියායි. වාසෙට්ඨ මාණව මෙසේ කී: “භවත යම් හෙයෙකින් සිල්වත් වේ ද, ආචාරසම්පන්න වේ ද, මෙතෙකින් බ්රාහ්මණ නම් වේ යැ” කියායි. භාරද්වාජ මාණවක වාසෙට්ඨ මාණවකයා හඟවන්නට නො මැ හැකි වී. වාසෙට්ඨ මාණවක භාරද්වාජ මාණවකයා හඟවන්නට ද නො හැකි වී.
ඉක්බිති වාසෙට්ඨ මාණවක භාරද්වාජ මාණවකයා ඇමැතී: “භවත් භාරද්වාජයෙනි, සැහැකුලපුත් වූ සැහැකුලින් නික්ම පැවිදි වූ මේ මහණ ගොයුම්හු ඉච්ඡානඞ්ගලගම්හි ඉච්ඡානඞ්ගල වනලැහැබ්හි විහරණ කෙරෙති. ඒ භගවත් ගෞතමයන් වහන්සේ ගේ කලණ යසගී මෙසේ උස් වැ නැඟිණ: “මෙ කරුණිනුදු ඒ භගවත්හු අර්හත්හ සම්යක් සම්බුද්ධයහ විද්යාචරණ සම්පන්නයහ සුගතයහ ලෝකවිද්හ අනුත්තර පුරුෂදම්ය සාරථියහ දෙවිමිනිස්නට ශාස්තෘයහ බුද්ධයහ භගවත්හ” කියා යි. යම්හ භවත් භාරද්වාජයෙනි, මහණ ගොයුමන් කරා එළැඹෙම්හ. එළඹ මහණ ගොයුමන් තෙල කරුණ පුළුවුසුම්හ. යම් පරිදි මහණ ගොයුම්හු පවසත් ද, එසේ එය ධරම්හ”යි. ‘භවත්නි, එසේ යැ’ යි කියා භාරද්වාජ මාණවක වාසෙට්ඨ මාණවකයාහට පිළිවදන් දින.
ඉක්බිති වාසෙට්ඨභාරද්වාජ මාණවකයෝ දෙදෙන භාග්යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්යවතුන් වහන්සේ සමග සතුටු වූහ. සතුටු වියයුතු කලක් සිහි කළයුතු කථාව කොට නිමවා එකත්පස් වැ හුන්හු. එකත්පස් වැ හුන් වාසෙට්ඨ මාණවක භාග්යවතුන් වහන්සේට ගාථායෙන් සැළ කෙළේ:
“භවත් ගෞතමයෙනි, අපි (තොප ශික්ෂිතයහ”යි) ඇදුරන් විසින් අනුඥාත වැ (‘එසේ යැ ශික්ෂිතයම්හ’යි තමන් විසින්) ප්රතිඥාත වූ ත්රිවිද්යා පාරගත බ්රාහ්මණයම්හ. මම පොක්ඛරසාති බමුණුගේ ශිෂ්යයෙමි. මේ මණෙවු තාරුක්ඛ බමුණුහුගේ ශිෂ්යයෙක.
ත්රිවේද පාරගත බමුණන් විසින් යමක් අර්ත්ථ ව්යඤ්ජන විසින් පැවැසිණි ද, එහි ලා (එහැම දැන නිෂ්ඨාගත වූ) කේවලී වම්හ. පදශාස්ත්ර හදාරන්නම්හ, ව්යාකරණ හදාරන්නම්හ. ජල්පයෙහි ලා ස්වීය ආචාර්ය්යයන් වැනියම්හ.
ගෞතමයන් වහන්ස, ඒ අප අතර ජාතිවාදයෙහි ලා විවාදයෙක් ඇත. භාරද්වාජ මාණවක ‘ජාතියෙන් බ්රාහ්මණ වේ’ යයි කියයි. මම වනාහි ‘කර්මයෙන් බ්රාහ්මණ වේ’ යයි කියමි, පසැස් ඇත්තව, (තෙල විවාදය) මෙසේ දනුමැනැවැ.
ඒ අපි දෙදෙනමෝ උනුන් හඟවන්නට නො හැක්කම්හ. ලෝවැසි දෙවියෝ බදැඳිලි වූවාහු වෙත එළඹ පරිපූර්ණ චන්ද්රමණ්ඩලය වඳනා සෙයින් මෙසේ ගෞතමයන් වහන්සේ පසසමින් නමදිත් ද, මෙසේ විශ්රැත වූ ලෝකයෙහි පහළ ඇසක් වැනි වූ භගවත් සම්බුද්ධ ගෞතමයන් වහන්සේ පුළුවුස්නට අවුදු අපි පුළුවුසුම්හ:
ජාතියෙන් බ්රාහ්මණ වේ ද, නොහොත් කර්මයෙන් බ්රාහ්මණ වේ දැ? යි බ්රාහ්මණ විනිශ්චය යම් පරිදි දනුමෝ ද, එපරිදි, නො දන්නා අපට වදාළ මැනැවි.
(‘වාසෙට්ඨයෙනි’යි බුදුහු ඇමැතූසේක.) මම ඒ තොපට ප්රාණයන්ගේ ජාති විභාගය (ජාතිවිස්තරය) ඇති සැටි අනුපූර්ව කොට විවරණ කරමි. ජාතීහු අන්යෝන්යයහ. (නානාප්රකාරයහ).
(‘අපි තෘණයම්හ’ ‘අපි වෘක්ෂයම්හ’යි) යම් තෘණ වෘක්ෂ කෙනෙක් වෙන වෙන නො දනිත් ද, ඒ තෘණ වෘක්ෂයනුදු දනුව. උන්ගේ ජාතිමය ලිඞ්ග ඇත. (කවර හෙයින යත්:) ජාතීහු නානාප්රකාරයහ.
ඉන් මතු (උපදින්නකයන් කෙරෙහි) කුරුකුහුඹුවන් තෙක් පණුවනුදු පළඟැටියනුදු දනුව. උන්ගේ ජාතිමය ලිඞ්ග ඇත. (කවර හෙයින යත්:) ජාතීහු නානාප්රකාරයහ.
(ලෙහෙනුන් ආදී) කුඩාසතුනුදු (බළලුන් ආදී) මහසතුනුදු මෙසේ චතුෂ්පදජාතීනුදු දනුව. උන්ගේ ජාතිමය ලිඞ්ග ඇත. (කවර හෙයින යත්:) ජාතීහු නානාප්රකාරයහ.
දික් පිටු ඇති උරින් යන විෂධරයනුදු දනුව. උන්ගේ ජාතිමය ලිඞ්ග ඇත. (කවර හෙයින යත්:) ජාතීහු නානාප්රකාරයහ.
ඉක්බිති දියෙහි උපන් ජලය ගෝචර කොට ඇති මසුනුදු දනුව. උන්ගේ ජාතිමය ලිඞ්ග ඇත. (කවර හෙයින යත්:) ජාතීහු නානාප්රකාරයහ.
ඉක්බිති පියාපත් යාන කොට ඇති අහසැ ඇවිදුනා ලිහිණිනුදු දනුව, උන්ගේ ජාතිමය ලිඞ්ග ඇත. (කවර හෙයින යත්:) ජාතීහු නානාප්රකාරයහ.
යම් පරිදි තෙල ජාතියෙහි වෙන වෙන ජාතිමය ලිඞ්ග ඇත්ද, එපරිදි මිනිසුන් කෙරෙහි වෙන වෙන ජාතිමය ලිඞ්ග නැත.