2. 5. 6.
ඒසුකාරී සූත්රය
මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬු මහසිටාණන් ගේ අරම්හි වැඩ වාස කෙරෙත්. එසඳ ඒසුකාරී බමුණු භාග්යවතුන් වහන්සේ කරා එළැඹියේ. එළැඹ භාග්යවතුන්වහන්සේ සමග සතුටු වී. සතුටු වියයුතු කලක් සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හින. එකත්පසෙක හුන් ඒසුකාරී බමුණු භාග්යවතුන් වහන්සේට තෙල සැල කෙළේ:
භවත් ගෞතමයෙනි, බ්රාහ්මණයෝ පරිචර්ය්යා සතර දෙනකුන් පනවත්. බමුණුහට පරිචර්ය්යා පනවති, ක්ෂත්රියයාහට පරිචර්ය්යා පනවති, වෛශ්යයාහට පරිචර්ය්යා පනවති, ශුද්රයාහට පරිචර්ය්යා පනවත්. භවත් ගෞතමයෙනි, එහි දී බ්රාහ්මණයෝ බ්රාහ්මණයන්හට මේ පරිචර්ය්යාව පනවති, (කෙසේ යැ යත්:) බමුණෙක් හෝ බමුණුහට පරිචර්ය්යා කරන්නේ යැ, ක්ෂත්රියයෙක් හෝ බමුණුහට පරිචර්ය්යා කරන්නේ යැ, වෛශ්යයෙක් හෝ බමුණුහට පරිචර්ය්යා කරන්නේ යැ, ශුද්රයෙක් හෝ බමුණුහට පරිචර්ය්යා කරන්නේ යැ යි. භවත් ගෞතමයෙනි, බ්රාහ්මණයෝ බ්රාහ්මණයාහට මේ පරිචර්ය්යා පනවත්. භවත් ගෞතමයෙනි, එහි දී බ්රාහ්මණයෝ ක්ෂත්රියයාහට මේ පරිචර්ය්යා පනවති, (කෙසේ යැ යත්:) ක්ෂත්රියයෙක් හෝ ක්ෂත්රියයාහට පරිචර්ය්යා කරන්නේ යැ, වෛශ්යයෙක් හෝ ක්ෂත්රියයාහට පරිචර්ය්යා කරන්නේ යැ, ශුද්රයෙක් හෝ ක්ෂත්රියයාහට පරිචර්ය්යා කරන්නේ යයි. භවත් ගෞතමයෙනි, බ්රාහ්මණයෝ ක්ෂත්රියයාහට මේ පරිචර්ය්යා පනවති. භවත් ගෞතමයෙනි, එහි දී බ්රාහ්මණයෝ වෛශ්යයාහට මේ පරිචර්ය්යා පනවති (කෙසේ යැ යත්:) වෛශ්යයෙක් හෝ වෛශ්යයාහට පරිචර්ය්යා කරන්නේ යැ, ශුද්රයෙක් හෝ වෛශ්යයාහට පරිචර්ය්යා කරන්නේ යැ. භවත් ගෞතමයෙනි, බ්රාහ්මණයෝ වෛශ්යයාහට මේ පරිචර්ය්යා පනවත්. භවත් ගෞතමයෙනි, එහි දී බ්රාහ්මණයෝ ශුද්රයාහට මේ පරිචර්ය්යා පනවති: (කෙසේ යැ යත්:) ශුද්රයෙක් මැ ශුද්රයාහට පරිචර්ය්යා කරන්නේ යැ. අන් කවරෙක් නම් ශුද්රයාහට පරිචර්ය්යා කරන්නේ වේ දැ? යි. භවත් ගෞතමයෙනි, බ්රාහ්මණයෝ ශුද්රයාහට මේ පරිචර්ය්යා පනවත්. භවත් ගෞතමයෙනි, බ්රාහ්මණයෝ මේ සතර පරිචර්ය්යාවන් පනවත්. භවත් ගෞතමයෝ මෙහි ලා කුමක් වදාරත් ද?
කිම බමුණ, සියලු ලෝකයා ‘මෙ සතර පරිචර්ය්යා පනවති’ යි බමුණනට තෙල අනුදනී දැ? යි.
භවත් ගෞතමයෙනි, මෙ කරුණ නො වේ මැ යි.
බමුණ, යම්සේ සහල් නැළියෙක ධනයකුදු නැති, තමා සතු කිසිවක් නැති දිළිඳු පුරුෂයෙක් වේ ද, ඔහු නො කැමැතියාහට ‘එම්බා පුරුෂය, මෙහි තා විසින් මස් කෑයුතු යැ (මස්) මිල ද දියයුතු යැ’යි කොටස නංවා ද, එසෙයින් මැ බමුණ, බ්රාහ්මණයෝ ඒ මහණ බමුණන්ගේ ප්රතිඥා නැති වැ එතෙකුදු වත් මෙ සතර පරිචර්ය්යාවන් පනවත්. බමුණ, මම හැම පරිචර්ය්යා කළ යුතු යයි නො කියමි, බමුණ, වැළිත් මම හැම පරිචර්ය්යා නො කළ යුතු යයි නො කියමි. බමුණ, යමක්හු පරිචර්ය්යා කරන ඔහට පරිචර්ය්යා හේතුයෙන් පාපයෙක් වේ ද, හිතයෙක් නො වේ ද, ඔහු පරිචර්ය්යා කළයුතු යැ යි මම නො කියමි. බමුණා, යමක්හු වැළිත් පරිචර්ය්යා කරණ ඔහට පරිචර්ය්යා හේතුයෙන් හිතයෙක් වන්නේ ද, පාපයෙක් නො වන්නේ ද, ඔහු පරිචර්ය්යා කළයුතු යැ යි මම කියමි.
බමුණ, ඉදින් ක්ෂත්රියයකුදු මෙසේ පුළුවුස්නාහු නම්: (කෙසේ යැ යත්:) යමක්හු හෝ පරිචර්ය්යා කරන තට පරිචර්ය්යා හේතුයෙන් පාපයෙක් වන්නේ යැ, හිතයෙක් නො වන්නේ යි. යමක්හු හෝ පරිචර්ය්යා කරන තට පරිචර්ය්යා හේතුයෙන් හිතයෙක් වන්නේ යැ, පාපයෙක් නො වන්නේ යි. මෙහි දී කවරක්හු පරිචර්ය්යා කරන්නෙහි දැ?” යි. බමුණ, ක්ෂත්රිය තෙමේත් මොනොවට ප්රකාශ කරනුයේ මෙසේ කියන්නේ යැ: “යමක්හු පරිචර්ය්යා කරන මට පරිචර්ය්යා හේතුයෙන් පාපයෙක් වන්නේ ද හිතයෙක් නො වන්නේ ද, මම ඔහු පරිචර්ය්යා නො කරන්නෙමි. යමක්හු වැළිත් පරිචර්ය්යා කරන මට පරිචර්ය්යා හේතුයෙන් හිතයෙක් වන්නේ ද පාපයෙක් නො වන්නේ ද, ඔහු මම පරිචර්ය්යා කරන්නෙමි”යි.
බමුණ, ඉදින් බ්රාහ්මණයකුදු ... බමුණ, ඉදින් වෛශ්යයකුදු ... බමුණ, ඉදින් ශුද්රයකුදු මෙසේ විචාරන්නාහු නම්: (කෙසේ යැ යත්:) “යමක්හු හෝ පරිචර්ය්යා කරන තට පරිචර්ය්යා හේතුයෙන් පාපයෙක් වන්නේ ද හිතයෙක් නො වන්නේ ද, යමක්හු හෝ පරිචර්ය්යා කරන තට පරිචර්ය්යා හේතුයෙන් හිතයෙක් වන්නේ ද පාපයෙක් නො වන්නේ ද, මෙහි දී කවරක්හු පරිචර්ය්යා කරන්නෙහි දැ?” යි. බමුණ, ශුද්ර තෙමේත් මොනොවට ප්රකාශ කරනුයේ මෙසේ කියන්නේ යැ: “යමක්හු පරිචර්ය්යා කරන මට පරිචර්ය්යා හේතුයෙන් පාපයෙක් වන්නේ ද හිතයෙක් නො වන්නේ ද, මම ඔහු පරිචර්ය්යා නො කරන්නෙමි. යමක්හු වැළිත් පරිචර්ය්යා කරන මට පරිචර්ය්යා හේතුයෙන් හිතයෙක් වන්නේ ද පාපයෙක් නො වන්නේ ද, ඔහු මම පරිචර්ය්යා කරන්නෙමි”යි.
බමුණ, මම ‘උසස් කුල ඇති බව ප්රශස්ත යැ’යි නො කියමි. බමුණ, වැළිත් මම ‘උසස්කුල ඇති බව ලාමක යැ’යි ද නො කියමි. බමුණ, මම ‘උදාරවර්ණ ඇති බව උතුම් යැ’යි නො කියමි. බමුණ, මම ‘උදාරවර්ණ ඇති බව පාපක යැ’යි නො කියමි. බමුණ, මම ‘උදාරභෝග ඇති බව උත්තම යැ’යි නො කියමි. බමුණ, මම ‘උදාරභෝග ඇති බව පාපක යැ’යි නො කියමි.
බමුණ, උසස්කුල ඇති වූත් මෙලොවැ කිසිවෙක් පණිවා කරනු වෙයි, අයිනාදන් කරනු වෙයි, කාමයෙහි මිසහසර ඇති වෙයි, මුසවා බණනු වෙයි, පිසුණු තෙපුල් ඇති වෙයි, පරොස්බස් ඇති වෙයි, පලප් ඇති වෙයි, අභිධ්යා බිහිලි වෙයි, ව්යාපන්න සිත් ඇති වෙයි, මිසදිටු වෙයි. එහෙයින් උසස්කුල ඇති බව අතිශය ශ්රේෂ්ඨ යැ’යි නො කියමි. බමුණ, උසස්කුල ඇති වූත් මෙලොවැ කිසිවෙක් පණිවායෙන් වැළකියේ වෙයි, අයිනාදනින් වැළකියේ වෙයි, කාමයෙහි මිසහසරින් වැළකියේ වෙයි, මුසවායෙන් වැළකියේ වෙයි, පිසුණුබසින් වැළකියේ වෙයි, පරොස්බසින් වැළකියේ වෙයි, පලපින් වැළකියේ වෙයි, අභිධ්යා බහුල නො වෙයි, අව්යාපන්න සිත් ඇති වෙයි, සම්දිටු වෙයි. එහෙයින් උසස්කුල ඇති බව අතිශය පාපක යැ’යි නො කියමි.
බමුණ උදාරවර්ණ ඇති වූත් ... බමුණ උදාරභෝග ඇති වූත් මෙලොවැ කිසිවෙක් පණිවා කරනු වෙයි ... මිසදිටු ඇති වෙයි. එහෙයින් ‘උදාරභෝග ඇති බව ශ්රේෂ්ඨ යැ’යි නො කියමි. බමුණ, උදාරභෝග ඇති වූත් මෙලොවැ කිසිවෙක් පණිවායෙන් වෙන් වූයේ වෙයි ... සම්දිටු ඇති වෙයි. එහෙයින් ‘උදාරභෝග ඇති බව පාපක යැ’යි නො කියමි.
බමුණ, මම හැම පරිචර්ය්යා කටයුතු යැ’යි නො කියමි. බමුණ, වැළිත් මම හැම පරිචර්ය්යා නො කටයුතු යැ’යි නො කියමි. බමුණ, යමක්හු පරිචර්ය්යා කරන ඔහට පරිචර්ය්යා හේතුයෙන් ශ්රද්ධාව වැඩේ ද, ශීලය වැඩේ ද, ශ්රැතය වැඩේ ද, ත්යාගය වැඩේ ද, ප්රඥාව වැඩේ ද, මම ඔහු පරිචර්ය්යා කටයුතු යැ යි කියමි. බමුණ යමක්හු පරිචර්ය්යා කරන ඕහට පරිචර්ය්යා හේතුයෙන් ශ්රද්ධාව නො වැඩේ ද, ශීලය නො වැඩේ ද, ශ්රැතය නො වැඩේ ද, ත්යාගය නො වැඩේ ද, ප්රඥාව නො වැඩේ ද, මම ඔහු පරිචර්ය්යා නො කටයුතු යැ’යි කියමි’යි.