4. 1. 7.
291. යමෙක් විනයකුකුයින් ලැසි වැ සිටියයුතු කල්හි ලාහෙලා (ත්වරිත වැ) ක්රියා කෙරේ ද යළි ත්වරිත වැ ක්රියා කළ යුතු කල්හි ලැසි වේ ද අනුපායසංවිධානය හේතු කොටගෙන ඒ බාල තෙම දුකට පැමිණෙයි.
292. ඒ බාලයාගේ දෘෂ්ටධාර්මිකාදි අර්ත්ථයෝ අවපස සඳ සෙයින් පිරිහෙති. (හේ) අපකීර්ති ඇතිබවට ද පැමිණෙයි. මිත්රයින් හා සමග ද විරුද්ධ වේ.
293. යමෙක් ලැසි වියයුතු කල්හි ලැසි වේ ද යළි ත්වරිත වියයුතු කල්හි ත්වරිත වේ ද නුවණින් උපායසංවිධානය හේතු කොටගෙන ඒ පණ්ඩිත තෙම සැපයට පැමිණෙයි.
294. ඔහුගේ අර්ත්ථයෝ පුරපස සඳ සෙයින් පිරෙති. හෙතෙම යශසට හා කීර්තියට ද පැමිණෙයි. මිත්රයින් හා සමග ද විරුද්ධ නො වේ යයි.
මෙසෙයින් ආයුෂ්මත් සමභූතස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
සම්භූත ස්ථවිරගාථා යි.
4. 1. 8.
295-296. යම් හෙයෙකින් (මම්) බුදුන්ගේ පුත්රයෙම් ද යම් හෙයෙකින් සිව්සස් දහම්හි මඟනුවණැස් ඇතියෙම් ද යම් හෙයෙකින් මාගේ ආස්රවයෝ ක්ෂය වූහු ද යම් හෙයෙකින් පුනර්භවයක් නැතියෙම් ද අර්හත් දක්ෂිණාර්හ වෙම් ද ත්රිවිද්යා ඇතියෙම් අමෘතාධිගම කෙළෙම් ජාතිසම්පත් ප්රතිපත්තිසම්පත් යන දෙකින් මැ යුක්ත වූ මා “රාහුලභද්ර යයි විඥයෝ දනිත්.
297. තෘෂ්ණාජාලයෙන් සර්වප්රකාරයෙන් වැසුණු එහෙයින් මැ තෘෂ්ණා-ඡදනයෙන් සොයනලද කාමයෙහි අන්ධ වූවාහු මරහු විසින් කෙමින්මුවෙහි මසුන් මෙන් බඳනා ලදහ.
298. මම ඒ කාමය හැරපියා මාරබන්ධන සිඳ මුල් සහිත තෘෂ්ණාව උදුරාපියා සිහිල් වූයෙමි, නිවුණෙමි යි.
මෙසෙයින් ආයුෂ්මත් රාහුලභද්රස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
රාහුලභද්ර ස්ථවිරගාථා යි.
4. 1. 9.
299. රන්මුවා අබරණින් සැදුණු සිරුර ඇති දාසීගණයා විසින් පෙරටු කරනලද භාර්ය්යා තොමෝ ඇකයෙන් පුතු වඩාගෙන මා වෙත එළඹියා යැ.
300. සැරසුණු හන්පෙරෙවි මනා වස්ත්ර ඇති බහාලූ මාරපාශයක් වැනි එන්නා වූ සියපුතුගේ මෑණියන් වූ ඇය දැක.
301. එයින් මට යෝනිසෝමනසිකාර උපන, ආදීනව පහළ වී, නිර්වේදය උදාවී.
302. එයින් මාගේ සිත කෙලෙසුන් කෙරෙන් මිදිණ. ධර්මයාගේ සුධර්මතාව බලව, ත්රිවිද්යාවෝ ලබනලදහ, බුදුන්ගේ අනුශාසනය කරනලදැ’යි.
මෙසෙයින් ආයුෂ්මත් චන්දනස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
චන්දන ස්ථවිරගාථා යි.
4. 1. 10.
303. සුචරිතධර්ම තෙම එකත්නෙන් එදහම් පිළිපදිනුවනු රක්නේ යැ. මොනොවට රැස් කළ එදහම සුව එළවයි. ධර්මය මොනොවට රැස් කළ කල්හි තෙල අනුසස් ඇත. ධර්මචාරී තෙම දුගතියට නොයන්නේ යැ.
304. ධර්මය අධර්මය යන දෙදෙන සමවිපාක ඇත්තාහු නො වෙති. අධර්මය නිරය කරා පමුණුවයි. ධර්මය සුගතියට පමුණුවයි.
305. එහෙයින් ධර්මයෙහි සිටි බුද්ධශ්රාවක වූ ධීරයෝ උතුම් සරණ ගියාහු නිවනට ගෙනයනු ලැබෙති. තාදීගුණ ඇති සුගතයන් හේතු කොටගෙන මෙසේ සතුටු වනුයේ ධර්මයෙහි ඡන්දය කරන්නේ යැ.
306. පඤ්චස්කන්ධ සඞ්ඛ්යාත ගණ්ඞයාගේ මූලය නසනලද, තෘෂ්ණාජාලය උපුටනලද. ඒ මම ගෙවනලද සසර ඇත්තෙමි. මට රාගාදි කිඤ්චනයෙක් නැත. (මහිකාදි) දෝෂ රහිත බැවින් පණුරැසි සඳ මෙනි යි.
මෙසෙයින් ආයුෂ්මත් ධම්මික ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
ධම්මික ස්ථවිරගාථා යි.
4. 1. 11.
307. යම් කාලෙක පිවිතුරු සුදුපියාපත් ඇති කෙකිනි කළුමෙකුළට බියෙන් තැතිගන්නාලද්දී සැඟවෙන තැන් සොයන්නී වාසස්ථානය කරා පලායන්නී ද එකල්හි අජකරණී නදිය මා සතුටු කෙරෙයි.
308. යම් කලෙක පිවිතුරු පඞෙරවන් වූ කෙකිනි කළුමෙකුළට බියෙන් තැතිගන්නාලද්දී තිලීයනස්ථාන නො දක්නී සැඟවෙන තැන් සොයන්නී ද එකල්හි අජකරණී නදිය මා සතුටු කෙරෙයි.
309. එහි මාගේ ලෙන පිටිපස ජම්බුවෘක්ෂයෝ දෙපස ගංඉවුරු හොබවති. ඒ වෘක්ෂයෝ එහි කවරක්හු නො පිනවත් ද,
310. සර්පසමූහයාගෙන් මොනොවට මිදුණු ගම්භීරනාද ඇති ඒ මඬියෝ නද දෙති. දැන් ගිරිනදින්ගෙන් වෙන් වැ විසියයුතු කාලය නො වෙයි. නිර්භය වූ අජකරණී නදිය භද්ර වූවා අතිශයින් සිත්කලු වූ යයි.
මෙසෙයින් ආයුෂ්මත් සප්පක ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
සප්පක ස්ථවිරගාථා යි.