2. 4. 6.
අඞ්ගුලිමාල සූත්රය
මා විසින් මෙසේ අසනලද: එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල පසේනදි කොසොල් රජහුගේ විජිතයෙහි අඟුල්මල් නම් සොරෙක් ඇත. (හේ) දරුණුය. ලෙහෙ වැකුණු අත් ඇතියේ ය. මෙරමා පැහැරීම්හි හා මැරීම්හි බැස සිටියේය. සතුන් කෙරෙහි කරුණා නැත්තේ ය. උහු විසින් ගමුදු නොගම් කරන ලද. නියම්ගමුදු නො නියම්ගම් කරන ලද. දනවු දු නො දනවු කරන ලදි. හේ මිනිසුන් මර මරා අඟුල්මල් ධරයි. එසඳ භාග්යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන සැවැත් නුවර පිඬු පිණිස වැඩිසේක. සැවැතෙහි පිඬු පිණිස හැසිර පිණ්ඩපාතයෙන් වැළකිසේක් සෙනසුන් සඟවා තබා අඟුල්මල් සොරු බලා අදන්මඟට පිළිපන් සේක.
ගවයන් රක්නාහු සියුපාවුන් රක්නාහු සීසහන්නාහු ගමන් යන්නාහු අඟුල්මල් සොර සිටුනා අදන්මඟට පිළිපන් භාග්යවතුන් වහන්සේ දුටහ. දැක භාග්යවතුන් වහන්සේට තෙල කීහු: “මහණ ඒ මඟට නො යා, මහණ එමඟ අඟුල්මල් නම් සොරෙක, කැකුළු ය. ලෙහෙ මුසු අත් ඇත්තේ ය. පැහැරීම් මැරීම් දෙක්හි බැස සිටියේ ය. සතුන් කෙරෙහි කුළුණු නැතියේ ය. උහු විසින් ගම්හු දු නො ගම් කරන ලදහ, නියම්ගම්හුදු නො නියම්ගම් කරන ලදහ, දනවුහුදු නො දනවු කරන ලදහ. හේ මිනිසුන් මර මරා ඇඟිලි විද මාලා කොට ධරයි. මහණ, තෙල මගට පුරුෂයෝ දස දෙන දු විසි-තිස්-සතලිස්-පනස් දෙන දු වග වග වැ යෙති. ඔහුදු අඟුල්මල් සොරහුගේ අතැ නස්ති”යි. මෙසේ කී කල්හි බුදුහු නො බැණ නැඟී වැඩියෝ.
දෙ වන වට ද ගෙරින් රක්නාහු සියුපාවුන් රක්නාහු සීසහන්නාහු ගමන් යන්නාහු භාග්යවතුන් වහන්සේට තෙල කීහු: “මහණ, තෙල මඟට නො යා. මහණ, තෙල මඟ … අත්හි නසිති” යි. දෙ වන වට ද භාග්යවතුන් වහන්සේ නො බැණ නැඟී වැඩියෝ.
තුන් වන වට ද ගොන් රක්නාහු සියුපාවුන් රක්නාහු සහන්නාහු ගමන් යන්නාහු භාග්යවතුන් වහන්සේට තෙල කීහු: “මහණ, තෙල මඟට නො යා. මහණ තෙල මඟෙහි අඟුල්මල් නම් සොරෙක. කැකුළු ය, ලෙහෙ මුසු අත් ඇත්තේ ය, පැහැරීම් මැරීම්හි බැස සිටියේ ය, සතුන් කෙරෙහි දයා නැත්තේ ය. උහු විසින් ගම්හු නො ගම් කරන ලද හ, නියම්ගම්හු නො නියම්ගම් කරන ලදහ, දනවුහු නො දනවු කරන ලදහ. හේ මිනිසුන් මර මරා ඇඟිලි විදගෙන මාලා කොට ධරයි, මහණ, තෙල මඟට පුරුෂයෝ දස දෙන දු විසි-තිස්-සතලිස්-පනස් දෙන දු වග වග වැ යෙති. ඔහු දු අඟුල්මල් සොර අතැ නසිති”යි.
අඟුල්මල් සොර වඩනා බුදුන් දුරදී මැ දුට, දැක උහුට තෙල සිත් වී: “භවත්නි, ආශ්චර්ය්යයෙක් මැ ය, භවත්නි, අද්භූතයෙක් මැ ය. මේ මඟට පුරුෂයෝ දස දෙන දු විසි-තිස්-සතලිස්-පනස් දෙන දු වග වග වැ වදිත්. ඔහු දු මා අතැ නස්නාහ. වැළිත් මේ මහණ එකලා වැ අද්විතීය වැ අභිභවමින් මෙන් එයි. මම මේ මහණ දිවියෙන් තොර කෙරෙම් නම් මැනැවැ”යි.
එසඳ අඟුල්මල් සොර කඩුපළහ ගෙන දුනුහියවුරු බැඳ බුදුන් පස් පස් ලුහුබැඳ ගියේ. එසඳ භාග්යවතුන් වහන්සේ යම්සේ අඟුල්මල් සොර පියවි ගමනින් වඩනා බුදුන් බල පමණින් දිවෙනුයේ හඹා නො ගත හේ ද, එබඳු අධිෂ්ඨානයක් කළෝ. එසඳ අඟුල්මල් සොරහට තෙල සිත් වී: “භවත්නි, ආශ්චර්ය්ය මැ යැ, භවත්නි, අද්භූත මැ යි. මම පෙර දිවෙන ඇතු දු ලුහුබැඳ ගනිම් මැ ය. දිවෙන අසුදු ලුහුබැඳ ගනිම් මැ ය. දිවෙන රථ දු ලුහුබැඳ ගනිම් මැ ය. දිවෙන මුව දු ලුහුබැඳ ගනිම් මැ ය. එතෙකුදු වත් මේ මහණහු පියවිගමනින් යන්නහු බල පමණින් දිවෙනුයෙම් හඹා නො ගත හෙමි”යි සිටියේ භාග්යවතුන් වහන්සේ ට තෙල කී: “සිට මහණ, සිට මහණැ”යි. අඟුල්මල, මම සිටියෙමි, තො ද සිට’යි වදාළහ.
එසඳ අඟුල්මල් සොරහට තෙල සිත් වී: “මේ සැහැපුත් මහණහු සත්යවාදීහ. සත්යප්රතිඥා ඇතියහ. වැළිත් මේ මහණ යනුයේ මැ ‘අඟුල්මල, මම සිටියෙමි, තො ද සිටැ’යි යෙයි, මම මේ මහණ පුළුවුස්නෙම් නම් මනා මැ නු යි. එ සඳ අඟුල්මල් සොර භාග්යවතුන් වහන්සේට ගාථායෙන් කී:
“මහණ, යෙමින් සිටියෙමි’යි කියෙහි, සිටියා වූ මට ද නො සිටියෙහි”යි කියව. මහණ තෙල කරුණ තොප පුළුවුස්මි, තෙපි කෙසේ සිටියහු ද? මම් නො සිටියෙම් දැ?යි.
අඟුල්මල, මම හැමදා හැම සතුන් කෙරෙහි දඬු බැහැර තබා සිටියෙම් වෙමි. තෝ වනාහි සතුන් කෙරෙහි අසංයතයෙහි, එයින් මම සිටියෙම් වෙමි. තෝ නො සිටියෙහි යි.
දෙව්මිනිසුන් විසින් පූජිත මෙ මහර්ෂී මහණ බොහෝ කල් ඇවෑමෙන් මට වැඩ සඳහා මහවනයට වැඩියේ ය. මම තොප ගේ ධර්ම යුක්ත ගාථා අසා කල් ඇවෑමෙනුදු පව් හරනෙමි.
මෙසේ කියා මැ අඟුලුමල් සොර ඛඞ්ග හා තදන්ය ආයුධ අවට බුන් හෙබෙහි එක් පස බුන් ප්රපාතයෙහි පැළිගිය බිමෙහි හෙළාපී. (වෙනෙහි බැහී) සොර සුගතයන් වහන්සේ ගේ පා වැන්දේ යැ. එහි දී මැ උන් වහන්සේ අතින් පැවිදි යැදී.