2. 4. 10.
කණ්ණකත්ඵල සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ උජුකා රටැ කණ්ණකත්‍ථල නම් මුවළැව්හි වැඩ වසනසේක. එසමයෙහි පසේනදි කොසොල් රජ කිසි කටයුත්තෙකින් උජුකාවට පැමිණියේ වෙයි. එසඳ පසේනදි කොසොල් රජ එක්තරා පුරුෂයකු ඇමැතී: එම්බල පුරුෂය, තෝ එව. බුදුන් කරා එළැඹෙව, එළැඹ මාගේ වචනයෙන් බුදුන්ගේ පාසඟළ හිසින් වඳු. “වහන්ස, පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේ පාසඟළ හිසින් වඳියි. අල්පාබාධ බව නිදුක් බව සිරුරෙහි සැහැල්ලු බව කායබලය පහසුවිහරණ පුළුවුසී” යයි අල්පාබාධත්‍වය නිදුක් බව ශරීරයෙහි සැහැල්ලු බව කායබලය පහසුවිහරණ පුළුවුස. මෙසේත් කියව: “වහන්ස, අද පසේනදි කොසොල්රජ පසුබතැ. වැළඳූ පෙරවරුබත් ඇතියේ බුදුන් දක්නා සඳහා එළැඹේ”යයි. ‘දේවයිනි, එසේ යැ’යි ඒ පුරුෂයා පසේනදි කොසොල් රජහට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ. එළැඹ බුදුන් වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් ඒ පුරුෂයා භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ. වහන්ස, පසේනදි කොසොල්රජ භාග්‍යවතුන් වහන්සේගේ පාසඟළ හිසින් වඳියි. අල්පාබාධ බව නිදුක් බව සිරුරෙහි සැහැල්ලු බව කායබලය පහසුවිහරණ පුළුවුසි. මෙසේත් කියයි: “වහන්ස, පසේනදි කොසොල්රජ අද වැළඳූ පෙරවරුබත් ඇති වැ පසුබත්හි බුදුන් දක්නා සඳහා එළැඹේ”යයි.
සෝමා බුහුන ද සකුලා බුහුන ද “පසේනදි කොසොල් රජ අද වැළැඳූ පෙරවරුබත් ඇති වැ පසුබත්හි බුදුන් දක්නා සඳහා එළැඹෙති” ඇසූහු. එසඳ සෝමා බුහුන ද සකුලා බුහුන ද බත් වඩන තන්හි දී පසේනදි කොසොල් රජු කරා එළැඹ තෙල කීහු: “මහරජ එසේ හෙයින් අප ගේ වචනයෙනුදු භාග්‍යවතුන් වහන්සේ ගේ පාසඟළ හිසින් වඳිනු මැනැව, අල්පාබාධ නිරාතඞ්ක සැහැල්ලු පැවැතුම් කායබල පහසු විහරණ පිළිවිසිනු මැනැව: “සෝමා බුහුන ද සකුලා බුහුන ද භාග්‍යවතුන් වහන්සේගේ පාසඟුළුවන් හිසින් වඳිති, අල්පාබාධ නිරාතඞ්ක සැහැල්ලු පැවැතුම් කායබල පහසුවිහරණ පුළුවුසිත්” යයි.
ඉක්බිති පසේනදි කොසොල්රජ වැළැඳූ පෙරවරුබත් ඇති වැ පසුබත්හි භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ: “වහන්ස, සෝමා බුහුන ද සකුලා බුහුන ද භාග්‍යවතුන් වහන්සේ ගේ පාදයන් හිසින් වඳිති. නිරාබාධ නිරාතඞ්ක සැහැල්ලු පැවැතුම් කායබල පහසුවිහරණ පුළුවුසිත්. කිමෙක මහරජ සෝමා බුහුන ද සකුලා බුහුන ද අන්‍යදූතයකු නො ලද්හු දැ? යි.
වහන්ස, සෝමා බුහුන ද සකුලා බුහුන ද “අද පසේනදි කොසොල් රජ වැළැඳූ පෙරවරු බත් ඇති වැ පසුබත්හි බුදුන් දක්නට එළැඹේල”යි ඇසූහ. එසඳ වහන්ස, සෝමා බුහුන ද සකුලා බුහුන ද බත්වඩන තැන්හි මා කරා එළැඹ තෙල කීහු: එසේ වී නම් මහරජ, “වහන්ස, සෝමා බුහුන ද සකුලා බුහුන ද භාග්‍යවතුන් වහන්සේ ගේ පාසඟුළු හිසින් වඳිති, නිරාබාධ නිරාතඞ්ක සැහැල්ලු පැවැතුම් කායබල පහසුවිහරණ පුළුවුස්ති”යි අපගේ ද බසින් භාග්‍යවතුන්ගේ පාසඟුළු වඳුව, අල්පාබාධ අල්පාතඞ්ක ලඝුස්ථාන කායබල ඵාසුවිහරණ පුළුවුස්ව”යි කීහු.
මහරජ, සෝමා බුහුන ද සකුලා බුහුන ද සුවපත් වෙත්ව’යි.
ඉක්බිති පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට තෙල බස් සැලකෙළේ: “වහන්ස, මා විසින් තෙලෙ අසන ලද, ශ්‍රමණ ගෞතම මෙසේ කියයි: “යමෙක් සියල්ල දන්නේ සියල්ල දක්නේ නිරවශේෂ ඥානදර්‍ශනය පිළින කරන්නේ නම් එ බඳු මහණෙක් හෝ බමුණෙක් හෝ නැත. තෙල කරුණ විද්‍යමාන නො වේ” යයි. වහන්සේ, යම් කෙනෙක් මෙසේ කීහු නම්: “මහණ ගොයුම් මෙසේ කියයි: ‘යමෙක් සියල්ල දන්නේ සියල්ල දක්නේ නිරවශේෂ ඥානදර්‍ශනය පිළින කරන්නේ නම් එබඳු ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ නැත. තෙල කරුණ විද්‍යමාන නො වේ” යයි කීහු නම්, කිම වහන්ස, ඔහු භාග්‍යවතුන් විසින් කියූ දැයක් කියන්නාහු ද, භාග්‍යවත්නට අභූතයෙන් නො ද අභිභවා කියත් ද, වදාළ කාරණයට අනුකාරණයක් පවසත් ද, කිසි සකාරණ වාදානුවාදයෙක් නො ද ගැරහියයුතු තැනට ඒ දැ?යි.
මහරජ, යම් කෙනෙක් මෙසේ කීහු ද: “මහණ ගොයුම් මෙසේ කියයි: ‘යමෙක් සියල්ල දන්නේ සියල්ල දක්නේ නිරවශේෂ ඥානදර්‍ශනය පිළින කරන්නේ නම් එබඳු මහණෙක් හෝ බමුණෙක් හෝ නැත, තෙල කරුණ විද්‍යමාන නො වේ”යයි කීහු නම් ඔහු මට උක්තවාදී නො වෙති, වැළිත් ඔහු මට අසත්‍යයෙන් අභූතයෙන් අභිභවා කියති”යි.
එසඳ පසේනදි කොසොල් රජ විඩූඩභ සෙන්පතිහු ඇමැතී: “සෙන්පතිය, අද කවරෙක් නම් මේ කථාවස්තුව රාජාන්තඃපුරයෙහි පහළ කොට බිණී ද? මහරජ, ආකාශගෝත්‍ර සඤ්ජයබ්‍රාහ්මණ යි.
එසඳ පසේනදි කොසොල් රජ අන්‍යතර පුරුෂයකු ඇමැතී: එම්බා පුරුෂය, තෝ ඒ, මා බසින් අහස්ගොතු සඤ්ජය බමුණු කැඳව. වහන්ස, “පසේනදි කොසොල් රජ මුබ කැඳවති”යි. ‘දේවයෙනි එසේ යැ’යි ඒ පුරුෂයා පසේනදි කොසොල් රජුට පිළිවදන් දී අහස්ගොතු සඤ්ජය බමුණු කරා එළැඹියේ, එළැඹ අහස්ගොතු සඤ්ජය බමුණුට තෙල කී: “වහන්ස, පසේනදි කොසොල් රජ මුබ කැඳවති”යි.
ඉක්බිති පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ යැ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් අන් කිසි දැයක් මැ සඳහා වදාළ බසෙක් ඇද්ද, ජනයා එ බස අන් සැටියෙකින් වරදවා ගන්නේ යැ’යි.
මහරජ, බසක් කීයෙම් දනිම් මැ යැ.