4. 1. 6.
287. ගයාතීර්ත්ථසමීපයෙහි ගයඵල්ගු සඞ්ඛ්යාත උතුරුපල්නකත්හි මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් වී, යම් හෙයෙකින් උතුම් වූ දහම් දෙසන-
288. මහත් වූ ශරීරප්රභා හා ඥානප්රභා ඇති ගණාචාර්ය්ය වූ දෙවියන් සහිත ලෝකයාට අග්රප්රාප්ත වූ විනායක වූ පස්මරුන් දිනූ අසදෘශදර්ශන ඇති-
289.මහානාග වූ මහාවීර වූ මහත් ප්රතාප ඇති අනාස්රව වූ සියලු ආස්රවයන් ක්ෂය කළ කොයිනුත් බිය නැති ශාස්තෘ වූ සම්යක් සම්බුද්ධයන් දිටිම් ද එහෙයිනි.
290. ඒ භාග්යවත්හු ඒකාන්තයෙන් බොහෝ කලෙකසිට කිලිටි වූ දෘෂ්ටිබන්ධනයෙන් බැඳුණු සේනක නම් වූ මා සියලු ග්රන්ථයන්ගෙන් මුදාලූහ යි.
මෙසෙයින් ආයුෂ්මත් සෙකනස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
සේනක ස්ථවිරගාථා යි.
4. 1. 7.
291. යමෙක් විනයකුකුයින් ලැසි වැ සිටියයුතු කල්හි ලාහෙලා (ත්වරිත වැ) ක්රියා කෙරේ ද යළි ත්වරිත වැ ක්රියා කළ යුතු කල්හි ලැසි වේ ද අනුපායසංවිධානය හේතු කොටගෙන ඒ බාල තෙම දුකට පැමිණෙයි.
292. ඒ බාලයාගේ දෘෂ්ටධාර්මිකාදි අර්ත්ථයෝ අවපස සඳ සෙයින් පිරිහෙති. (හේ) අපකීර්ති ඇතිබවට ද පැමිණෙයි. මිත්රයින් හා සමග ද විරුද්ධ වේ.
293. යමෙක් ලැසි වියයුතු කල්හි ලැසි වේ ද යළි ත්වරිත වියයුතු කල්හි ත්වරිත වේ ද නුවණින් උපායසංවිධානය හේතු කොටගෙන ඒ පණ්ඩිත තෙම සැපයට පැමිණෙයි.
294. ඔහුගේ අර්ත්ථයෝ පුරපස සඳ සෙයින් පිරෙති. හෙතෙම යශසට හා කීර්තියට ද පැමිණෙයි. මිත්රයින් හා සමග ද විරුද්ධ නො වේ යයි.
මෙසෙයින් ආයුෂ්මත් සමභූතස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
සම්භූත ස්ථවිරගාථා යි.
4. 1. 8.
295-296. යම් හෙයෙකින් (මම්) බුදුන්ගේ පුත්රයෙම් ද යම් හෙයෙකින් සිව්සස් දහම්හි මඟනුවණැස් ඇතියෙම් ද යම් හෙයෙකින් මාගේ ආස්රවයෝ ක්ෂය වූහු ද යම් හෙයෙකින් පුනර්භවයක් නැතියෙම් ද අර්හත් දක්ෂිණාර්හ වෙම් ද ත්රිවිද්යා ඇතියෙම් අමෘතාධිගම කෙළෙම් ජාතිසම්පත් ප්රතිපත්තිසම්පත් යන දෙකින් මැ යුක්ත වූ මා “රාහුලභද්ර යයි විඥයෝ දනිත්.
297. තෘෂ්ණාජාලයෙන් සර්වප්රකාරයෙන් වැසුණු එහෙයින් මැ තෘෂ්ණා-ඡදනයෙන් සොයනලද කාමයෙහි අන්ධ වූවාහු මරහු විසින් කෙමින්මුවෙහි මසුන් මෙන් බඳනා ලදහ.
298. මම ඒ කාමය හැරපියා මාරබන්ධන සිඳ මුල් සහිත තෘෂ්ණාව උදුරාපියා සිහිල් වූයෙමි, නිවුණෙමි යි.
මෙසෙයින් ආයුෂ්මත් රාහුලභද්රස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
රාහුලභද්ර ස්ථවිරගාථා යි.
4. 1. 9.
299. රන්මුවා අබරණින් සැදුණු සිරුර ඇති දාසීගණයා විසින් පෙරටු කරනලද භාර්ය්යා තොමෝ ඇකයෙන් පුතු වඩාගෙන මා වෙත එළඹියා යැ.
300. සැරසුණු හන්පෙරෙවි මනා වස්ත්ර ඇති බහාලූ මාරපාශයක් වැනි එන්නා වූ සියපුතුගේ මෑණියන් වූ ඇය දැක.
301. එයින් මට යෝනිසෝමනසිකාර උපන, ආදීනව පහළ වී, නිර්වේදය උදාවී.
302. එයින් මාගේ සිත කෙලෙසුන් කෙරෙන් මිදිණ. ධර්මයාගේ සුධර්මතාව බලව, ත්රිවිද්යාවෝ ලබනලදහ, බුදුන්ගේ අනුශාසනය කරනලදැ’යි.
මෙසෙයින් ආයුෂ්මත් චන්දනස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
චන්දන ස්ථවිරගාථා යි.