2. 4. 8.
බාහිතික සූත්රය
මා විසින් මෙසේ අසනලද: එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු මහසිටුහු ගේ ජේතවන නම් අරම්හි වැඩ වසන සේක. එසඳ ආයුෂ්මත් අනඳ තෙරණුවෝ පෙරවරු වේලෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන සැවතෙහි පිඬු පිණිස පිවිසියහ. සැවතෙහි පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකියාහු පුවරම් නම් මුවරමාපහය කරා දිවාවිහාර සඳහා සඳහා එළැඹියහ.
එසමයෙහි පසේනදි කොසොල් රජ ‘ඒකපුණ්ඩරීක’ නම් ඇතු නැඟී දෙවෙන් දාවලැ සැවැතින් නික්මිණ. පසේනදි කොසොල්රජ වඩනා ආයුෂ්මත් අනඳ තෙරණුවන් දුරදී මැ දිට. ‘සිරිවඩු’ මහමැති ඇමැතී: “සගය සිරිවඩුවෙනි, තෙල ආයුෂ්මත් අනඳ තෙර වේ දැ” යි. “මහරජ, එසේ යැ. තෙල ආයුෂ්මත් අනඳ තෙර” යයි, එසඳ පසේනදි කොසොල් රජ එක්තරා පුරුෂයකු ඇමැතී: “එම්බා පුරුෂය, තෝ එව. ආයුෂ්මත් අනඳ තෙරණුවන් කරා එළැඹෙව, එළැඹ මා ගේ වචනයෙන් ආයුෂ්මත් අනඳ තෙරණුවන් ගේ දෙපා සිරසින් වඳුව: “වහන්ස, පසේනදි කොසොල් රජ ආයුෂ්මත් අනඳ තෙරණුවන් ගේ දෙපා හිසින් වඳිති කියව.” මෙසේත් කියව: “වහන්ස, ආයුෂ්මත් අනඳ තෙරණුවනට ඉදින් ලාහෙළා කළමනා කරණී නැත් නම් වහන්ස, ආයුෂ්මත් අනඳ තෙරණුවෝ අනුකම්පා පිණිස මොහොතක් බලන සේක්ව’යි. දේවයන් වහන්ස, එසේ යැ’යි කියා ඒ පුරුෂයා පසේනදි කොසොල් රජහට පිළිවදන් දී ආයුෂ්මත් අනඳ තෙරණුවන් කරා එළැඹියේ යි, එළැඹ ආයුෂ්මත් අනඳ තෙරණුවන් සකසා වැඳ එකත්පස් වැ සිටියේ යි. එකත්පස් වැ සිටි ඒ පුරුෂ ආයුෂ්මත් අනඳ තෙරණුවනට තෙල කී: “වහන්ස, පසේනදි කොසොල් රජ ආයුෂ්මත් අනඳ තෙරණුවන් ගේ දෙපා හිසින් වඳියි මෙසේත් කියයි: වහන්ස, ආයුෂ්මත් අනඳ තෙරණුවනට ඉදින් ආත්යායික කරණී නැත් නම් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ අනුකම්පා පිණිස මොහොතක් බලත්ව”යි. ආයුෂ්මත් අනඳ තෙරණුවෝත් තූෂ්ණීම්භාවයෙන් ඉවසූහ.
ඉක්බිති පසේනදි කොසොල් රජ නාගයා (ඇත්හු) යාහෙන භූමිය යම්තාක් ද එතෙක් නාගවාහනයෙන් ගොස් නාගවාහනයෙන් බැස පාගමන් ඇතියේ මැ ආයුෂ්මත් අනඳ තෙරණුවන් කරා එළැඹියේ. එළැඹ ආයුෂ්මත් අනඳ තෙරණුවන් සකසා වැඳ එකත්පස් වැ සිටියේ යි. එකත්පස් වැ සිටි පසේනදි කොසොල් රජ ආයුෂ්මත් අනඳ තෙරණුවනට තෙල කී: “වහන්ස, ඉදින් ආයුෂ්මත් අනඳ තෙරණුවනට කිසි ආත්යායික කරණී නැත් නම්, වහන්ස, ආයුෂ්මත් අනඳ තෙරණුවෝ අචිරවතී නදීතීරය කරා අනුකම්පා පිණිස වඩනා සේක් නම් මැනැවැ”යි. ආයුෂ්මත් අනඳ තෙරණුවෝ තූෂ්ණීම්භාවයෙන් ඉවසූහ.
ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ අචිරවතී නදීතීරය කරා එළැඹියහ. එළැඹ එක්තරා රුක්මුලෙක පැන්වූ අස්නෙහි වැඩ හුන්හ. ඉක්බිති පසේනදි කොසොල් රජ හස්තියානය යාහෙන භූමිය යම් තාක් ද එතෙක් හස්තියානයෙන් ගොස් හස්තියානයෙන් බැස පාගමන් ඇතියේ මැ ආයුෂ්මත් අනඳ තෙරණුවන් කරා එළැඹියේ යි. එළැඹ ආයුෂ්මත් අනඳ තෙරණුවන් සකසා වැඳ එකත්පස් වැ සිටියේ යි. එකත්පස් වැ සිටි පසේනදි කොසොල්රජ ආයුෂ්මත් අනඳ තෙරණුවනට තෙල කී: “වහන්ස, ආයුෂ්මත් අනඳ තෙරණුවෝ මේ ඇත්පලසෙහි හිඳුනා සේක්ව”යි. මහරජ, කම් නැත, තෙපි හිඳුව. මම සිය අස්නෙහි හුන්මි. පසේනදි කොසොල්රජ පැන්වූ අස්නෙහි හින. හිඳ පසේනදි කොසොල්රජ ආයුෂ්මත් අනඳ තෙරණුවනට තෙල කී:
“වහන්ස, ආනන්දයෙනි, කිමෙක ඒ භාග්යවතුන් වහන්සේ යම් කායසමාචාරයෙක් මහණබමුණන් විසින් පරිභාෂණ කළයුතු වේ නම්, එබඳු කායසමාචාරයක් කරන සේක් ද? මහරජ, ඒ භාග්යවතුන් වහන්සේ යම් කායසමාචාරයෙක් නුවණැති මහණබමුණන් විසින් උපාරම්භ කළ යුතු වේ නම් එබඳු කායසමාචාරයක් නො කරන සේක් මැ යැ.
වහන්ස, ආනන්දයෙනි, කිමෙක ඒ භාග්යවතුන් වහන්සේ යම් වාක්සමාචාරයෙක් ... යම් මනඃසමාචාරයෙක් මහණබමුණන් විසින් නිග්රහ කළයුතු වේ නම් එබඳු මනඃසමාචාරයක් කරන සේක් ද? මහරජ, ඒ භාග්යවතුන් වහන්සේ යම් මනඃසමාචාරයෙක් නුවණැති මහණබමුණන් විසින් නින්දා කළයුතු වේ නම් එබඳු මනඃසමාචාරයක් නො කරන සේක් මැ යැ.
වහන්ස, ආශ්චර්ය්ය යැ, වහන්ස, අද්භූත යැ, වහන්ස, අපි මුල කී යම් කරුණක් ප්රශ්න කිරීමෙන් සපුරාලන්නට නො හැකි වූමෝ ද, වහන්ස, මුල කී එ කරුණ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ විසින් ප්රශ්නව්යාකරණයෙන් පුරාලන ලද. වහන්ස, යම් බාල අව්යක්ත කෙනෙක් නුවණින් නො විමසා නුවණින් බැස නො ගෙන මෙරමා ගේ ගුණ හෝ අගුණ හෝ බෙණෙත් ද, අපි එය සාර විසින් නො පිළිගනුම්හ. වහන්ස, යම් ඒ පණ්ඩිත ව්යක්ත ප්රශස්තබුද්ධි ඇති කෙනෙක් නුවණින් දැන නුවණින් බැසගෙන පරාගේ ගුණ හෝ අගුණ හෝ බෙණෙත් ද, අපි එය සාර විසින් පිළිගනුම්හ.
වහන්ස, ආනන්දයෙනි, නුවණැති මහණබමුණන් විසින් නිග්රහ කළයුතු කායසමාචාර නම් කවරේ යැ?
මහරජ, යම් කායසමාචාරයෙක් අකුසල් වේ ද, එය යි.
වහන්ස, අකුශල කායසමාචාර නම් කවරේ යැ?
මහරජ, යම් කායසමාචාරයෙක් සාවද්ය වේ ද, එය යි.
වහන්ස, සාවද්ය කායසමාචාර නම් කවරේ යැ?
මහරජ, යම් කායසමාචාරයෙක් සදුඃඛ වේ ද, එය යි.
වහන්ස, සදුඃඛ කායසමාචාර නම් කවරේ යැ?
මහරජ, යම් කායසමාචාරයෙක් නිස්ස්යන්ද දුඃඛවිපාක වේ ද, එය යි.
වහන්ස, නිස්ස්යන්ද දුඃඛවිපාක කායසමාචාර නම් කවරේ යැ?