2. 5. 7.
ධනඤ්ජානි සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම් වූ වේළුවන විහාරයෙහි වැඩ වාස කරන සේක. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ දක්ඛිණාගිරි දනවියෙහි මහත් බික්සඟන හා සමග සැරිසරන සේක. එසඳ එක්තරා මහණෙක් රජගහනුවර වස් විසූයේ දක්ඛිණාගිරි දනවිය කරා ගියේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් කරා එළැඹියේ යැ. එළැඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සමග සතුටු වී. සම්මෝදනයට නිසි සිහි කරනුවට නිසි කථා කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් ඒ මහණහට ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල කීහු:
“කිම ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ නීරෝග සේක් ද? කායබල ඇති සේක් ද?”
ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ නීරෝග සේක. කායබල ඇති සේකැ’යි.
“කිම ඇවැත්නි, භික්‍ෂුසඞ්ඝයා නීරෝග වේ ද? කායබල ඇති වේ ද?”
ඇවැත්නි, භික්‍ෂුසඞ්ඝයා නීරෝග වෙයි. කායබල ඇති වේ’යයි.
ඇවැත්නි, මෙහි තණඩුලපාලද්වාරයෙහි ධනඤ්ජානි නම් බමුණෙක් ඇත. කිම ඇවැත්නි, ධනඤ්ජානි නම් බමුණු නීරෝග වේ ද? කායබල ඇති වේ ද?
ඇවැත්නි, ධනඤ්ජානි බමුණුත් නීරෝග වෙයි, කායබල ඇති වේ’යයි.
“කිම ඇවැත්නි, ධනඤ්ජානි බමුණු අප්‍රමත්ත වේ ද?”
ඇවැත්නි, කොයින් නම් ධනඤ්ජානි බමුණුහට අප්‍රමාදයෙක් ඇද්ද? ඇවැත්නි, ධනඤ්ජානි බමුණු රජු අසිරි කොට බමුණුගැහැවියන් විලුම්පන කෙරෙයි. බමුණුගැහැවියන් ඇසිරි කොට රජු අසිඳගනී. උහුගේ සැදැහැතිකුලෙන් ගෙන ආ යම් සැදැහැති බිරියක් වූ ද උහුගේ ඒ බිරිය ද කලුරිය කළා. උහුට සැදැහැ නැති කුලයෙකින් සැදැහැ නැති අන්බිරියක් ගෙන එනලදු.
අපි ධනඤ්ජානි බමුණු අප්‍රමත්ත වූවහු ඇසුමෝ වේ ද, එහෙයින් ඇවැත්නි, නපුරු ඇසුමක් ඇසුමෝ මැ යැ, ඇවැත්නි, නපුරු ඇසුමක් ඇසුමෝ මැ යි. අපි කිසියම් දිනෙකැ ධනඤ්ජානි බමුණු හා සමග එකතු වන්නමෝ නම් මැනැවැ, එසඳ කිසියම් කථා සල්ලාපයෙක් වේ නම් මැනැවැ යි.
ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ දක්ඛිණාගිරි දනවියෙහි කැමැති තාක් වාස කොට රජගහනුවර කරා චාරිකා කොට ගියහ. පිළිවෙළින් සැරිසරනුවෝ රජගහ නුවර කරා වැඩියෝ, එහි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ රජගහනුවර කලන්‍දකනිවාප නම් වේළුවන වෙහෙරෙහි විහරණ කෙරෙති. ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ පෙරවරුයෙහි සකසා හැඳ පාසිවුරු ගෙන රජගහාවට පිඬු පිණිස වැඩියෝ.
එකලැ ධනඤ්ජානි බමුණු පිටිනුවරෙහි ගොවුදෙකැ ගෙරින් දොවවයි. එසඳ ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ රජගහනුවර පිඬු පිණිස හැසිර පසුබත්හි පිණ්ඩපාතයෙන් වැළකියාහු ධනඤ්ජානි බමුණු කරා එළැඹියෝ. ධනඤ්ජානි බමුණු ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් දුර දී මැ තමන් කරා එන්නවුන් දිට. දැක ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් කරා එළැඹියේ. එළැඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවනට තෙල කී: ‘භවත් ශාරිපුත්‍රයෙනි, මෙයින් ධාරොෂ්ණ පයස බොන්නේ මැනැව. එ විට මැ බතට කල් වේ’යයි.
“බමුණ, කම් නැත. මා විසින් අද බත් කිස කරන ලද. තෙල වෘක්‍ෂමූලයෙහි මාගේ දිවාවිහාර වෙයි. එහි එව”යි.
“භවත්නි, එසේ යැ”යි ධනඤ්ජානි බමුණ ආයුෂ්මත් සැරියුත් තෙරණුවනට පිළිවදන් දින, ඉක්බිති ධනඤ්ජානි බමුණු පසුබතැ වැළඳු ප්‍රාතරාස ඇති වැ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් කරා එළැඹියේ. එළැඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සතුටු වී. තුස්නට නිසි සිහි කරන්නට නිසි කථා කොට නිමවා එකත්පස් වැ හින. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ එකත්පස් වැ හුන් ධනඤ්ජානි බමුණුට තෙල කී:
“කිම ධනඤ්ජානියෙනි, අප්‍රමත්තයෙහි?”
භවත් ශාරිපුත්‍රයෙනි, අප යම් කෙනකුන් විසින් දෙමාපියෝ පෝෂණ කළයුතු වෙත් ද, පුත්‍රදාරාවෝ පෝෂණ කළයුතු වෙත් ද, දැසිකම්කරුපුරිස් පෝෂණ කළයුතු වේ ද, මිත්‍රාමාත්‍යයන්ගේ මිත්‍රාමාත්‍යකරණී කළයුතු වේ ද, නෑසාලේනෑයන්ගේ නෑසාලේනෑකරණී කළයුතු වේ ද, අතිථින්ගේ අතිථිකරණී කළයුතු වේ ද, පුර්‍වප්‍රේතයන්ගේ පුර්‍වප්‍රේතකරණී කළයුතු වේ ද, දේවතාවන්ගේ දේවතා කරණී කළයුතු වේ ද, රජුගේ රජකරණී කළයුතු වේ ද, මේ කයත් පිණවියයුතුත් වැඩියයුතුත් වේ ද, ඒ අපට කොයින් නම් අප්‍රමාදයෙක් ඇද්ද?යි කී.
ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? මෙලොවැ කිසි එකෙක් මව්පියන් නිසා අධර්‍මචාරී විෂමචාරී වේ ද, තුලුහු අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා හේතුයෙන් නිරැපල්හු නිරයට ඇදගන්නාහු නම් හේ “මම වනාහි මව්පියන් හේතු කොට අධර්‍මචාරී විෂමචාරී වීමි. නිරැපල්හු නිරයට නො ගනිත්වා” යනු ලබා ද? ඔහුගේ මව්පියෝත් “තෙලෙ වනාහි අප හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වී. නිරැපල්හු උහු නිරයට නො ගනිත්වා” යනු ලබත්ද?
භවත් ශාරිපුත්‍රයෙනි, මෙය නො වන්නේ මැ යැ. වැළිදු නිරැපල්හු වික්‍රන්‍දන කරන්නා වූ මැ ඔහු නිරයට බහත් මැ යැ.