2. 5. 3.
අස්සලායන සූත්රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටුහුගේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන සේක. එසමයෙහි (අඞ්ඝමගධාදි) නානාප්රකාර වෙන් වෙන් රජයෙන් පැමිණි බමුණුදනන් පිළිබඳ පන්සියක් පමණ බමුණෝ සැවැත්නුවර වෙසෙත්. (යඥොපාසනාදි) කිසියම් කරණී හෙයිනි. එසඳ ඒ බමුණනට තෙල සිත් වී: “මේ මහණ ගොයුම්හු චතුර්වර්ණ සාධාරණ ශුද්ධි විධියක් පනවති. මේ වචනයෙහි ලා මහණ ගොයුමන් හා සමග ප්රතිමන්ත්රණය පිණිස කවරෙක් සමත් වේ ද හෝ යි.
එසමයෙහි අස්සලායන නම් මණෙවු සැවැත්හි වෙසෙයි, දහර යැ, අපහෘතකේශ ඇතියෙ යැ, උපතින් සොළොස් හවිරිද්ද, නිඝණ්ඩු කේටුභ සහිත වූ අක්ෂරප්රභේද සහිත වූ ඉතිහාසය පස් වනු කොට වැටෙන ත්රිවේදයන් ගේ පාරයට ගියේ යැ, පද හදාරනු වෙයි, ව්යාකරණ හදාරනු වෙයි, ලෞකිකායතික මහාපුරුෂලක්ෂණයෙහි පරිපූරකාරී වෙයි. ඒ සඳ ඒ බමුණනට තෙල සිත් වී: “මේ අස්සලායන මාණවක සැවැත්හි වෙසෙයි, තරුණ යැ, කේසාපහරණ කළේ යැ, උපතින් සොළොස් හැවිරිදි යැ, නිඝණ්ඩු කෙටුභශාස්ත්ර සහිත ශික්ෂා සහිත ඉතිහාසය පස්වනු කොට වැටෙන ත්රිවේදයන්ගේ පරතෙර දුටුයේ යැ, පද හදාරනු වෙයි, ලෞකික මහා පුරුෂලක්ෂණයෙහි පරිපූරකාරී වෙයි. හේ වනාහි මහණ ගොයුමන් හා සමග මේ වචනයෙහි ලා ප්රතිමන්ත්රණ කරන්නට පොහෝනේ වෙයි.
ඉක්බිති ඒ බමුණු අස්සලායන මණෙවු කරා එළඹියහ. එළැඹ අස්සලායන මණෙවුහට තෙල කීහු: “භවත් අස්සලායනයෙනි, මේ මහණ ගොයුම්හු චතුර්වර්ණ සාධාරණ ශුද්ධි විධියක් පනවති. එව, භවත් අස්සලායනයෝ මහණගොයුමන් හා සමග මේ වචනයෙහි ලා ප්රතිමන්ත්රණ කෙරෙත්වා”යි. මෙසේ කී කල අස්සලායන මාණවක ඒ බමුණුහට තෙල කී: “භවත්නි, ශ්රමණ ගෞතමයෝ ධර්මවාදී වෙති. ධර්මවාදීහු නම් දුකසේ ප්රතිමන්ත්රණ කළයුත්තාහ. මම වනාහි ශ්රමණ ගෞතමයන් හා සමග මේ වචනයෙහි ලා ප්රතිමන්ත්රණය කරන්නට නො හැක්කෙමි. දෙවනවට ද ඒ බමුණෝ අස්සලායන මාණවකහට තෙල කීහු: “භවත් අස්සලායනයෙනි, මේ මහණ ගොයුම්හු චතුර්වර්ණසාධාරණ ශුද්ධිවිධියක් පනවති. භවත් අස්සලායනයෝ මහණ ගොයුමන් හා සමග ප්රතිමන්ත්රණය කරන්නට එත්වා, භවත් අස්සලායනයන් විසින් ප්රව්රජ්යාවිධාන ශික්ෂිත වෙයි. දෙවනවට ද අස්සලාන මාණවක ඒ බමුණනට තෙල කී: “භවත්නි, ශ්රමණ ගෞතමයෝ ධර්මවාදීහ. ධර්මවාදීහු වනාහි දුකසේ ප්රතිමන්ත්රණ කළයුත්තාහ. මම වනාහි ශ්රමණ ගෞතමයන් හා මේ වචනයෙහි ලා ප්රතිමන්ත්රණය කරන්නට නො හැක්කෙමි. තුන් වන වට ද ඒ බමුණෝ අස්සලායන මාණවකහට තෙල කීහු: “භවත් අස්සලායනයෙනි, මේ මහණ ගොයුම්හු චතුර්වර්ණසාධාරණ ශුද්ධියක් පනවති. භවත් අස්සලායනයෝ මහණ ගොයුමන් හා සමග මේ වචනයෙහි ලා ප්රතිමන්ත්රණය කරන්නට එත්වා. භවත් අස්සලායනයන් විසින් ප්රව්රජ්යාවිධාන ශික්ෂිත වෙයි. භවත් අස්සලායනයෝ යුද නො කොට පැරදුමක් නහමක් කෙරෙත්වා.
මෙසේ කී කල්හි අස්සලායන මාණවක ඒ බමුණනට තෙල කී: “ඒකාන්තයෙන් මම භවතුන් නො ලබමි. භවත්නි, මහණ ගොයුම්හු ධර්මවාදීහ, ධර්මවාදීහු වනාහි දුකසේ ප්රතිමන්ත්රණ කළයුත්තාහ. මම ශ්රමණ ගෞතමයන් හා සමග මේ වචනයෙහි ලා ප්රතිමන්ත්රණය කරන්නට නො හැක්කෙමි. වැලිදු මම භවතුන් ගේ වචනයෙන් එමි.
ඉක්බිති අස්සලායන මාණවක මහත් බ්රාහ්මණ ගණයා හා සමග භාග්යවතුන් කරා එළැඹියේ යැ. එළැඹ භාග්යවතුන් වහන්සේ සමග සතුටු වී. සතුටු වියයුතු කලක් සිහි කළයුතු කථාව කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් අස්සලායන මාණවක භාග්යවතුන් වහන්සේට තෙල කී: “භවත් ගොයුම් ගොතුව බ්රාහ්මණයෝ මෙසේ කියත්: බ්රාහ්මණයෝ මැ ශ්රේෂ්ඨවර්ණ යි. අන්යවර්ණ හීන යි. බ්රාහ්මණයෝ මැ ශුක්ලවර්ණ යි. අන්යවර්ණ කෘෂ්ණ යි. බ්රාහ්මණයෝ මැ පිරිසුදු වෙත් තදන්යයෝ පිරිසුදු නො වෙත්. බ්රාහ්මණයෝ මැ බ්රහ්මයාගේ පුත්හ, ඖරසයහ, මුඛයෙන් ජාතයහ, එයින් මැ බ්රහ්මජයහ, බ්රහ්මනිර්මිතයහ, බ්රහ්මදායාදයහ”යි. භවත් ගෞතමයන් වහන්සේ මෙහි ලා කුමක් වදාරනසේක් ද?
අස්සලායනයෙනි, බමුණන්ගේ බැමිණියෝ ඍතුනී වූවාහු ද ගැබිනි වූවාහු ද වදන්නාහු ද කිරිපොවන්නාහු ද පැනෙත්, එ බමුණෝ ද යෝනියෙන් උපන්නාහු මැ මෙසේ කීහු: “බ්රාහ්මණයෝ මැ ශ්රේෂ්ඨවර්ණ යි, අන්යවර්ණ හීන යි. බ්රාහ්මණයෝ මැ ශුක්ලවර්ණ යි, අන්යවර්ණ කෘෂ්ණ යි. බ්රාහ්මණයෝ මැ පිරිසිදු වෙත්. තදන්යයෝ පිරිසිදු නො වෙත්. බ්රාහ්මණයෝ මැ බ්රහ්මයාගේ පුත්හ, ඖරසයහ, මුඛයෙන් ජාතයහ, එයින් මැ බ්රහ්මජයහ, බ්රහ්මනිර්මිතයහ, බ්රහ්මදායාදයහ”යි.
භවත් ගෞතමයන් වහන්සේ මෙසේ වදාරතුදු බ්රාහ්මණ යෝ වැළිත් තෙල කරුණ මෙසේ හඟිති: “බ්රාහ්මණයෝ මැ ශ්රේෂ්ඨවර්ණ යැ, අන්යවර්ණ හීන යි. .... බ්රහ්ම දායාදයහ”යි.
අස්සලායනයෙනි, ඒ කිමැ’යි හඟිහි? “යෝනකාම්බෝජ දනව්හි දු අන් පසල්දනව්හි දු වර්ණ (කුල) දෙකෙක් මැ යැ: ස්වාමි ද දාස ද යන දෙක යි. ස්වාමි වැ දාස වෙයි, දාස වැ ස්වාමි වේ” යයි තොප විසින් අසනලද ද?
භවත්නි, මා විසින් මෙසේ අසන ලද: “යෝනකාම්බෝජ දනව්හි දු අන් පසල්දනව්හි දු ස්වාමි යැ දාස යැ යි වර්ණ දෙකෙක් මැ යැ. ස්වාමි වැ සිට දාස වෙයි, දාස වැ සිට ස්වාමි වේ”යයි. අස්සලායනයෙනි, යම් හෙයකින් මෙහි ලා බ්රාහ්මණයෝ මෙසේ කියත් ද: “බ්රාහ්මණයෝ මැ ශ්රේෂ්ඨවර්ණ යැ, අන්යවර්ණ හීනවර්ණ යි … බ්රහ්මදායාදයහ”යි, මෙ කරුණෙහි ලා බමුණනට කවර බලයෙක් ද? කවර ආස්වාසයෙක් ද?
භවත් ගෞතමයෝ මෙසේ වදාරතූදු බ්රාහ්මණයෝ වැළිත් තෙල කරුණ මෙසේ හඟිති: “බ්රාහ්මණයෝ මැ ශ්රේෂ්ඨවර්ණ යැ, අන්යවර්ණ හීන යි ... බ්රහ්මදායාදයහ”යි.
අස්සලායනයෙනි, ඒ කිමැ’යි හඟිහි? ප්රාණවධ කරන, නුදුන් දැය ගන්නා, කාමයෙහි මිසහසර ඇති, මුසා බණන පිසුණුබස් ඇති පරොස්බස් ඇති සිස්බස් බණන, අභිධ්යා බහුල, ව්යාපන්න සිත් ඇති, මිසදිටු ඇති ක්ෂත්රිය මැ කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට ගති වූ විවස වැ පතිත වන නිරයෙහි උපදනේ ද? බ්රාහ්මණ නූපදනේ ද? වෛශ්ය මැ ... ප්රාණවධ කරන, අයිනාදන් කරන, කාමයෙහි මිසහසර ඇති, මුසා බණන, පිසුණුබස් ඇති, පරොස්බස් ඇති, සිස්බස් තෙපලන, අභිධ්යා බහුල, ව්යාපන්න සිත් ඇති, මිසදුටු ඇති ශුද්ර මැ කාබුන් මරණින් මතු සැපයෙන් පහවූ දුකට ගති වූ විවස වැ පතිත වන නිරෑහි උපදනේ ද? බමුණු නූපදනේ දැ?යි.