2. 4. 3.
මඛාදේව සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මියුලුනුවර නිසා මඛාදේව නම් අඹඋයන්හි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ එක්තරා පියෙසෙක්හි සිනා පහළ කළ සේක. එසඳ ආයුෂ්මත් අනඳ තෙරුන්ට තෙල සිත් වී: “භාග්‍යවතුන් වහන්සේගේ සිනා පහළ කිරීමට හේතු කවරේ යැ, ප්‍රත්‍යය කවරේ යැ? නො කරුණෙහි තථාගතයෝ සිනා පහළ නො කෙරෙති”යි. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ සිවුරු එකස් කොට පෙරවැබුදුන් දෙසට ඇඳිලි බැඳ වැඳ භාග්‍යවත්නට තෙල බස් සැල කොළෝ: “භාග්‍යවතුන් වහන්සේ සිනා පහළ කිරීමට හේතු කවරේ යැ? ප්‍රත්‍යය කවරේ යැ? අකාරණයෙහි තථාගතයෝ සිනා පාළ නො කෙරෙති”යි.
ආනන්‍දය, පෙර වූ දැයක් කියමි: මෙ මැ මිථිලායෙහි ධාර්මික වූ ධර්‍මරාජන් වූ මඛාදේව නම් රජ කෙනෙක් වූහ. (දශකුශල කර්‍මපථ) ධර්‍මයෙහි සිටි මහරජ බමුණුගැහැවියන් කෙරෙහි දු නියම්ගම්වැසියන් කෙරෙහි දු දනවුවැසියන් කෙරෙහි දු සම වැ හැසිරෙයි. තුදුස්වක්හි දු පසළොස්වක්හි දු අටවක්හි දු පෙහෙවස් ද එළැඹෙයි.
එකල්හි ආනන්‍දය, මඛාදේව රජ බොහෝ වර්‍ෂශතසහස්‍රයන් ඇවෑමෙන් කපුවා ඇමැතී ය: “සගය කපුව, යම් දිනෙකැ මා හිස නර උපදනේ වේ ද, එසඳ මට සැල කරව”යි කී. ආනන්‍දයෙනි, ඒ කපු “දේවයෙනි, එසේ යැ”යි මඛාදේව රජුට පිළිවදන් දිනි. ආනන්‍දයෙනි, ඒ කපු වර්‍ෂශතසහස්‍රයන් ඇවෑමෙන් මඛාදේව රජුගේ හිසැ උපන් නර දිටී. දැක මඛාදේව රජුට තෙල කී: “දේවයන්හට දේවදූතයෝ පහළ වූහ, හිසෙහි උපන් පලිතයෝ පැනෙති”යි. “සගය කපුව, එ කරුණින් ඒ නර මොනොවට හඬුයෙන් උදුරා මා ඇඳිලියෙහි තබව”යි. ආනන්‍දයෙනි, ඒ කපුවා “දේවයෙනි, එසේ යැ”යි. මඛාදේව රජුට පිළිවදන් දී ඒ පලිතයන් මොනොවට අඬුයෙන් උදුරා මඛාදේව රජු ගේ ඇඳිලියෙහි තැබී.
ආනන්‍දය, මඛාදේව රජ කපුවාට ගම්වර දී දෙටුපුත් කුමරු අමතා තෙල බස් කී: “පුතැ කුමරුවෙනි, මට දේවදූතයෝ පහළ වූහ, හිසෙහි උපන් නර පැනෙයි, මා විසින් මානුෂකාමයෝ වළඳනලදහ, දිව්‍යකාම සොයන්නට කල් වෙයි. පුතැ කුමරුවෙනි, තෙපි එව, මේ රජය පිළිපදුව, මම වනාහි කෙහෙමස් බහා කසාවත් හැඳ පෙරෙවැ ගෙන් නික්ම පැවිද්දට පැමිණෙමි.
පුතැ කුමරුවෙනි, ඒ කරුණින් මැ තෙපි දු යම් දිනෙකැ හිසෙහි උපන් නර දක්නහු ද, එසඳ කපුවාට ගම්වර දී දෙටුපුත් කුමරු මොනොවට රජයෙහි ලා සමනුශාසනා කොට කෙහෙමස් බහා කසාවත් හැඳ පෙරෙවැ ගෙන් නික්ම පැවිද්දට පැමිණෙව, මා විසින් මේ කලණ වැටෙක් පිහිටුවන ලද ද, එය පවත්වා ලව. තෙපි මා ගේ අන්තිම පුරුෂ නො වව. පුතැ කුමරුවෙනි, යම් පුරුෂයුගයක් ඇති විට මෙ බඳු කලණ වට සිඳී යේ ද, හේ උන් ගේ අන්තිම පුරුෂ වෙයි. පුතැ කුමරුවෙනි, එහෙයින් මම තොපට මෙසේ කියමි: මා විසින් මේ කලණවැටෙක් පිහිටුවන ලද ද, එය පවත්වා ලව, තෙපි නහමක් මා ගේ අන්තිම පුරුෂ වව”යි.
ඉක්බිති ආනන්‍දයෙනි, මඛාදේව රජ කපුවාට ගම්වර දී දෙටුපුත් කුමරු රජයෙහි ලා සමනුශාසනා කොට මේ මුවදෙව් අඹවෙනෙහි මැ කෙහෙමස් බහා කහවත් හැඳපෙරෙවැ ගිහිගෙන් නික්ම පැවිද්දට වන. හෙ මෙත්සඟිය සිතින් එක් දිගක් පතුරුවා ගෙන විසී. එසේ දෙවන දිග ද එසේ තුන්වන දිග ද එසේ සතරවන දිග දැ’යි මෙසෙයින් උඩ යට සරස හැම තන්හි සර්‍වාත්මතායෙන් හැම ලොවැ විපුල මහද්ගත අප්‍රමාණ අවෛර අව්‍යාබාධ වූ මෛත්‍රී සහගත චිත්තයෙන් ස්පර්‍ශ කොට විසී. කරුණා සහගත සිතින් ... මෘදුතාසහගත සිතින් ... උපේක්‍ෂාසහගත සිතින් එක් දිගක් ස්පර්‍ශ කොට විසී. එසේ දෙවන දිග ද එසේ තුන්වන දිග ද එසේ සතරවන දිග දැ’යි මෙසෙයින් උඩ යට සරස හැම තන්හි සර්‍වාත්මතායෙන් හැම ලොවැ විපුල මහද්ගත අප්‍රමාණ අවෛර අව්‍යාබාධ වූ උපේක්‍ෂා සහගත චිත්තයෙන් ස්පර්‍ශ කොට විසී.
ආනන්‍දයෙනි, මඛාදේව රජ සූවාසුදහසක් හවුරුදු කුමර කෙළි කෙළියේ. සූවාසුදහසක් හවුරුදු යුවරජය කෙළේ. සූවාසුදහසක් හවුරුදු රජය කෙළේ. සූවාසුදහසක් හවුරුදු මේ මඛාදේව අඹවෙනෙහි මැ ගෙන් නික්ම ඍෂි ප්‍රව්‍රජ්‍යාවට පැමිණියේ බඹසර පිරී. හෙ සතර බඹවෙහෙර හවා කාබුන් මරණින් මතුයෙහි බඹලෝ කරා ගියේ වී.
ඉක්බිති ආනන්‍දයෙනි, මඛාදේව රජු පුත් බොහෝ වර්‍ෂශතසහස්‍රයන් ඇවෑමෙන් කපුවා ඇමැතී: “සගය කපුව, යම් දිනෙකැ මා හිසෙහි පලිතයෝ උපදිත් ද, එසඳ මට කියව”යි කී. ආනන්‍දයෙනි, ඒ කපුවා “දේවයෙනි එසේ යැ”යි මඛාදේවපුත්‍ර රජුට පිළිවදන් දිනි. ආනන්‍දයෙනි, ඒ කපුවා බොහෝ වර්‍ෂශතසහස්‍රයන් ඇවෑමෙන් මඛාදේවපුත්‍ර රජුගේ හිසෙහි පහළ වූ නරකෙස් දිටී. දැක මඛාදේවපුත්‍ර රාජයාහට තෙල බස් කී: “දේවයන්හට දේවදූතයෝ පහළ වූහ, හිසෙහි හටගත් පලිතයෝ පැනෙති”යි කී. “සගය කපුව, එහෙයින් ඒ පලිත මනාකොට අඬුවෙන් උදුරා මා ගේ කරපුටයෙහි තබව”යි. ආනන්‍දයෙනි, ‘දේවයෙනි, එසේ යැ’යි කපුවා මඛාදේවපුත්‍ර රාජයාහට පිළිවදන් දී ඒ නර මනාකොට අඬුවෙන් උදුරා මඛාදේවපුත්‍ර රජුගේ කරපුටයෙහි තැබී.