3. 1. 16.
264. නිවන්සුව පතනුයේ පාපමිත්‍රයන් හැරදමා උත්තමපුද්ගලයන් සෙවුනේ යැ. ඔහුගේ අවවාදයෙහි ද සිටුනේ යැ.
265. කුඩා දඬුකඬකට නැඟ යම්සේ මහසයුරෙහි ගිලෙන්නේ ද, එසෙයින් කුසීතයා කරා පැමිණ මනාදිවිපෙවෙත් ඇත්තේ ද ගිලෙයි (පිරිහෙයි.)
266. එහෙයින් ඒ කුසීත වූ හිනවීර්‍ය්‍යය ඇත්තහු දුරලන්නේ යැ, කායවිවේකය ඇති ආර්‍ය්‍ය වූ නිවනට යැවූ සිත් ඇති ධ්‍යාන කරනසුලු වූ නිරතුරු රුකුළු වැර ඇති නුවණැතියන් හා එක් වැ වසන්නේ යි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් විමල ස්ථවිරයන් වහන්සේ ...
විමල ස්ථවිරගාථා යි.
උද්දානය:
නිකනිපාතයෙහි ගාථා ප්‍රකාශ කළ අඞ්ගණික, භාරද්වාජය, පච්චයය, බක්කුලය, ධනියය, මාතඞ්ගපුත්ත, (බුජ්ජ) සොහිතය, වාරණය, වස්සිකය, යසෝජය, සටිමත්තියය, උපාලිය, උත්තරපාලය, අභිභූතය, ගෝතමය, හාරිතය, විමලස්ථවිරය යයි සොළොස් තෙර කෙනෙක් වෙති, ගාථා අටසාළිසෙකි.
නිකනිපාතය නිමි.
4. චතුක්ක නිපාතය
4. 1. 1.
267. අබරණින් සැදුණු (හන්) මනා වස්ත්‍ර ඇති (පළන්) මල්දම් ඇති සඳුන් අලෙව් දුන් සිරුරු ඇති නළඟනක් මාවත මැද තූර්‍ය්‍යවාදනය කරන කල්හි නටයි.
268. පිඬු පිණිස පිවිසි මම යන්නෙම් අබරණින් සැදුණු මනා වස්ත්‍ර ඇති ඇය බහාලූ මාරපාශයක් මෙන් දිටිමි.
269. එයින් මට යෝනිසෝමනසිකාරය උපන. ආදීනව පහළ විය. නිබ්බිදාඤාණය එළැඹැ සිටියේ යැ.
270.එයින් මාගේ සිත (කෙලෙසුන්ගෙන් ) මිදිණ. ධර්‍මයාගේ සුධර්‍මත්‍වය බල.(මා විසින්) ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුසසුන කරනලදැයි.
මෙසෙයින් නාගසමාල ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
නාගසමාල ස්ථවිරගාථා යි.
4. 1. 2.
271. මම මිද්ධයෙන් මඩනාලද්දෙම් විහාරයෙන් සක්මනට නික්මුණෙමි. සක්මනට නැඟෙනුයෙම් එහි මැ බිම වැටිණිමි.
272. ඒ මම අවයවයන් පිරිමැදගෙන යළිදු සක්මනට නැඟැ සක්මන්මළුයෙහි සක්මන් කෙළෙමි, ගෝචර සඞ්ඛ්‍යාත අධ්‍යාත්මයෙහි මොනොවට සමාහිත වූයෙම් ද වෙමි.
273. එයින් මට යෝනිසෝමනසිකාරය උපන. ආදීනව පහල වී, නිර්වේදඥානය එළැඹැ සිටියේ යැ.
274. එයින් මාගේ සිත (කෙලෙසුන් කෙරෙන්) මිදිණ. ධර්‍මයාගේ සුධර්‍මත්‍වය බල, (මා විසින්) ත්‍රිවිද්‍යාවෝ ලබනලදහ. බුදුසසුන කරණ ලදැ යි.
මෙසෙයින් භගුස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
භගු ස්ථවිරගාථා යි.
4. 1. 3.
275. ‘අපි මේ විවාදයෙහි නැසෙම්හ’ යි අන්‍ධබාල වූ අන්‍යයෝ නො දනිති. යම් පණ්ඩිත කෙනෙක් එහිලා (ආදීනව) දනිත් නම් එයින් කලහයෝ සන්හිඳෙත්.
276. යම් කලෙකැ ආදීනව නො දන්නාහු වෙත් ද ඔහු ජරාමරණ නැතියවුන් මෙන් වෙසෙති. යම් කෙනෙක් ධර්‍මය දනිත් නම් ඔහු (කෙලෙසුන්ගෙන්) ආතුර වූවන් කෙරෙහි අනාතුර වෙත්.
277. යම්කිසි ලිහිල් වූ කුශලකර්‍මයෙක් වේ ද, කිලිටි වූ යම්කිසි ව්‍රතසමාදානයෙකුත් වේ ද සැකයෙන් සිහි කළයුතු බඹසරෙකුත් වේ ද ඒ මහත්ඵල නො වේ.
278. යමක්හු ගේ සබ්‍රම්සරුන් කෙරෙහි ගෞරවයෙක් නැද්ද හෙතෙම පොළොවට අහස මෙන් සද්ධර්‍මයෙන් දුරු වේ යයි.
මෙසෙයින් ආයුෂ්මත් සභියස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
සභිය ස්ථවිරගාථා යි.