2. 4. 7.
පියජාතික සූත්රය
මා විසින් මෙසේ අසනලද: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර නිසා ජේතවන නම් වූ අනේපිඬු සිටුහු ගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල එක්තරා ගැහැවියක්හුගේ ප්රියමනාප වූ එක් මැ පුත් කලුරිය කෙළේ වෙයි. ඔහුගේ කාලක්රියායෙන් කර්මාන්තයෝ නො මැ වටහත්. බත ද නො රුස්නේ යැ. හේ සොහොනට පුනපුනා ගොස් හඬයි: “හා එක් මැ පුතැ කොහි යැ, හා එක් මැ පුතැ කොහි යැ”යි. ඉක්බිති ඒ ගැහැවි භාග්යවතුන් වහන්සේ කරා එළැඹියේ. එළැඹ, භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. භාග්යවතුන් වහන්සේ එකත්පස් ව හුන් ඒ ගැහැවිහට තෙල වදාළහ: “ගැහැවිය, ස්වකීයචිත්තයෙහි සිටුනා තාගේ ඉඳුරෝ ඇත්තාහු නො වෙති, තාගේ ඉඳුරන්ගේ අන්යථාත්වයෙකි”යි.
වහන්ස, මා ඉඳුරන්ගේ අන්යථාත්වයෙක් කිම නො වේද? වහන්ස, මාගේ ප්රියමනාප වූ එක් මැ පුත් කලුරිය කෙළේ යැ. ඔයුගේ කාලක්රියායෙන් කර්මාන්තයෝ නො මැ වටහත්, බත නොරුස්නේ යැ, මම සොහොනට පුනපුනා ගොස් හඬමි: “කොහි යැ හා! එක් මැ පුතැ, කොහි යැ හා!! එක් මැ පුතැ”යි.
ගැහැවිය, එසේ මැ යැ. ගැහැවිය, ශෝක-පරිදේව-දුඃඛ-දෞර්මනස්ය-උපායාසයෝ ප්රිය දැයින් උපදනා සැහැවි ඇතියහ, ප්රිය දැයින් පහළ වන සැහැවි ඇතියහ.
වහන්ස, කුමට තෙල මෙසේ වේ ද? ශෝක-පරිදේව-දුඃඛ-දෞර්මනස්ය-උපායාසයෝ කුමට ප්රිය දැයින් උපදනා සැහැවි ඇති වෙද්ද? කුමට ප්රිය දැයින් පහළ වන සැහැවි ඇති වෙද්ද? වහන්ස, ආනන්ද-සෞමනස්යයෝ ප්රිය දැයින් උපදනා සැහැවි ඇතියහ, ප්රිය දැයින් පහළ වන සැහැවි ඇතියහ”යි. ඉක්බිති ඒ ගැහැවි භාග්යවතුන් වහන්සේ ගේ භාෂිතය අභිනන්දනා නො කොට පිළිකෙව් කොට බැස ගියේ.
එසමයෙහි බොහෝ දූකෙළින්නෝ භාග්යවතුන් වහන්සේ නුදුරෙහි පසැටින් කෙළිත්. ඉක්බිති ඒ ගැහැවි ඒ අක්ෂධූර්තයන් කරා එළැඹියේ. එළැඹ ඒ අක්ෂධූර්තයනට තෙල කී: “භවත්නි, මම මෙහි දී මහණ ගොයුම්හු කරා එළැඹියෙමි. එළැඹ මහණ ගොයුමන් සකසා වැඳ එකත්පසෙකැ හිනිමි. භවත්නි, එකත්පස් ව හුන් මට මහණ ගොයුම් තෙල කී: ‘ගැහැවිය, ස්වකීය චිත්තයෙහි සිටුනා තාගේ ඉඳුරෝ ඇත්තාහු නො වෙති. තා ඉඳුරන්ගේ අන්යථාත්වයෙකැ’යි. භවත්නි, මම මෙසේ කී කල මහණ ගොයුම්හට තෙල කීමි: ‘වහන්ස, මා ඉඳුරන්ගේ අන්යථාත්වයෙක් කිම නො වේ ද? වහන්ස, මාගේ ප්රිය මනාප වූ එක් මැ පුත් කලුරිය කෙළේ. ඔහුගේ කාලක්රියායෙන් කර්මාන්තයෝ නො වටහත්, බත නුරුස්නේ යැ. මම සොහොනට පුනපුනා වැද හඬමි: “කොහි යැ හා! එක් මැ පුතැ, කොහි යැ හා!! එක් මැ පුතැ’යි. ගැහැවිය, තෙල එසේ මැ යැ. ගැහැවිය, තෙල එසේ මැ යැ. ගැහැවිය, ශෝක-පරිදේව-දුඃඛ-දෞර්මනස්ය-උපායාසයෝ ප්රිය දැයින් උපදනා සැහැවි ඇතියහ, ප්රිය දැයින් පහළ වන සැහැවි ඇතියහ’යි. වහන්ස, තෙල
මෙසේ කුමට නම් වේ ද? ශෝක-පරිදේව-දුඃඛ-දෞර්මනස්ය-උපායාසයෝ කුමට ප්රිය දැයින් උපදනා සැහැවි ඇති වෙද්ද? කුමට ප්රිය දැයින් පහළ වන සැහැවි ඇති වෙද්ද? වහන්ස, ආනන්ද-සෞර්මනස්යයෝ නම් ප්රිය දැයින් උපදනා සැහැවි ඇතියහ, ප්රිය දැයින් පහළ වන සැහැවි ඇතියහ’යි. භවත්නි, එසඳ මම මහණ ගොයුම්හු ගේ භාෂිතය අභිනන්දන නො කොට පිළිකෙව් කොට හුනස්නෙන් නැගී බැස ගියෙමි.
‘ගැහැවිය, තෙල එසේ මැ යැ, ගැහැවිය, තෙල එසේ මැ යැ. ගැහැවිය, ආනන්ද-සෞමනස්යයෝ ප්රිය දැයින් උපදනා සැහැවි ඇතියහ, ප්රිය දැයින් පහළ වන සැහැවි ඇතියහ’යි. ඉක්බිති ඒ ගැහැවි මා අදහස් අක්ෂධූර්තයන් හා එකතු වෙති’ය නික්ම ගියේ. එසඳ මේ කථාවස්තුව ක්රමයෙන් රාජාන්තඃපුරය කරා ගියේ.
ඉක්බිති පසේනදි කොසොල්රජ මල්ලිකා දේවිය ඇමැතී: “මල්ලිකාවෙනි, ශ්රමණ ගෞතමයන් වහන්සේ විසින් මෙ බස් පැවැසිණ: ශෝක-පරිදේව-දුඃඛ-දෞර්මනස්ය-උපායාසයෝ ප්රිය දැයින් උපදනා සැහැවි ඇතියහ, ප්රිය දැයින් පහළ වන සැහැවි ඇතියහ”යි.
මහරජ, ඉදින් භාග්යවතුන් වහන්සේ විසින් එය වදාරන ලද නම් තෙල එසේ මැ යැ යි.
මෙසේ මැ මේ මල්ලිකා දේවි මහණ ගොයුම්හු යම් මැ දැයක් කියත් නම් එය මැ අනුමෝදන් වෙයි: “ඉදින් මහරජ, ඒ භාග්යවතුන් විසින් වදාරන ලද නම් තෙල එසේ මැ යැ”යි. යම්සේ ආචාර්ය්ය කෙනෙක් අතැවැසියක්හට යම් මැ දැයක් කියද්ද, අතැවැසි තෙල එසේ මැ යැ ආචාර්ය්යයෙනි, තෙල එසේ මැ යැ ආචාර්ය්යයෙනි”යි එය මැ අනුමෝදන් වේ ද, එසෙයින් මැ මල්ලිකාවෙනි, තෙපි මහණ ගොයුම්හු යම් මැ දැයක් කියද්ද, ‘ඉදින් මහරජ, භාග්යවතුන් විසින් ඒ වදාරන ලද නම් තෙල එසේ මැ යැ’යි එය මැ අනුමෝදන් වව. මල්ලිකා, නො පැනී පහව යා”යි.
එසඳ මල්ලිකා දේවි නාළිජඞ්ඝ නම් බමුණු ඇමැතූ: “බමුණ, එව තෙපි භාග්යවතුන් කරා එළැඹෙව, එළැඹ මා ගේ බසින් භාග්යවතුන්ගේ පාසඟළ මුදුනින් වඳුව, ආරෝග්යය නිදුක් බව සැහැල්ලු බව කායබලය පහසුවිහරණ පුළුවුස්ව: “වහන්ස, මල්ලිකා දේවි භාග්යවතුන් වහන්සේ පාසඟළ මුදුනින් වඳියි, අරෝගබව නිදුක්බව සිරුරෙහි සැහැල්ලුබව කායබලය පහසුවිහරණ පුළුවුසී”යයි. මෙසේත් කියව: “වහන්ස, භාග්යවතුන් විසින් ‘ශෝක-පරිදේව-දුඃඛ-දෞර්මනස්ය-උපායාසයෝ ප්රියදැයින් උපදනාහ, ප්රියදැයින් උපදනා සැහැවි ඇතියහ, යන තෙල බස් වදාරනලද දැ?”යි. බුදුහු යම්සේ තොපට පවසත් ද, එය එසේ මනාකොට උගෙන මට දන්ව, තථාගතයෝ මුසා නො මැ බෙණෙති”යි. ‘එසේ යැ භවත්නි’යි නාළිජඞ්ඝ බමුණු මල්ලිකාදේවියට පිළිවදන් අස්වා භාග්යවතුන් කරා එළැඹියේ. එළැඹ භාග්යවතුන් වහන්සේ හා සමග සතුටු විය, සතුටු විය යුතු කලතුරුහි සිහිකටයුතු කථා කොට නිමවා එකත්පසෙක හින. එකත්පස් වැ හුන් නාළිජඞ්ඝ බ්රාහ්මණ භාග්යවතුන් වහන්සේට තෙල බස් සැළ කෙළේ: භවත් ගෞතමයන් වහන්ස, මල්ලිකාදේවි භවත් ගෞතමයන්ගේ පාසඟළ සිරසින් වඳියි. ආරෝග බව නිදුක් බව කයෙහි සැහැල්ලු බව කායබලය පහසුවිහරණ පුළුවුසි. මෙසේත් කියයි: “වහන්ස, භාග්යවතුන් විසින් ‘ශෝක-පරිදේව-දුඃඛ-දෞර්මනස්ය-උපායාසයෝ ප්රිය දැයින් උපදනාහ, ප්රිය දැයින් උපදනා සැහැවි ඇතියහ’ යන තෙල බස් වදාරන ලද දැ?”යි.