2. 5. 5.
චඞ්කී සූත්‍රය
මා විසින් මෙසේ අසනලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහත් වූ බික්සඟන හා සමග කොසොල් දනවියෙහි සැරිසරා වඩනාසේක් ඕපසාද නම් කොසොල් දනවුවැසි බ්‍රාහ්මණයන්ගේ ගම කරා වැඩිසේකි. භාග්‍යවතුන් වහන්සේ ඒ ඕපසාද බමුණුගම්හි ඕපසාදයට උතුරුදිග දේවවන නම් සල්වෙනෙහි වැඩවාස කෙරෙති. එසමයෙහි චඞ්කී බ්‍රාහ්මණ බහුජනාකීර්‍ණ වූ තෘණකාෂ්ටොදක සහිත වැ ධාන්‍ය සහිත වැ බ්‍රහ්මදේය කොට පසේනදි කොසොල්රජු විසින් දෙන ලද රාජදායාද්‍ය වූ රාජභෝග්‍ය වූ ඕපසාද නම් ගමෙහි ඊශ්වර වැ වෙසෙයි.
ඕපසාද ගම්වැසි බමුණුගැහැවියෝ: “භවත්නි, සැහැකුලපුත් මහණ ගොයුම්ගොතුවෝ සැහැකුලින් නික්ම පැවිදිවැ මහත් වූ බික්සඟුන් හා සමග කොසොල් දනවියෙහි සැරිසරා වඩනාසේක් ඕපසාදයට පැමිණියාහු ඕපසාදබමුණු ගම්හි ඕපසාදයට උතුරුදිගැ දේවවන නම් සල්වෙනෙහි වැඩවෙසෙති” යි ඇසූහ.
ඒ භවත් ගොයුම්ගොතුවන්ගේ වූ කලි මෙබඳු කලණ යසගීහඬෙක් උස් වැ නැඟිණ: “ඒ භාග්‍යවත්හු මෙ කරුණිනුදු අර්‍හත්හ, සම්‍යක්සම්බුද්ධයහ, විද්‍යාචරණ සම්පන්නයහ, සුගත්හ, ලෝකවිද්හ, අනුත්තරපුරුෂදම්‍ය සාරථිහ, දෙවිමිනිසුනට ශාස්තෘහ, බුද්ධයහ, භාග්‍යවත්හ” යි. ඔබ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මෙ ලොව මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව තුමූ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙති, ඔබ ආදිකල්‍යාණ වූ මධ්‍යකල්‍යාණ වූ පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ දහම අර්‍ත්‍ථ සහිත වැ ව්‍යඤ්ජන සහිත වැ දෙසති, කේවලපරිපූර්‍ණ වූ පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙති. එ බඳු රහතුන්ගේ දැක්ම මනා මැ නු” යි.
එසඳ ඕපසාද බමුණුගම්වැසි බමුණුගැහැවියෝ ඕපසාදයෙන් නික්ම මුළුමුළු වැ ගොස් ගණ වැ උතුරු දිගට මුහුණලා දේවවන නම් සල්උයන් කරා යෙති. එසමයෙහි චඞ්කී බ්‍රාහ්මණ මතු මහල්හි දිවාශය්‍යාවට එළැඹියේ වෙයි. චඞ්කී බ්‍රාහ්මණ වැළිත් ඕපසාද බමුණුගම්වැසි බමුණුගැහැවියෝ ඕපසාදයෙන් නික්ම මුළුමුළු වැ ගොස් ගණ වැ උතුරුදස බලා දේවවන නම් සල්උයන් කරා යනුවන් දිට. දැක කතු (ඛත්ත) මහඇමැති ඇමැතී: “භවත් ඛත්තයෙනි, ඕපසාද බමුණුගම්වැසි බමුණුගැහැවියෝ ඕපසාදයෙන් නික්ම මුළුමුළු වැ ගණබැඳී උතුරුදිග බලා දේවවන නම් සල්වනයට කුමට යෙත් දැ?”යි.
භවත් චඞ්කියෙනි, සැහැකුලපුත් සැහැකුලෙන් නික්ම පැවිදි වූ මහණ ගොයුම්ගොතුවෝ ඇත. ඔබ මහත් වූ බික්සඟුන් හා සමග කොසොල් දනවියෙහි සැරිසරනසේක් ඕපසාද නම් බමුණුගමට පැමිණියාහු ඕපසාද බමුණුගම්හි ඕපසාදයට උතුරුදිගැ දේවවන නම් සල්වෙනෙහි වැඩවෙසෙති. ඒ භවත් ගොයුම් ගොතුවන්ගේ මෙවන් කලණ යසගීහඬෙක් උස් වැ නැඟිණ: “මෙ කරුණිනුදු ඒ භාග්‍යවත්හු අර්‍හත්හ, සම්‍යක්සම්බුද්ධයහ, විද්‍යාචරණ සම්පන්නයහ, සුගත්හ, ලෝකවිද්හ, අනුත්තරපුරුෂදම්‍යසාරථිහ, දෙවිමිනිසුනට ශාස්තෘහ, බුද්ධයහ, භාග්‍යවත්හ” යි. තුලුහු ඒ භවත් ගොයුම්ගොතුවන් දක්නට එළැඹෙති” යි.
එසේ වී නම් භවත් කතුවෙනි, ඕපසාද බමුණුගම්වැසි බමුණුගැහැවියන් කරා එළැඹෙව, එළැඹැ ඕපසාද බමුණුගම්වැසි බමුණුගැහැවියනට මෙසේ කියව: “භවත්නි, චඞ්කීබ්‍රාහ්මණ මෙසේ කියයි: භවත්හු මොහොතක් බලත්වා, චඞ්කීබ්‍රාහ්මණ ද මහණ ගොයුම් ගොතුවන් දක්නට එළැඹෙන්නේ ල” යි. ‘එසේ යැ භවත්නි’ යි ඒ කතු මහඇමැති චඞ්කීබ්‍රාහ්මණහට පිළිවදන් දී ඕපසාද බමුණුගම්වැසි බමුණුගැහැවියන් කරා එළැඹියේ. එළැඹැ ඕපසාද බමුණුගම්වැසි බමුණුගැහැවියනට තෙල කී: “භවත්නි, චඞ්කීබ්‍රාහ්මණ මෙසේ කියයි: භවත්හු මොහොතක් බලත්වා, චඞ්කීබ්‍රාහ්මණ ද මහණ ගොයුම්ගොතුවන් දක්නට එළැඹෙත් ල” යි.
එසමයෙහි වනාහි නොයෙක් වෙන් වෙන් රාජ්‍ය සම්බන්‍ධී බමුණන් අතුරෙහි පන්සියක් පමණ බමුණෝ ඕපසාද බමුණුගම්හි කිසි කටයුත්තෙකින් වෙසෙති, ඒ බමුණෝ “චඞ්කී බ්‍රාහ්මණ ශ්‍රමණ ගෞතමයන් දක්නට එළැඹෙන්නේ ල” යි ඇසූහු. එ සඳ එ බමුණෝ චඞ්කී බ්‍රාහ්මණ කරා එළැඹියහ. එළැඹැ චඞ්කීබ්‍රාහ්මණහට තෙල කීහු: “සැබැවෙක් ද, භවත් චඞ්කීබ්‍රාහ්මණ මහණ ගොයුම් ගොතුවන් දක්නට එළැඹෙන්නේ ල?” යි.
භවත්නි, මට මෙසේ සිත් වෙයි: “මම ද මහණ ගොයුම් ගොතුවන් දක්නට එළැඹෙන්නෙමි” යි.
භවත් චඞ්කී මහණ ගොයුමන් දක්නට නහමක් එළැඹෙව. භවත් චඞ්කී මහණ ගොයුමන් දක්නට එළැඹෙන්නට නො නිස්ස. මහණ ගොයුමෝ මැ භවත් චඞ්කී දක්නට එළැඹෙන්නට නිසියහ. භවත් චඞ්කී මවුපසින් ද පියපසින් දැ’යි දෙපසින් සුජාත මැ යැ, සත් වැනි මුත්නායුගය තෙක් පිරිසුදු මව්කුස් ඇතියෙ යැ, ජාතිවාදයෙන් උපක්‍රෝශ නො කරන ලද්දේ යැ, බැහැර නො ලන ලද්දේ යැ. යම් හෙයකින් භවත් චඞ්කී මවුපසින් ද පියපසින් දැ’යි දෙපසින් සුජාත වේ ද, සත් වැනි මුත්නායුගය තෙක් සංශුද්ධග්‍රහණී ඇතියේ ද, ජාතිවාදයෙන් උපක්‍රෝශ නො කරන ලද්දේ ද, බැහැර නො ලන ලද්දේ ද, මෙ කරුණිනුදු භවත් චඞ්කී මහණගොයුමන් දක්නට එළැඹෙන්නට නො නිස්ස. මහණ ගොයුම්හු මැ භවත් චඞ්කී දක්නට එළැඹෙන්නට නිසියහ. භවත් චඞ්කී ආඪ්‍ය යැ, මහත් ධන ඇතියේ යැ, මහත් භෝග ඇතියෙ යැ … භවත් චඞ්කී නිඝණ්ඩු කේටුභ සහිත ශික්‍ෂානිරුක්ති සහිත ඉතිහාසය පස් වනු කොට ඇති ත්‍රිවේදයෙහි පාරයට ගියේ යැ. පද හදාරනුයෙ යැ, ව්‍යාකරණ හදාරනුයෙ යැ ලෝකායත මහාපුරුෂ ලක්‍ෂණයෙහි පරිපූරකාරී යැ … භවත් චඞ්කී විශිෂ්ට රූප ඇතියේ යැ දැකුම්කලු යැ ප්‍රසාද එළවනුයේ යැ පරම වූ වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් සමන්‍වාගත යැ. ශ්‍රේෂ්ඨවර්‍ණ (රන්වන්) ඇතියේ යැ මහබඹුගේ සිරුරුපැහැ ඇතියේ යැ (භවත්හුගේ සිරුර) දක්නා අවකාශය කුඩා නො වෙයි ... භවත් චඞ්කී සිල්වත් යැ වැඩුණුසිල් ඇතියේ යැ වෘද්ධශීලයෙන් සමන්‍වාගත යැ … භවත් චඞ්කී සුන්‍දරවචන ඇතියේ යැ මධුරවාක්කරණ ඇතියේ යැ පලිබෝධ රහිත වූ කෙළතොලු නො වූ අරුත් හැඟවීමෙහි නිසි පෞරවචනයෙන් සමන්‍වාගත යැ … භවත් චඞ්කී බොහෝ දෙනාට ආචාර්‍ය්‍යප්‍රාචාර්‍ය්‍ය වෙයි. තුන් සියක් මාණවකයනට මන්ත්‍රහදාරවයි … භවත් චඞ්කී පසේනදි කොසොල් රජහු විසින් සත්කෘත යැ ගරුකෘත යැ මානිත යැ පූජිත යැ අපචායන කරන ලද … භවත් චඞ්කී පොක්ඛරසාති බමුණු විසින් සත්කාර ගරුකාර මානන පූජා අපචායන කරන ලද ... භවත් චඞ්කී පසේනදි කොසොල් රජහු විසින් තෘණකාෂ්ටොදක සහිත වැ ධාන්‍ය සහිත වැ බ්‍රහ්මදේය කොට දෙනලද රාජදායාද්‍ය වූ රාජභෝග්‍ය වූ බහුජනාකීර්‍ණ ඕපසාද බමුණුගම්හි වෙසෙයි. යම් හෙයෙකින් භවත් චඞ්කී පසේනදි කොසොල් රජහු විසින් තෘණකාෂ්ටොදක සහිත වැ ධාන්‍ය සහිත වැ බ්‍රහ්මදේය කොට දෙන ලද රාජදායාද්‍ය වූ රාජභෝග්‍ය වූ බහුජනාකීර්‍ණ ඕපසාද බමුණුගම්හි වෙසේ ද, මෙ කරුණිනුදු භවත් චඞ්කී ශ්‍රමණගෞතමයන් දක්නට එළැඹෙන්නට නො නිස්ස. ශ්‍රමණ ගෞතමයෝ මැ භවත් චඞ්කීහු දක්නට එළැඹෙන්නට නිසියහ” යි.