ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? නිරය හෝ තිරිසන් යෝනි හෝ කුමක් ශ්‍රේෂ්ඨ දැ? යි.
භවත් ශාරිපුත්‍රයෙනි, නිරයට වඩා තිරිසන්යෝනිය ශ්‍රේෂ්ඨ වෙයි.
ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? තිරිසන් යෝනි හෝ ප්‍රේතවිෂය හෝ කුමක් ශ්‍රේෂ්ඨ වේ දැ? යි.
භවත් ශාරිපුත්‍රයෙනි, තිරිසන්යෝනට වඩා ප්‍රේතවිෂය ශ්‍රේෂ්ඨ වෙයි.
ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? ප්‍රේතවිෂය හෝ මිනිස්බව හෝ කුමක් ශ්‍රේෂ්ඨ වේ දැ? යි.
භවත් ශාරිපුත්‍රයෙනි, ප්‍රේතවිෂයට වඩා මිනිස්සු ශ්‍රේෂ්ඨයහ යි.
ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? මිනිස්සු හෝ සියමහරදවැසි දෙවියෝ හෝ කුමක් ශ්‍රේෂ්ඨ වේ දැ? යි.
භවත් ශාරිපුත්‍රයෙනි, මිනිසුනට වඩා සියමහරදවැසි දෙවියෝ ශ්‍රේෂ්ඨයහ යි.
ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? කුමක් ශ්‍රේෂ්ඨ වේ ද, චතුර්‍මමහාරාඡික දෙවියෝ හෝ තාවතිංස දෙවියෝ හෝ දැ? යි.
භවත් ශාරිපුත්‍රයෙනි, චාතුම්මහාරාජික දෙවියනට වඩා තාවතිංස දෙවියෝ ශ්‍රේෂ්ඨයහ යි.
ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? කුමක් ශ්‍රේෂ්ඨ වේ ද? තාවතිංස දෙවියෝ හෝ යාම දෙවියෝ හෝ දැ? යි.
භවත් ශාරිපුත්‍රයෙනි, තාවතිංස දෙවියනට වඩා යාම දෙවියෝ ශ්‍රේෂ්ඨයහ යි.
ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? කුමක් ශ්‍රේෂ්ඨ වේ ද, යාම දෙවියෝ හෝ තුෂිත දෙවියෝ හෝ දැ? යි.
භවත් ශාරිපුත්‍රයෙනි, යාම දෙවියනට වඩා තුෂිත දෙවියෝ ශ්‍රේෂ්ඨයහ යි.
ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? කුමක් ශ්‍රේෂ්ඨ වේ ද, තුෂිත දෙවියෝ හෝ නිම්මානරති දෙවියෝ හෝ දැ? යි.
භවත් ශාරිපුත්‍රයෙනි, තුෂිත දෙවියනට වඩා නිම්මානරති දෙවියෝ ශ්‍රේෂ්ඨයහ යි.
ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? කුමක් ශ්‍රේෂ්ඨ වේ ද, නිර්‍මාණරතී දෙවියෝ හෝ පරනිම්මිතවසවත්ති දෙවියෝ හෝ දැ? යි.
භවත් ශාරිපුත්‍රයෙනි, නිර්‍මාණරති දෙවියනට වඩා පරනිර්මිතවශවර්ති දෙවියෝ ශ්‍රේෂ්ඨයහ යි.
ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? කුමක් ශ්‍රේෂ්ඨ වේ ද, පරනිර්මිතවශවර්ති දෙවියෝ හෝ බ්‍රහ්මලෝකය හෝ දැ? යි.
භවත් ශාරිපුත්‍ර තෙමේ බ්‍රහ්මලෝකය යි කියයි, භවත් ශාරිපුත්‍ර තෙමේ බ්‍රහ්මලෝකය යි කියයි.
එසඳ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්හට තෙල සිත්වී: “මේ බමුණෝ නම් බ්‍රහ්මලෝකාධිමුක්තයහ, මම ධනඤ්ජානි බමුණුහට බ්‍රහ්මයන් හා එක්ව විසීම සඳහා මඟ දෙසම් නම් මනා මැ නු”යි. ධනඤ්ජානියෙනි, තොපට බ්‍රහ්මයා හා එක්ව විසීම සඳහා මඟ දෙසමි. ඒ අසව. මොනොවට මෙනෙහි කරව. කියමි යි. ‘භවත්නි, එසේ යැ’යි ධනඤ්ජානි බමුණු ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්හට පිළිවදන් දුන්.
ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල් කීහු: “ධනඤ්ජානියෙනි, බ්‍රහ්මයන් හා සහවාසය කවරේ යැ? ධනඤ්ජානියෙනි, මෙ සස්නෙහි මහණ මෙත් සහගිය සිතින් එක් දිගක් ස්පර්‍ශ කොට ගෙන වාස කෙරෙයි. දෙවන දිග ද එසේ යැ. තුන්වන දිග ද එසේ යැ, සතරවන දිග ද එසේ යැ. මෙසේ උඩ යට සරස හැම තැන සර්‍වාත්මසමතායෙන් සියලු සතුන් ඇති ලොව විපුල මහද්ගත අප්‍රමාණ අවෛර අව්‍යාබාධ වූ මෙත් සහගිය සිතින් අරමුණු කොට වාස කෙරෙයි. ධනඤ්ජානියෙනි, මේ ද බ්‍රහ්මයන්ගේ සහභාවය සඳහා මාර්‍ග යි.