2. 5. 4.
ඝෝටමුඛ සූත්රය
මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි ආයුෂ්මත් උදේන තෙරණුවෝ බරණැස් නුවර සමීපයෙහි ඛේමිය නම් අඹවෙනෙහි වැඩ වසන සේක. එසමයෙහි ඝෝටමුඛ බ්රාහ්මණ කිසි කටයුත්තෙකින් බරණැස් නුවරට පැමිණියේ යි. එසඳ ඝෝටමුඛ බමුණු ජඞ්ඝාවිහාර පිණිස සක්මන් කරනුයේ ඇවිදුනේ ඛේමිය අඹඋයන් කරා එළැඹිය. ඒ සමයෙහි ආයුෂ්මත් උදේන තෙරණුවෝ අභ්යවකාශයෙහි සක්මන් කෙරෙති.
ඉක්බිති ඒ ඝෝටමුඛ බමුණු උදේන තෙරුන් කරා එළැඹියේ. එළැඹ ආයුෂ්මත් උදේන තෙරුන් හා සමග සතුටු විය. සතුටුවියයුතු සාරාණීය කථාකොට නිමවා සක්මන් කරන ආයුෂ්මත් උදේන තෙරුන් අනුව සක්මන් කෙරෙමින් මෙසේ කී: “එම්බා මහණ දැහැමි පැවිදි නැති, මට මෙහි ලා මෙසේ සිත් වෙයි, එ ද භවත්හු වැනියන් හෝ නො දැක්මෙන, මෙහි යම් දහම් ඇද්ද, එය හෝ නො දැක්මෙනි”යි.
මෙසේ කී කල්හි ආයුෂ්මත් උදේන තෙරණුවෝ සක්මනින් බැස වෙහෙරට පිවිස පැනැවූ අස්නෙහි වැඩහුන්හ. ඝෝටමුඛ බමුණු ද සක්මනින් බැස වෙහෙරට පිවිස එකත්පස් වැ සිටියේ යැ. එකත්පස් වැ සිටි ඝෝටමුඛ බ්රාහ්මණහට ආයුෂ්මත් උදේන තෙරණුවෝ තෙල කීහ: ‘බමුණ, අසුන් ඇත, කැමැත්තෙහි නම් හිඳුව’යි.
ඇපි භවත් උදේන තෙරුන්ගේ තෙල බස මැ අපේක්ෂා කරමෝ නො හිඳුම්හ. කෙසේ නම් මා බඳුයෙක් පෙර නිමන්ත්රණ නො කරනලද්දේ අසුනෙහි හින්දයුතු කොට සිතා දැ? යි. ඉක්බිති ඝෝටමුඛ බ්රාහ්මණ එක්තරා මිටි අස්නක් ගෙන එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් ඝෝටමුඛ බ්රාහ්මණ ආයුෂ්මත් උදේනහට තෙල කී: “එම්බා මහණ, දැහැමි පැවිදි නැති, මෙහි ලා මට මෙසේ සිත් වෙයි, එ ද භවත්හු වැනියන් නො දැක්මෙන, මෙහි යම් දහම් ඇද්ද, එය හෝ නො දැක්මෙනි”යි.
බමුණ, ඉදින් තෝ අනුදතයුතු මබස අනුදන්හි නම්, පිළිකෙව් කළයුතු මබස පිළිකෙව් කරන්නෙහි නම් මා බණන යම් බසක්හුගේ අරුත් නො දන්හි ද “භවත් උදයනයෙනි, තෙල කෙසේ යැ? තෙල බස්හුගේ අරුත් කෙසේ යැ?”යි. එහි ලා මා මැ මතු පුළුවුස්නෙහි නම් මෙසේ තොට අපගේ මෙහි ලා කථා සල්ලාප වන්නේ යැ”යි.
මම භවත් උදයනයන්ගේ අනුදතයුතු බස් අනුදන්මි. පිළිකෙව් කළයුතු බස් පිළිකෙව් කරන්නෙමි. මම භවත් උදයනයන්ගේ යම් බසක්හුගේ අරුත් නො දන්මි ද, “භවත් උදයනයෙනි’ තෙල කෙසේ යැ? තෙල භාෂිතයාගේ අරුත් කෙසේ යැ?” යි. එහි ලා භවත් උදයනයන් මැ මතු පුළුවුස්මි. මෙසේ කොට මෙ කරුණෙහි අපගේ කථාසල්ලාපය වේවා.
බමුණ, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්යමානයහ. කවර සතර දෙනෙක යත්: බමුණ, මෙලොවැ ඇතැම් පුද්ගලයෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුණු ‘අත්තන්තප’ වෙයි. බමුණ, මෙලොවැ ඇතැම් පුද්ගලයෙක් පරපරිතාපනානුයෝගයෙහි යෙදුණු ‘පරන්තප’ වෙයි. බමුණ, මෙලොවැ ඇතැම් පුද්ගලයෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුණු ‘අත්තන්තප’ ද වෙයි, පරපරිතාපනානුයෝගයෙහි යෙදුණු ‘පරන්තප’ ද වෙයි. බමුණ, මෙලොවැ ඇතැම් පුද්ගලයෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි නො යෙදුණු ‘අත්තන්තප’ ද නො මැ වෙයි, පරපරිතාපනානුයෝගයෙහි නො යෙදුණු ‘පරන්තප’ ද නො මැ වෙයි. හේ ‘අත්තන්තප’ නො වූයේ ‘පරන්තප’ ද නො වූයේ ඉහාත්මයෙහි මැ තෘෂ්ණා රහිත වූයේ නිවුණේ සිහිල් වූයේ සුව විඳුනේ ශ්රේෂ්ඨ වූ ආත්මයෙන් යුක්ත වැ වාස කෙරෙයි. බමුණ, මේ සතර පුඟුලන් අතුරින් කවර පුඟුලෙක් තාගේ සිත් ගන්නේ වේ ද?
භවත් උදයනයෙනි, යම් මේ පුද්ගලයෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුණු ‘අත්තන්තපයෙක්’ වේ ද, මේ පුද්ගල මා සිත් නො ගන්නේ යැ. භවත් උදයනයෙනි, යම් මේ පුද්ගලයෙක් , පරපරිතාපනානුයෝගයෙහි යෙදුණු ‘පරන්තපයෙක්’ වේ ද, මේ පුද්ගල ද මා සිත් නො ගන්නේ යැ. භවත් උදයනයෙනි, යම් මේ පුද්ගලයෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුණු ‘අත්තන්තපයෙකුත් වේ ද, පරපරිතාපනානුයෝගයෙහි යෙදුණු ‘පරන්තපයෙකුත්’ වේ ද, මේ පුද්ගල ද මා සිත් නො ගන්නේ යැ. භවත් උදයනයෙනි, යම් මේ පුද්ගලයෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි නො යෙදුණු අත්තන්තපයෙකුත් නො වේ ද, පරපරිතාපනානුයෝගයෙහි නො යෙදුණු පරන්තපයෙකුත් නො වේ ද, හේ අත්තන්තප නො වූයේ පරන්තප ද නො වූයේ ඉහාත්මයෙහි මැ තෘෂ්ණා රහිත වැ නිර්වෘත වැ ශීතිභූත වැ සුව විඳුනාසුලු වැ මෙසේ ශ්රේෂ්ඨ ආත්මයෙන් යුතු වැ වාස කෙරේ ද, මේ පුද්ගල මාගේ සිත් ගන්නේ යැ” යි.
බමුණ, කවර හෙයෙකින් මේ තුන් පුද්ගලයෝ තා සිත් නො ගනිත් ද? භවත් උදයනයෙනි, යම් මේ පුද්ගලයෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුණු අත්තන්තපයෙක් වේ ද, හේ සුව කැමැති දුක් නො කැමැති ආත්මයා ආතාපන පරිතාපන කෙරෙයි. මේ කරුණින් මේ පුද්ගල මා සිත් නො ගන්නේ යැ. භවත් උදයනයෙනි, යම් මේ පුද්ගලයෙක් පරපරිතාපනානුයෝගයෙහි යෙදුණු පරන්තපයෙක් වේ ද, හේ සුව කැමැති දුක් නො කැමැති මෙරමා ආතාපනපරිතාපන කෙරෙයි. මේ කරුණින් ඒ පුද්ගල මා සිත් නො ගන්නේ යි. භවත් උදයනයෙනි, යම් මේ පුද්ගලයෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුණු අත්තන්තපයෙකුත් වේ ද, පරපරිතාපනානුයෝගයෙහි යෙදුණු පරන්තපයෙකුත් වේ ද, හේ සුව කැමැති දුක් නො කැමැති තමා හා මෙරමා ආතාපනපරිතාපන කෙරෙයි. මේ කරුණින් මේ පුද්ගල මා සිත් නො ගන්නේ යැ. භවත් උදයනයෙනි, යම් මේ පුද්ගලයෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි නො යෙදුණු අත්තන්තපයකු හා පරපරිතාපනානුයෝගයෙහි නො යෙදුණු පරන්තපයෙකුත් නො වේ ද, හේ අත්තන්තප නො වූයේ පරන්තප ද නො වූයේ ඉහාත්මයෙහි මැ තෘෂ්ණා රහිත වැ නිර්වෘත වැ සිහිල් වැ සුව විඳුනාසුලු වැ ශ්රේෂ්ඨ වූ ආත්මයෙන් යුක්ත වැ වාස කෙරේ ද, හේ සුව කැමැති දුක් නො කැමැති තමා හා මෙරමා ආතාපනපරිතාපන නො මැ කෙරෙයි. මෙ කරුණින් මේ පුද්ගල මා සිත් ගන්නේ යැ.