2. 4. 2.
රට්ඨපාල සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුරුජනපදයෙහි සැරි සරන සේක් මහත් වූ භික්‍ෂුසඞ්ඝයා හා සමග යම් තැනෙක්හි ථුල්ලකොට්ඨිත නම් කුරුජනපද වැසියන් ගේ නියම්ගමෙක් වී ද, එයට වැඩියහ. ථුල්ලකොට්ඨිත නියම්ගම් වැසි බමුණුගැහැවියෝ මෙ බස් ඇසූහ: “භවත්නි, ශ්‍රමණ ගෞතමයෝ ශාක්‍යපුත්‍ර වූ සේක් ශාක්‍යකුලයෙන් නික්ම පැවිදි වැ කුරුජනපදයෙහි සැරිසරන සේක් මහත් වූ භික්‍ෂු සඞ්ඝයා සමග ථුල්ලකොට්ඨිත නියම්ගමට පැමිණියහ. ඒ භවත් ගෞතමයන් ගේ මෙවන් කල්‍යාණ කීර්තිඝෝෂයෙක් උස් වැ නැගිණ: “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණිනුදු අර්‍හත් වන සේක. සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණසම්පන්නය, සුගතයහ, ලෝකවිදූහ, අනුත්තරපුරුෂදම්‍යසාරථීහ, දෙවිමිනිසුන්ට ශාස්තෘහ, බුද්ධයහ, භාග්‍යවත්හ” යි. උන් වහන්සේ මේ මරුන් සහිත බඹුන් සහිත සදේවක ලෝකය මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව තෙමේ වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙති. උන් වහන්සේ ආදිකල්‍යාණ වූ මාධ්‍යකල්‍යාණ වූ පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ අර්‍ත්‍ථ සහිත වූ ව්‍යඤ්ජන සහිත වූ දහම් දෙසති. සියල්ල පිරිපුන් පිරිසුදු බඹසර ප්‍රකාශ කෙරෙති. එබඳු රහතුන් ගේ දර්‍ශනය මනා වේ” යයි ඇසූහ.
ඉක්බිති ථුල්ලකොට්ඨිත නියම්ගම් වැසි බමුණු ගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හි ද එතැන්හි එළැඹියහ. එළැඹ ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වැඳ එකත්පස් වැ හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් හා සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස් වැ හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් දෙසට ඇඳිලි බැඳ එකත්පස් වැ හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් හමුයෙහි නම් (තමන්ගේ) නම් ගොත් අස්වා එකත්පස් වැ හුන්හ. ඇතැම් කෙනෙක් තුෂ්ණීම්භූත වැ එකත්පස් වැ හුන්හ. බුදුහු එකත්පස් වැ හුන් ථුල්ලකොට්ඨිත නියම්ගම් වැසි බමුණුගැහැවියන් දැහැමි කථායෙන් කරුණු දැක්වූහ. සමාදන් කරවූහ, තෙද ගැන්වූහ, සම්ප්‍රහර්‍ෂ කළහ.
එසමයෙහි එ මැ ථුල්ලකොට්ඨිත නියම්ගම්හි කුලදෙටුපුත් වූ රට්ඨපාල නම් කුලපුත්‍රයෙක් එ පිරිස්හි හුන්නේ වෙයි. එකල්හි රට්ඨපාල කුලපුත්‍රහට මෙවන් සිතෙක් වී: “බුදුහු යම් යම් සෙයෙකින් දහම් දෙසත් ද, ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්ත පරිපූර්‍ණ වූ ඒකාන්ත පරිශුද්ධ වූ මේ සඞ්ඛලිඛිත (ලියූ සකස් වැනි නොහොත් ශඞ්ඛ ලිඛිත දෙදෙනා පිළිබඳ වූ) බ්‍රහ්මචර්‍ය්‍ය කරන්නට සුකර නො වෙයි. මම් කෙස් රවුළු බහා කහවත් හැඳ පෙරෙවැ ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වන්නෙම් මැනැවැ” යි. ඉක්බිති ථුල්ලකොට්ඨිත නියම්ගම් වැසි බමුණුගැහැවියෝ භාග්‍යවතුන් විසින් දැහැමි කථායෙන් කරුණු දක්වන ලද්දාහු කරුණු ගන්වන ලද්දාහු තියුණු කරන ලද්දාහු සම්ප්‍රහර්‍ෂවත් කරන ලද්දාහු භාග්‍යවතුන් වහන්සේ ගේ භාෂිතයට සතුටු වැ අනුමෝදන් වැ හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වැඳ පැදකුණු කොට පිටත් වැ ගියහ. ඉක්බිති රට්ඨපාල කුලපුත්‍ර ථුල්ලකොට්ඨිතක
බමුණුගැහැවියන් නික්ම ගිය නොබෝ කල්හි භාග්‍යවතුන් කරා එළඹියේ යැ. එළැඹ භාග්‍යවතුන් වැඳ එකත්පස් වැ හින. එකත්පස් වා හුන් රට්ඨපාල කුලපුත්‍ර භාග්‍යවතුන්ට තෙල බස් කී: “වහන්ස, මම් භාග්‍යවතුන් විසින් යම් යම් සෙයෙකින් දෙසූ දහම් දනිම් ද, ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්ත පරිපූර්‍ණ වූ ඒකාන්ත පරිශුද්ධ වූ මේ සඞ්ඛලිඛිත බ්‍රහ්මචර්‍ය්‍ය කරන්නට සුකර නො වෙයි. වහන්ස, මම භාග්‍යවතුන් කෙරෙහි පැවිද්ද ලැබෙම්වා, උපසපුව ලැබෙම්ව”යි.
‘රට්ඨපාලයෙනි, තෙපි ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිද්දට මාපියන් විසින් අනුදත්තහු දැ?’ යි.
‘වහන්ස, මම් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිද්දට මාපියන් විසින් නො අනුදත්මි’යි.
‘රට්ඨපාලයෙනි, තථාගතයෝ මාපියන් විසින් නො අනුදත්තහු පැවිදි නො කෙරෙති’යි.
‘වහන්ස, යම්සේ ගිහිගෙන් නික්ම පැවිද්දට මාපියෝ අනුදනිත් නම් ඒ මම එසේ කරමි’යි.
ඉක්බිති රට්ඨපාල කුලපුත්‍ර හුනස්නෙන් නැගී බුදුන් වැඳ පැදකුණු කොට මාපියන් කරා එළැඹියේ යැ. එළැඹ මාපියනට තෙල බස් කී: “මෑණියෙනි, පියාණෙනි, යම් යම් සෙයෙකින් මම් භාග්‍යවතුන් විසින් දෙසූ දහම් දන්නෙම් ද, ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්ත පරිපූර්‍ණ වූ ඒකාන්ත පරිශුද්ධ වූ මේ සඞ්ඛලිඛිත බ්‍රහ්මචර්‍ය්‍ය කරන්නට සුකර නො වෙයි. මම් කෙස් රවුළු බහා කහවත් හැඳ පෙරෙවැ ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වන්නට කැමැත්තෙමි. මා ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වනු පිණිස අනුදත මැනැවැ”යි.
මෙසේ කී කල්හි රට්ඨපාල කුලපුත්‍රයන් ගේ මාපියෝ රට්ඨපාල කුලපුත්‍රහට තෙල බස් කීහු: “දරුව රට්ඨපාලයෙනි, තෙපි අපහට ප්‍රිය වූ මනවඩන සුවසේ පෝෂණය කල එක් මැ පුත් වව, දරුව රට්ඨපාලයෙනි, තෙපි කිසි දුකක් නො දන්නාහු යැ. එව දරුව රට්ඨපාලයෙනි, තෙපි කව බොව සිත් අලව. කමින් බොමින් සිත් අලවමින් කාමපරිභෝග කෙරෙමින් රමණය කරව (සිත් අලව). ඇපි තොපට ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිද්දට නො අනුදනුම්හ. තොප ගේ මරණයෙනුදු ඇපි නො කැමැත්තමෝ වෙන් වම්හ. කිම ඇපි තොප ජීවත් වන්නවුන් ගිහිගෙන් නික්ම සස්නට පිවිසෙනු පිණිස අනුදනුමෝ දැ?” යි.