4. රාජ වර්‍ගය
2. 4. 1.
ඝටීකාර සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහත් වූ සඟපිරිස් හා සමග කොසොල් දනවුයෙහි සැරි සරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මඟින් බැහැර ව එක්තරා පියෙසෙක්හි දී සිනා පහළ කළ සේක. එකල්හි ආයුෂ්මත් අනඳ තෙරුන්ට මෙවන් සිතෙක් විය: “භාග්‍යවතුන් වහන්සේගේ සිනා පාළ කිරීමට හේතු කවරේ යැ? ප්‍රත්‍යය කවරේ යැ? බුදුහු නො කරුණෙහි සිනා පාළ නො කෙරෙති”යි. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ උතුරුසඟ එකස් කොට බුදුන් දසට ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට තෙල වදන් කීහ: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ සිනා පාළ කිරීමට හේතු කවරේ යැ? ප්‍රත්‍යය කවරේ යැ? බුදුහු නො කරුණෙහි සිනා පහළ නො කෙරෙත් නු?”යි.
ආනන්‍දය, යටගිය දවස මෙ පෙදෙස්හි ‘වේහලිඞ්ග’ නම් වූ සමෘද්ධ වූ සැපත් පිරුණු බොහෝ ජනයා ඇති මිනිසුන් ගැවැසිගත් නිගමයෙක් වී. ආනන්‍දය, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ කාශ්‍යප බුදුහු වේහලිඞ්ග නිගමය නිසා වැඩවිසූහ. ආනන්‍දය, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ කාශ්‍යප බුදුහු මෙතැන්හි වැඩහිඳ බික්සඟනට ඔවා දෙන සේකැ’යි.
එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ සඟළ සිවුර සියුගුණ කොට පනවා භාග්‍යවතුන් වහන්සේට තෙල වදන් කීහ: “වහන්ස, එසේ වී නම් භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳුනා සේක්වා, මෙසෙයින් මෙ බිම්පෙදෙස අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ දෙදෙනකුන් විසින් පරිභෝග කරනලද වන්නේ යැ”යි. බුදුහු පැනවූ අස්නෙහි වැඩහුන් සේක. වැඩහිඳ බුදුහු ආයුෂ්මත් අනඳ තෙරුන් ඇමැතූසේක:
ආනන්‍දය, යටගිය දවස මෙ පෙදෙස්හි ‘වේහලිඞ්ග’ නම් වූ සමෘද්ධ වූ ඉතා සමෘද්ධ වූ බොහෝ ජනයා ඇති මිනිසුන්ගෙන් ගැවැසීගත් නිගමයෙක් වී. ආනන්‍දය, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ කාශ්‍යප බුදුහු වේහලිඞ්ග නිගමය නිසා විසූසේක. ආනන්‍දය, මෙතැන්හි අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ කාශ්‍යප බුදුනට අරාමයෙක් වී. ආනන්‍දය, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ කාශ්‍යප බුදුහු මෙහි වැඩහිඳ බික්සඟනට ඔවා දෙති.
ආනන්‍දය, වේහලිඞ්ග නම් නිගම ග්‍රාමයෙහි ඝටීකාර නම් කුම්භකාර අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හට උපස්ථායක වී, එ ද අග්‍රෝපස්ථායක යි. ආනන්‍දය, ඝටීකාර කුම්භකාරයාහට ජෝතිපාල නම් මණෙවු යහළු වී, එ ද ප්‍රියසහාය යි. ඉක්බිති ආනන්‍දය, ඝටීකාර කුම්භකාර තෙමේ ජෝතිපාල මණෙවු ඇමැතී: “යම්හ යහළු ජෝතිපාලයෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවතුන් වහන්සේ දක්නට එළැඹෙම්හ.
අර්‍හත් සම්‍යක් සම්බුද්ධ ඒ භගවත්හුගේ දැක්ම මා විසින් සාධු සම්මත වේ”යයි. ආනන්‍දයෙනි, මෙසේ කී කල ජෝතිපාල මාණවක ඝටීකාර කුම්භකාරහට තෙල බස් කී: “යහළු ඝටීකාරය, කම් නැත, දුටු ඒ මුඩුමහණහු විසින් කිනම් වැඩෙක් වේ දැ?”යි. ආනන්‍දයෙනි, දෙවනවට ද ... ආනන්‍දයෙනි, තුන්වනවට ද ඝටීකාර කුම්භකාර ජෝතිපාල මාණවකහට තෙල බස් කී: “යම්හ යහළු ජෝතිපාලයෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ දක්නා සඳහා එළැඹෙම්හ. අර්‍හත් සම්‍යක් සම්බුද්ධ ඒ භාග්‍යවතුන් දැක්ම මා විසින් සාධුසම්මත වේ”යයි. ආනන්‍දයෙනි, තුන්වනවට ද ජෝතිපාල මණෙවු ඝටීකාර කුම්භකාරයාහට තෙල බස් කී: “යහළු ඝටීකාරය, කම් නැත, දුටු ඒ මුඩුමහණහු විසින් කිනම් වැඩෙක් වේ දැ?”යි. යහළු ජෝතිපාලයෙනි, ඉදින් එසේ වී නම් නහනුවස් කළ කුරුඳුවැළ ගෙන නහනු සඳහා හොයට යම්හ. ආනන්‍දයෙනි, ජෝතිපාල මාණවක ‘යහළුව එසේ මැනැවැ’යි ඝටීකාර කුම්භකාරහට පිළිවදන් ඇස්වී. ඉක්බිති ආනන්‍දයෙනි, ඝටීකාර කුම්භකාර ද ජෝතිපාල මාණවක ද නාහන කුරුඳුවැළ ගෙන නහනු සඳහා හොයට ගියෝ.
ඉක්බිති ආනන්‍දයෙනි, ඝටීකාර කුම්භකාර තෙමේ දෝපල් මණෙවු ඇමැතී: “යහළු ජෝතිපාලයෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හුගේ මේ අරම නුදුරෙහි ඇත. යම්හ යහළු ජෝතිපාලයෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ දක්නට එළැඹෙම්හ. අර්‍හත් සම්‍යක් සම්බුද්ධ ඒ භාග්‍යවතුන් වහන්සේ දැක්ම මා විසින් සාධු සම්මත වේ”යයි.
ආනන්‍දයෙනි, මෙසේ කී කල්හි ජෝතිපාල මාණවක තෙමේ ඝටීකාර කුම්භකාරහට තෙලබස් කී: “යහළු ඝටීකාරය, පිළිකෙව් කරමි. දක්නා ලද ඒ මුඩු මහණහු විසින් කිනම් වැඩ වේ දැ?”යි. ආනන්‍දයෙනි, දෙවනවට ද ... ආනන්‍දයෙනි, තුන්වනවට ද ඝටීකාර කුම්භකාර තෙමේ දෝපල් මණෙවු හට තෙල බස් කී: “යහළු ජෝතිපාලයෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන්ගේ මේ අරම අසල ඇත. යම්හ යහළු ජෝතිපාලයෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන් දක්නා සඳහා එළැඹෙම්හ. අර්‍හත් සම්‍යක් සම්බුද්ධ ඒ භගවත්හුගේ දස්න මා විසින් සාධුසම්මත යැ”යි. ආනන්‍දයෙනි, තුන්වනවට ද ජෝතිපාල මාණවක තෙමේ ඝටීකාර කුම්භකාරහට තෙල බස් කී: “යහළු ඝටීකාරය, කම් නැත, දක්නා ලද ඒ මුඩු මහණහු විසින් කවර වැඩ වේ දැ?”යි.
ඒ සඳ ආනන්‍දය, ඝටීකාර කුම්භකාර තෙමේ හිඟ ඉණකඩ අත්ලා ගෙන තෙල බස් කී: “යහළු ජෝතිපාලයෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ ගේ මේ අරම අසලෙහි ඇත, යම්හ යහළු ජෝතිපාලයෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුබු බුදුන් දක්නට එළැඹෙම්හ. අර්‍හත් සම්‍යක් සම්බුද්ධ ඒ භාග්‍යවතුන් වහන්සේගේ දැක්ම මා විසින් සාධු සම්මත ය”යි.
ඉක්බිති ආනන්‍දයෙනි, ජෝතිපාල මාණවක තෙමේ හිඟ ඉණකඩ මුදාගෙන ඝටීකාර කුම්භකාරයාහට තෙල බස් කී: “යහළු ඝටීකාරය, පිළිකෙව් කරමි. දක්නා ලද ඒ මුඩුමහණහු විසින් කිමැ”යි.