ථේරගාථා
නිදානගාථා
ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!
ගිරිගුහායෙහි නද දෙන, දළ ඇති සිංහයන් වැනි වැඩූ සිත් ඇති ආර්‍ය්‍යයන් තමන් පිළිබඳ වැ ගෙනහැර දැක් වූ ගාථාවන් අසවු.
(සුභූති ආදී) යම් යම් නම් ඇති (ගෞතම ආදි) යම් යම් ගෝත්‍ර ඇති යම් බඳු සමාපත්ති විහරණ ඇති, ශ්‍රද්ධා අධිමුක්ති ඇති, ත්‍රිහේතුක කර්‍මජ ප්‍රඥාවෙන් ප්‍රඥා ඇත්තෝ අනලස් වැ වාසය කළාහු ද,
ඔහු ඒ ඒ තන්හි විවසුන් වඩා නිවන්සුව ලැබ කෘතාන්ත සඞ්ඛ්‍යාත අග්‍රඵලය නුවණින් සලකා බලනුවෝ මේ (අත්තූපනායිකගාථා) අර්‍ත්‍ථය වදාළහ.
1. ඒකකනිපාතය
ප්‍රථම වර්‍ගය
1. 1. 1.
1. මා ගේ කුටිය සොයන ලද, (එහෙයින් මැ) සුව එළවයි, වාතපීඩා රහිත යැ, මේඝය, රිසිසේ වසිනු මැන. මා ගේ සිත මොනවට සමාහිත වූයේ යැ, (කෙලෙසුන් කෙරෙන්) වෙසෙසින් මිදුණේ යි, ආරබ්ධවීර්‍ය්‍ය ඇති වැ වෙසෙමි. මේඝය, (එහෙයින්) වසිනු මැන.
නොහොත් මා ගේ ආත්මභාවය සංවෘත යැ, එහෙයින් මැ සුඛප්‍රාප්ත යැ, නිහතමාන යැ, මේඝය, රිසිසේ වසිනු මැන, මා ගේ සිත මොනවට සමාහිත වූයේ යැ, විමුක්ත යැ, (මම) ආරබ්ධවීර්‍ය්‍ය ඇති වැ වෙසෙමි, මේඝය, (එහෙයින්) වසිනු මැන.
මෙසේ ආයුෂ්මත් සුභූති ස්ථවිරයන් වහන්සේ මේ ගාථාව වදාළහ.
සුභූති ස්ථවිරගාථා යි.
1. 1. 2.
2. සන්හුන් ඉඳුරන් ඇති පවින් වැළැකුණු නුවණින් පිරික්සා බණනසුලු උඩඟු නො වූ (කොට්ඨිත මහණ) පවන රුක්පතක් මෙන් පාපධර්‍මයන් දුරු කෙරේ.
මෙසේ මේ ගාථාව ආයුෂ්මත් මහාකොට්ඨිත ස්ථවිරයන් වහන්සේ වදාළහ.
මහාකොට්ඨිත ස්ථවිරගාථා යි.
1. 1. 3.
3. යම් කෙනෙක් තමන් වෙත පැමිණියවුන් ගේ සැක දුරලත් ද, නුවණ එළිය දෙන්නාහු වෙත් ද, පැණැස දෙන්නාහු වෙත් ද, මධ්‍යමරාත්‍රියෙහි ඇවිළෙන ගින්නක් බඳු වූ ඒ තථාගතවරුන් ගේ මේ ප්‍රඥාමහිමය බලනු මැනැවි.
මෙසේ මේ ගාථාව ආයුෂ්මත් කඞ්ඛාරේවත ස්ථවිරයන් වහන්සේ වදාළහ.
කඞ්ඛාරේවත ස්ථවිරගාථා යි.
1. 1. 4.
4. ප්‍රාඥ වූ යථාර්‍ත්‍ථය දක්නාසුලු වූ සත්පුරුෂයන් සමග මැ එක්වවු, අප්‍රමාද වූ විචක්‍ෂණ වූ ප්‍රාඥයෝ මහත් වූ ගැඹුරු වූ දුකසේ දැක්කයුතු වූ නිපුණ වූ සියුම් වූ අර්‍ත්‍ථය (සිව්සස්) අවබෝධ කෙරෙත්.
මෙසේ මේ ගාථාව ආයුෂ්මත් මන්තානිපුත්‍ර පුණ්ණ ස්ථවිරයන් වහන්සේ වදාළහ.
පුණ්ණ ස්ථවිරගාථා යි.
1. 1. 5.
5. දමනයට දුෂ්කර වූ යමෙක් ආර්‍ය්‍යමාර්‍ගයෙන් දෝහෝ නොහොත් පුරුෂදම්‍යසාරථීහු විසින් දමනය කරන ලද්දේ ද, භාග්‍ය වූ සන්තුෂ්ට වූ දුරු කළ සැක ඇති දිනනලද කෙලෙස් ඇති, පහ වූ බිය ඇති අචලස්වභාවයට පැමිණි ඒ ‘දබ්බ’ මහණ ක්ලේශපරිනිර්‍වාණෙයන් පිරිනිවියේ යි.
මෙසේ මේ ගාථාව ආයුෂ්මත් දබ්බස්ථවිරයන් වහන්සේ ...
දබ්බ ස්ථවිරගාථා යි.
1. 1. 6.
6. යම් මහණෙක් (විවේක සුව පතා) සීතවනයට පැමිණියේ ද ධෘතිමත් වූ ඒ මහණ හුදෙකලා වූයේ සතුටු වූයේ එකඟසිතැත්තේ කාගියාසී රක්නේ දිනනලද කෙලෙසුන් ඇත්තේ පහ වූ ලොමුදහ ඇත්තේ යි.
මෙසේ ... සීතවනවැසි සම්භූත ස්ථවිරයන් වහන්සේ ...
සම්භූත ස්ථවිරගාථා යි.
1. 1. 7.
7. මහත් වූ ඕඝය ඉතා දුඹුල් වූ නළ හෙයක් මෙන් යමෙක් (කාමාදි) මරසෙන් (අග්‍රමාර්‍ගයෙන්) දුරු කෙළේ ද, කෙලෙසුන් දිනූ පහ වූ බිය ඇති දැමුණා වූ (ක්ලේශපරිනිර්‍වාණයෙන්) පිරිනිවි හෙතෙම අකම්ප්‍ය වූ සිත් ඇත්තේ යි.
මෙසේ ... භල්ලිය ස්ථවිරයන් වහන්සේ ...
භල්ලිය ස්ථවිරගාථා යි.