2. 5. 2.
සේල සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අඞ්ගුත්තරාප නම් දනවියෙහි අඩතෙළෙස්යල්සියක් පමණ මහත් වූ බික්සඟුන් හා සමග සැරිසරන සේක් අඞ්ගුත්‍තරාපදනවු වැසියන්ගේ ආපණ නම් නියම්ගම කරා වැඩිසේක. කේණිය ජටිල තෙල යසගී ඇසී: “භවත්නි, සැහැපුත් සැහැකුලයෙන් නික්ම පැවිදි වූ මහණ ගොයුම්හු අඩතෙළෙස්යල්සියක් පමණ මහත් වූ බික්සඟුන් හා සමග අඞ්ගුත්‍තරාප නම් දනවියෙහි සැරිසරන සේක් ආපණ නම් නිගමයට පැමිණියහ. ඒ භවත් ගොයුමාණන්ගේ කලි මෙ වන් කලණ යසගී උස් වැ නැඟිණ: “මේ කරුණිනුදු ඒ භාග්‍යවත්හු අර්‍හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණසම්පන්නයහ, සුගත්හ, ලෝකවිද්හ, අනුත්තර පුරුෂදම්‍යසාරථිහ, දෙවිමිනිසුනට ශාස්තෘහ, බුද්ධයහ, භාග්‍යවත්හ”යි. ඔබ දෙව්ලෝ සහිත මරලෝ සහිත බඹලෝ සහිත මෙ ලොව ද, මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව ද තමා විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙති. ඔබ ආදිකල්‍යාණ කොට මධ්‍යකල්‍යාණ කොට පර්‍ය්‍යවසානකල්‍යාණ කොට අර්‍ත්‍ථ සහිත වූ ව්‍යඤ්ජන සහිත වූ දහම් දෙසති. සියල්ල පිරිපුන් පිරිසුදු බඹසර පවසති. එ වන් රහතුන්ගේ දැක්ම මනා මැ නු”යි.
එසඳ, කේණිය ජටිල භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු වී. සතුටු විය යුතු කලතුරුහි සිහිකටයුතු කථා කොට නිමවා එකත්පස් වැ හින. බුදුහු එකත්පස් වැ හුන් කේණිය ජටිලයාහට දැහැමි කථායෙන් කරුණු දැක්වූහ, සමාදන් කරවූහ, තෙද ගැන්වූහ, ප්‍රහර්‍ෂ කරවූහ. ඉක්බිති කේණිය ජටිල භාග්‍යවතුන් විසින් දැහැමි කථායෙන් කරුණු දක්වන ලද්දේ සමාදන් කරවන ලද්දේ මොනොවට තෙද ගන්වන ලද්දේ සම්ප්‍රහර්‍ෂ කරවන ලද්දේ භාග්‍යවතුන් වහන්සේට තෙල බස් කී: “භවත් ගෞතමයෝ බික්සඟුන් හා සමග සෙට මා ගේ බත ඉවසන සේක්ව”යි.
මෙසේ කී කල්හි බුදුහු කේණිය ජටිලහට තෙල වදාළහ: “කේණියෙනි, බික්සඟහු මහත්හ, අඩතෙළෙස්යල්සියක් මහණහු ය, තොයිත් බමුණන් කෙරෙහි අභිප්‍රසන්නයෙහි”යි. දෙවනවට ද කේණිය ජටිල භාග්‍යවතුන් වහන්සේට තෙල කී: “භවත් ගොයුම් ගොතුව, අඩතෙළෙස්යල්සියක් පමණ බික්සඟන මහත් වුව ද, මයිත් බමුණන් කෙරෙහි අභිප්‍රසන්න වුව ද භාග්‍යවතුන් වහන්සේ සෙට මාගේ බත බික්සඟන හා සමග ඉවසන සේක්වා, දෙවනවට ද භාග්‍යවතුන් වහන්සේ කේණිය ජටිලයාහට තෙල වදාළ සේක: “කේණියෙනි, බික්සඟහු බොහෝහ, අඩතෙළෙස්යල්සියක් මහණහු ය, තොයිත් බමුණන් කෙරෙහි අභිප්‍රසන්නයෙහි”යි. තෙවනවට ද කේණිය ජටිල භාග්‍යවතුන් වහන්සේට තෙල කී: “භවත් ගොයුම් ගොතුව, අඩතෙළෙස්යල්සියක් පමණ බික්සඟන මහත් වුව ද, මයිත් බමුණන් කෙරෙහි අභිප්‍රසන්න වුව ද භවත් ගෞතමයන් වහන්සේ සෙට මා ගේ බත බික්සඟන හා සමග ඉවසන සේක්ව”යි. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් ඉවසූ සේක.
එසඳ, කේණිය ජටිල භාග්‍යවතුන් වහන්සේගේ අධිවාසනාව ලැබ හුනස්නෙන් නැගී සිය අසපුව කරා එළැඹියේ යි. එළැඹ මිත්‍රාමාත්‍යයන් හා නෑසාලේනෑයන් ඇමැතී: “භවත් මිත්‍රාමාත්‍යයන් හා නෑසාලේනෑයෝ මබස අසත්වා! මා විසින් මහණ ගොයුම්හු සෙට බතට බික්සඟන හා සමග නිමන්ත්‍රණ කරන ලදහ. එහෙයින් මට කාය වතාවත් කරව”යි. “එසේ යැ භවත්නි”යි කේණිය ජටිලයාගේ මිත්‍රාමාත්‍යයෝ නෑසහලේ නෑයෝ කේණිය ජටිලයාහට පිළිවදන් දී ඇතැම් කෙනෙක් උදුන් කණිති, ඇතැම් කෙනෙක් දර පලති, ඇතැම් කෙනෙක් බඳුන් දොවිති, ඇතැම් කෙනෙක් දියසැළ පිහිටුවති (තබති) ඇතැම් කෙනෙක් අසුන් පනවති. කේණිය ජටිල වැළිත් තෙමේ මැ මණ්ඩලමාලය (පිළි මඩුව) පිළියෙල කරයි.
එසඳ සේල බ්‍රාහ්මණ ආපණ නම් නියම්ගම්හි වෙසෙයි: නිඝණ්ඩුකේටුහ සහිත ශික්‍ෂා නිරුක්ති සහිත ඉතිහාසය පස් වනු කොට ඇති ත්‍රිවේදයෙහි පාරයට ගියේ යැ. පද හා තදන්‍ය ව්‍යාකරණ හදාරනුයේ යැ, ලෝකායත මහාපුරුෂ ලක්‍ෂණයෙහි පරිපූරකාරී යැ’ තුන්සියක් මාණවකයනට වේද හදාරවයි. එසඳ කේණියජටිල සේල බ්‍රාහ්මණ කෙරෙහි අභිප්‍රසන්න වෙයි. ඉක්බිති සේල බ්‍රාහ්මණ තුන්සියක් මණෙවුවන් විසින් පිරිවරනලද්දේ ජඞ්ඝාවිහාරයෙහි සක්මන් කරනුයේ ඇවිදුනේ කේණිය ජටිලයාගේ අසපුව කරා එළැඹියේ යි. සේල බ්‍රාහ්මණ කේණිය ජටිලයාගේ අසපුවෙහි ඇතැම් කෙනෙකුන් උදුන් කණනුවන් ඇතැම් කෙනෙකුන් දරපලනුවන් ඇතැම් කෙනෙකුන් බඳුන් දෝනාවුන් ඇතැම් කෙනෙකුන් දියසැළ තබනුවන් ඇතැම් කෙනෙකුන් අසුන් පනවනුවන්, කේණිය ජටිල වැළිත් තමා මැ මණ්ඩලමාලය පිළියෙළ කරන්නා දුටුයේ යැ. දැක කේණියජටිලයාහට තෙල කී: “කිම? භවත් කේණියහට ආවාහයෙක් හෝ වන්නේ ද, විවාහයෙක් හෝ වන්නේ ද, මහායාගයෙක් හෝ එළැඹසිටියේ ද, මගධේශ්වර සේනියබිම්බිසාර රජ හෝ සෙට දවසට බලකාය හා සමග නිමන්ත්‍රණ කරන ලද දැ?”යි. භවත් සේලයෙනි, මට ආවාහයෙක් නො වෙයි, විවාහයෙක් ද නො වෙයි, මගධේශ්වර සේනිය බිම්බිසාර රජ හෝ සෙට දවසට බලකාය හා සමග නිමන්ත්‍රණ නො කරන ලද, එතෙකුදු වත් මට මහා යාගයෙක් එළැඹසිටියේ යැ. භවත්නි, සැහැපුත් සැහැකුලයෙන් නික්ම පැවිදි වූ මහණ ගොයුම්හු ඇත, අඩතෙළෙස්යල්සියක් පමණ මහත් වූ බික්සඟුන් හා සමග අඞ්ගුත්‍තරාප ජනපදයෙහි සැරිසරන සේක් ආපණ නම් නියම්ගමට වැඩියහ. ඒ භාග්‍යවත් ගොයුම්ගොතුවන්ගේ මෙවන් කලණ යසගී උස් වැ නැඟිණි: මෙ කරුණිනුදු ඒ භගවත්හු අර්‍හත්හ, සම්‍යක්සම්බුද්ධයහ, විද්‍යාචරණ සම්පන්නයහ, සුගත්හ, ලෝකවිද්හ, අනුත්තරපුරුෂදම්‍යසාරථියහ, දෙවිමිනිසුනට ශාස්තෘයහ, බුද්ධයහ, භගවත්හ”යි. ඔබ මා විසින් සෙට බතට බික්සඟුන් හා සමග නිමන්ත්‍රණ කරන ලදහ”යි. භවත් කේණියෙනි, ‘බුදුහ’යි කියෙහි, භවත් සේලයෙනි, ‘බුදුහ’යි කියමි, භවත් කේණියෙනි, ‘බුදුහ’යි කියෙහි, භවත් සේලයෙනි, ‘බුදුහ’යි කියමි”යි.
එසඳ සෙල බ්‍රාහ්මණයාහට තෙල සිත් වී: “බුදුහු” යන තෙල ඝෝෂය පවා ලෝකයෙහි දුර්‍ලභ ය. අපගේ වේදයෙහි දෙතිස් මහාපුරුෂලක්‍ෂණයෝ ආවාහු ය. එ ලකුණෙන් සමන්‍වාගත මහපුරිස්හට ගතීහු දෙදෙනෙක් මැ වෙති. අන් ගතියෙක් නො වෙයි. ඉදින් ගිහිගෙයි වෙසේ නම් දැහැමි වූ ධර්‍මරාජන් වූ සියුසයුරු හිම් කොට ඇති පෘථිවියට ඊශ්වර වූ පසමිතුරන් දිනූ දනවු තහවුරු සේ ලත් සත්රුවනින් සමන්‍වාගත වූ සක්විති රජ වෙයි. ඔහුට මේ සප්තරත්නයෝ පහළ වෙති: ඒ කෙසේ යැ යත්: “චක්‍රරත්න යැ හස්තිරත්න යැ