4. චතුක්ක නිපාතය
4. 1. 1.
267. අබරණින් සැදුණු (හන්) මනා වස්ත්ර ඇති (පළන්) මල්දම් ඇති සඳුන් අලෙව් දුන් සිරුරු ඇති නළඟනක් මාවත මැද තූර්ය්යවාදනය කරන කල්හි නටයි.
268. පිඬු පිණිස පිවිසි මම යන්නෙම් අබරණින් සැදුණු මනා වස්ත්ර ඇති ඇය බහාලූ මාරපාශයක් මෙන් දිටිමි.
269. එයින් මට යෝනිසෝමනසිකාරය උපන. ආදීනව පහළ විය. නිබ්බිදාඤාණය එළැඹැ සිටියේ යැ.
270.එයින් මාගේ සිත (කෙලෙසුන්ගෙන් ) මිදිණ. ධර්මයාගේ සුධර්මත්වය බල.(මා විසින්) ත්රිවිද්යාවෝ ලබන ලදහ. බුදුසසුන කරනලදැයි.
මෙසෙයින් නාගසමාල ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
නාගසමාල ස්ථවිරගාථා යි.
4. 1. 2.
271. මම මිද්ධයෙන් මඩනාලද්දෙම් විහාරයෙන් සක්මනට නික්මුණෙමි. සක්මනට නැඟෙනුයෙම් එහි මැ බිම වැටිණිමි.
272. ඒ මම අවයවයන් පිරිමැදගෙන යළිදු සක්මනට නැඟැ සක්මන්මළුයෙහි සක්මන් කෙළෙමි, ගෝචර සඞ්ඛ්යාත අධ්යාත්මයෙහි මොනොවට සමාහිත වූයෙම් ද වෙමි.
273. එයින් මට යෝනිසෝමනසිකාරය උපන. ආදීනව පහල වී, නිර්වේදඥානය එළැඹැ සිටියේ යැ.
274. එයින් මාගේ සිත (කෙලෙසුන් කෙරෙන්) මිදිණ. ධර්මයාගේ සුධර්මත්වය බල, (මා විසින්) ත්රිවිද්යාවෝ ලබනලදහ. බුදුසසුන කරණ ලදැ යි.
මෙසෙයින් භගුස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
භගු ස්ථවිරගාථා යි.
4. 1. 3.
275. ‘අපි මේ විවාදයෙහි නැසෙම්හ’ යි අන්ධබාල වූ අන්යයෝ නො දනිති. යම් පණ්ඩිත කෙනෙක් එහිලා (ආදීනව) දනිත් නම් එයින් කලහයෝ සන්හිඳෙත්.
276. යම් කලෙකැ ආදීනව නො දන්නාහු වෙත් ද ඔහු ජරාමරණ නැතියවුන් මෙන් වෙසෙති. යම් කෙනෙක් ධර්මය දනිත් නම් ඔහු (කෙලෙසුන්ගෙන්) ආතුර වූවන් කෙරෙහි අනාතුර වෙත්.
277. යම්කිසි ලිහිල් වූ කුශලකර්මයෙක් වේ ද, කිලිටි වූ යම්කිසි ව්රතසමාදානයෙකුත් වේ ද සැකයෙන් සිහි කළයුතු බඹසරෙකුත් වේ ද ඒ මහත්ඵල නො වේ.
278. යමක්හු ගේ සබ්රම්සරුන් කෙරෙහි ගෞරවයෙක් නැද්ද හෙතෙම පොළොවට අහස මෙන් සද්ධර්මයෙන් දුරු වේ යයි.
මෙසෙයින් ආයුෂ්මත් සභියස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
සභිය ස්ථවිරගාථා යි.
4. 1. 4.
279. අසූචියෙන් පිරුණු දුඟඳ වැහෙන මාරපාක්ෂික වූ රාගයෙන් තෙත් වූ තැනැත්තිය,( තිට) නින්දා වේවා, යම් ද්වාර කෙනෙක් හැමදා වැගිරෙත් ද තීගේ කයෙහි එබඳු නව ශ්රෝතස්හු වෙත්.
280. පැරණි කෙළිසිනා නහමක් සිතව, තථාගතශ්රාවකයන් නහමක් ගටව. ඔවුහු ස්වර්ගයෙහි දු නො ඇලෙති. මානුෂසුඛයෙහි කියනු මැ කිම?
281. දුෂ්ප්රාඥ වූ වරදවා සිතනසුලු මෝහයෙන් වැසුණු යම් බාල කෙනෙක් ඇත් ද එබඳු වූ ඔහු මරහු විසින් බහාලූ ඒ පාශයෙහි රැඳෙත්.
282. යම් කෙනකුන් විසින් රාගයත් ද්වේෂයත් අවිද්යාවත් ප්රහීණ කරන ලද්දාහු ද තාදී වූ සිඳිනලද තෘෂ්ණාසුත්ර ඇති ක්ලේශබන්ධන රහිත වූ ඔහු එහි නො රැඳෙත් යයි.
මෙසෙයින් ආයුෂ්මත් නන්දක ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
නන්දක ස්ථවිරගාථා යි.
4. 1. 5.
283. පස්පනස්වසක් මුළුල්ලෙහි රජස්දැලි දැරීමි, මසකට වරක් (දිවග තැබීමෙන්) බත් බුදිනු වීමි, කෙහෙරවුළු උදුරාලීමි.
284. එක් පයින් සිටියෙමි, අසුන් හැරපීමි, වියළි අසූචි ද කෑයෙමි, නිමන්ත්රණ ද නො පිළිගතිමි.
285. මෙබඳු බොහෝ වූ දුගතිගාමී පව්කම් කොට මහත් වූ කාමාදි චතුරොඝයෙන් උල්පවනු ලබනුයෙම් බුදුන් සරණ කොට ගියෙමි.
286. (මාගේ) සරණගමනය බල, ශාසනධර්මයාගේ සුධර්මත්වය බල, තිවිද්යාවෝ ලබනලදහ. බුදුන්ගේ ශාසනය කරන ලදැ යි.
මෙසෙයින් ආයුෂ්මත් ජම්බුක ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
ජම්බුක ස්ථවිරගාථා යි.
4. 1. 6.
287. ගයාතීර්ත්ථසමීපයෙහි ගයඵල්ගු සඞ්ඛ්යාත උතුරුපල්නකත්හි මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් වී, යම් හෙයෙකින් උතුම් වූ දහම් දෙසන-
288. මහත් වූ ශරීරප්රභා හා ඥානප්රභා ඇති ගණාචාර්ය්ය වූ දෙවියන් සහිත ලෝකයාට අග්රප්රාප්ත වූ විනායක වූ පස්මරුන් දිනූ අසදෘශදර්ශන ඇති-
289.මහානාග වූ මහාවීර වූ මහත් ප්රතාප ඇති අනාස්රව වූ සියලු ආස්රවයන් ක්ෂය කළ කොයිනුත් බිය නැති ශාස්තෘ වූ සම්යක් සම්බුද්ධයන් දිටිම් ද එහෙයිනි.
290. ඒ භාග්යවත්හු ඒකාන්තයෙන් බොහෝ කලෙකසිට කිලිටි වූ දෘෂ්ටිබන්ධනයෙන් බැඳුණු සේනක නම් වූ මා සියලු ග්රන්ථයන්ගෙන් මුදාලූහ යි.
මෙසෙයින් ආයුෂ්මත් සෙකනස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
සේනක ස්ථවිරගාථා යි.