2. 4. 5.
බෝධිරාජකුමාර සූත්රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ භගු රට සුංසුමාරගිර නුවර නිසා භේසකලාවන නම් මුවළැව් වැඩ වසනසේක. එසමයෙහි වනාහි බෝධිරාජකුමාරයාගේ ‘කොකනද’ නම් පහය අළුතැ කරවන ලදුයේ මහණක්හු විසින් වේවයි බමුණක්හු විසින් වේවයි මිනිස් වූ කිසිවක්හු විසින් වේවයි නො වසන ලද වෙයි. එකල්හි බෝධිරාජ කුමාර තෙම සඤ්ජිකාපුත්ර මාණවයා ඇමැතී: “එව යහළු සඤ්ජිකාපුත්රයෙනි, තෙපි බුදුන් කරා එළැඹෙව. එළැඹ මාගේ බසින් භාග්යවතුන් වහන්සේගේ පා සඟල සිරසින් වඳුව, අරෝග බව නිදුක් බව කයෙහි සැහැල්ලු බව කායබලය පහසුවිහරණ පුලුවුස්ව. ‘වහන්ස, බෝධිරාජකුමාර බුදුන්ගේ පාසඟළ සිරසින් වඳියි, අරෝග බව නිදුක් බව කයෙහි සැහැල්ලු බව කායබලය පහසුවිහරණ පුළුවුසී” යයි. මෙසේත් කියව: “වහන්ස, භාග්යවතුන් වහන්සේ සෙට බෝධිරාජ කුමරුගේ බත භික්ෂුසඞ්ඝයා හා සමග ඉවසන සේක්ව”යි. ‘එසේ යැ භවත්නි’යි සඤ්ජිකාපුත්ර මාණව බෝධිරාජකුමාරහට පිළිවදන් අස්වා භාග්යවතුන් වහන්සේ කරා එළැඹියේ යැ. එළැඹ භාග්යවතුන් වහන්සේ හා සමග සතුටු වී. සතුටුවියයුතු සිහිකටයුතු කථා කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් සඤ්ජිකාපුත්ර මාණව භාග්යවතුන්ට තෙල බස් සැලකෙළේ: “භවත් ගෞතමයන් වහන්ස, බෝධිරාජකුමාර භවත් ගෞතමයන්ගේ පාසඟුළුවන් මුදුනින් වඳියි. ආරෝග්යය නිදුක්බව කයෙහි සැහැල්ලුබව කායබල ඵාසුවිහරණ පුළුවුස්සි. මෙසේත් කියයි: “භවත් ගෞතමයන් වහන්සේ සෙට බෝධිරාජ කුමරුගේ බත භික්ෂුසඞ්ඝයා හා සමග ඉවසන සේක්ව” යි. බුදුහු තුෂ්ණීම්භාවයෙන් ඉවසූහ.
එසඳ සඤ්ජිකාපුත්ර මාණව භාග්යවතුන් වහන්සේගේ අධිවාසනය දැන හුනස්නෙන් නැඟී බෝධිරාජකුමරු වෙත එළැඹියේ ය. එළැඹ බෝධිරාජ කුමරුට තෙල බස් කී: “ඇපි භවතුන් ගේ වචනයෙන් ඒ භවත් ගෞතමයන්ට සැලකළම්හ: “භවත් ගෞතමයන් වහන්ස, බෝධිරාජකුමාර භවත් ගෞතමයන්ගේ පාසඟළ සිරසින් වඳියි, ආරෝග්යය නිදුක්බව කායලඝුත්වය කායබලය පහසුවිහරණ විචාරයි. මෙසේත් කියයි: “භවත් ගෞතමයන් වහන්සේ සෙට බෝධිරාජ කුමරුගේ බත බික්සඟන හා සමග ඉවසන සේක්ව” යි. වැළිත් ශ්රමණ ගෞතමයන් විසින් ඉවසන ලද ද වේ යයි.
එසඳ බෝධිරාජකුමාර එරැය ඇවෑමෙන් සිය නිවෙස්නෙහි ප්රණීත ඛාද්යභෝජ්යයන් පිළියෙළ කරවා කොකනද පහයත් හිණග (හිණිපාමුල) දක්වා හෙළ පිළී අතුරුවා සඤ්ජිකාපුත්ර මාණවයා ඇමැතී: “එව යහළු සඤ්ජිකාපුත්රයෙනි, තෙපි භාග්යවතුන් කරා එළඹෙව, එළඹ ‘වහන්ස, වඩනට කලි, බත නිමියේ යැ’යි භාග්යවත්නට කල් දන්ව”යි. ‘එසේ යැ භවත්නි’යි සඤ්ජිකාපුත්ර මාණව බෝධිරාජකුමරහට පිළිවදන් අස්වා භාග්යවතුන් කරා එළැඹියේ යැ. එළැඹ ‘වහන්ස, වඩනට කලි, බත නිමියේ යැ’යි භාග්යවත්නට කල් දැන්වී.
එසඳ බුදුහු පෙරවරු වේලෙහි හැඳපෙරෙවැ පාසිවුරු ගෙන බොධිරාජකුමරා ගේ නිවෙස්න කරා එළැඹියහ. එ වේලෙහි බෝධිරාජකුමාර බිහිදොරකොටුවෙහි භාග්යවතුන් එනු බලමින් සිටියේ වෙයි. බෝධිරාජකුමාර වඩනා භාග්යවතුන් දුරදී මැ දිට, දැක පෙරගමන් කොට භාග්යවතුන් වැඳ පෙරටු කොට කොකනද පහය කරා එළැඹියේ යැ.
එසඳ බුදුහු හිණිපාමුල නිසා වැඩසිටියහ. ඉක්බිති බොධිරාජකුමර භාග්යවත්නට තෙල බස් සැලකෙළේ: “වහන්ස, බුදුහු පියවිල්ලට නැඟෙනසේක්වා, සුගතයන් වහන්සේ පියවිල්ලට නැඟෙනසේක්වා, යම් හෙයෙකින් එය මට දිගුකලක් හිත පිණිස සුව පිණිස වේ ද, එහෙයිනැ”යි. මෙසේ කී කල්හි බුදුහු නිහඬ වූහ. දෙවනවට ද බොධිරාජකුමර භාග්යවතුන්ට තෙල බස් සැලකෙළේ: “වහන්ස, බුදුහු පියවිලියට නැඟෙනසේක්වා, සුගතයන් වහන්සේ පියවිලියට නැඟෙනසේක්වා, එය මට දිගුකලක් හිත පිණිස සුව පිණිස වේ” යයි. දෙවනවට ද බුදුහු නිහඬ වූහ. තුන් වනවට ද බෝධිරාජකුමර භාග්යවතුන්ට තෙල බස් සැලකෙළේ: “වහන්ස, බුදුහු පියවිලියට නැඟෙත්වා, සුගත්හු පියවිලියට නැඟෙත්වා, එය මට දිගුකලක් හිත සුව පිණිස වේ” යයි.
එසඳ බුදුහු ආයුෂ්මත් අනඳ තෙරුන් බැලූහ. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ බෝධිරාජකුමරහට තෙල බස් සැලකළහ: “රජකුමරුවෙනි, පියවිලි හකුළාලව බුදුහු පියවිලි නො ඇක්මෙති, තථාගතයෝ පශ්චිම ජනතාව බලති”යි. එසඳ බෝධිරාජකුමාර පියවිලි හකුළුවා කොකනද පහාහි මතුමහල්හි අසුන් පැනවී. ඉක්බිති බුදුහු කොකනද පහයට නැඟී පැනවූ අස්නෙහි භික්ෂුසඞ්ඝයා හා සමග වැඩ හුන්හ. ඉක්බිති බොධිරාජකුමර බුදුපාමොක් මහසඟන ප්රණීත ඛාද්යභෝජ්යයෙන් සියතින් සැතැප්වී, මොනොවට පැවැරී. ඉක්බිති බෝධිරාජකුමාර වළඳා නිමවූ පාත්රයෙන් බැහැර කළ අත් ඇති භාග්යවතුන් දැන එක්තරා මිටි අස්නක් ගෙන එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් බෝරජකුමර භාග්යවත්නට තෙල බස් සැලකළේ: “වහන්ස, මට මෙසේ සිත් වෙයි, ‘සුවයෙන් සුවය නො ලද හැක්ක. දුකින් මැ සුවය ලද හැක්කැ”යි.