3. තික නිපාතය
3. 1. 1.
219. අනුපායයෙන් (නොමගින්) සංසාරශුද්ධිය සොයන්නෙම් වෙනෙහි ගිනි පිදුයෙමි. ශුද්ධියට මාර්ගය නො දන්නෙම් (පඤ්චතාපනාදි) අමරතපස් කෙළෙමි.
220. ඒ නිවන් සුවය සුවසේ (සුඛප්රතිපදායෙන්) ලබනලදි. ශාසනධර්මයා ගේ සුධර්මත්වය (නෛර්ය්යාණිකභාවය) බලව. මා විසින් ත්රිවිද්යාව ලබනලද. බුදුරදුන්ගේ අවවාදය කරනලදි.
221. පෙර (ජාතිමාත්රයෙන් ප්රඥප්ති විසින්) බ්රාහ්මණ වෙමි. දැන් (බහිතපාපි වන බැවින් පරමාර්ත්ථ විසින්) බ්රාහ්මණ වෙමි. ත්රිවිද්යා ඇත්තෙම් වෙමි. (සෝදාහළ කෙලෙස්මල ඇති බැවින්) ස්නාතක ද වෙමි. සොත්ථිය ද වෙමි. වේද සඞ්ඛ්යාත මාර්ගඥානයෙන් සංසාරමහොඝයාගේ නොහොත් චතුස්සත්යයාගේ පාරයට ගිය බැවින් වේදගූ ද වෙමි යි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් අඞ්ගණිකභාරද්වාජ ස්ථවිරයන් වහන්සේ ...
අඞ්ගණිකභාරද්වාජ ස්ථවිරගාථා යි.
3. 1. 2.
222. මම පැවිදි වැ පස්දිනක් ඇතියෙමි. නො පත් අග්රමාර්ග ඇතියෙම් ශෛක්ෂ වීමි. විහාරයට (ඔවරකයට) පිවිසි මට චේතෝණිධියක් (ප්රාර්ත්ථනාවක්) වූ යැ:
223. ‘තෘෂ්ණාශල්යය නූපුළ කල්හි නො වළඳන්නෙමි, නො බොන්නෙමි, ඔවරකයෙන් නො නික්මෙන්නෙමි, දැළයෙන් එක් ඇළයකුදු නො හොවන්නෙමි’යි.
224. මෙසෙයින් වසන මා ගේ වීර්ය්යපරාක්රමය බලව, (මා විසින්) ත්රිවිදාව ලබනලද, බුදුරදුන්ගේ අවවාදය කරනලදැ යි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් පච්චය ස්ථවිරයන් වහන්සේ ...
පච්චය ස්ථවිරගාථා යි.
3. 1. 3.
225. යමෙක් පළමු කටයුතු දැය (නො කොට) පසුව කරනු කැමති වේ ද, හෙතෙම සුඛස්ථානයෙන් (ස්වර්ගයෙන් හා මෝක්ෂයෙන්) පිරිහෙයි, පසුතැවෙන්නේ ද වේ.
226. යමක් මැ කරන්නේ නම් එය මැ කියන්නේ යැ. යමක් නො කරන්නේ නම් එය නො කියන්නේ යැ. ඒ කියමින් නො කරන්නහුට නුවණැතියෝ බුහුමන් නො කෙරෙත්.
227. යම් තැනෙකැ සසරදුක නිරුද්ධ වේ නම් සම්බුදුන් විසින් දෙසන ලද ඒ ශෝක රහිත වූ රාගාදීරජස් රහිත වූ නිරුපද්රිත වූ නිවන එකත්නෙන් මනා සුවය වේ යයි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන් වහන්සේ ...
බක්කුල ස්ථවිරගාථා යි.
3. 1. 4.
228. ශ්රමණභාවයෙහි අපේක්ෂා ඇත්තේ ඉදින් සුවසේ ජීවත්වන්නට කැමැත්තේ නම් සඟසතු සිවුරු පැන් - බොජුන් අවමන් නො කරන්නේ යැ.
229. ශ්රමණභාවයෙහි අපේක්ෂා ඇත්තේ ඉදින් සුවසේ ජීවත්වනු කැමැත්තේ නම් මීයකු විසින් කණිනලද බිලය සෙවුනා සර්පයකු සෙයින් සෙනසුන සෙවුනේ යැ.
230. ශ්රමණභාවයෙහි අපේක්ෂා ඇත්තේ ඉදින් සුවසේ ජීවත්වනු කැමැත්තේ නම් යථාලබ්ධප්රත්යයෙන් තුටු වන්නේ යැ. එක් මැ අප්රමාදධර්මය වඩන්නේ යි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් ධනිය ස්ථවිරයන් වහන්සේ ...
ධනිය ස්ථවිරගාථා යි.
3. 1. 5.
231. ක්ෂණයෝ ‘මෙකල ඉතා සිහිලැ මෙකල ඉතා උණු යැ මෙකල ඉතා සවසැ’ යි හරනාලද කර්මාන්ත ඇති මිනිසුන් ඉක්මැ යෙත්.
232. යමෙකුත් සිහිල් කලත් උණුකලත් තණපතින් වැඩියක්කොට නො තකා ද, පුරුෂකෘත්යයන් කරන්නා වූ හෙතෙම සුවයෙන් නො පිරිහේ.
233. විවේකසුව වඩනුයෙම් හීතණ කුසතණ කටුපඳුරු (වැලුක්?) සුවඳහොට මුහුතණ බබුස්තණ උරයෙනුදු නෙරැපියන්නෙමි. (පයින් ඇක්මෙනු කියනු කිම්?)
මෙසේ මේ ගාථා ආයුෂ්මත් මාතඞ්ගපුත්ත ස්ථවිරයන් වහන්සේ ...
මාතඞ්ගපුත්ත ස්ථවිරගාථා යි.
3. 1. 6.
234. පැළලුප්නුවරවැසි චිත්රකථා ඇති බහුශ්රුත වූ යම් ශ්රමණ කෙනෙක් වෙද්ද, ඔවුනතුරෙහි අන්යතර වූ මේ ආයුෂ්මත් බුජ්ජසොහිත තෙර දොරටුවෙහි සිටී.
235. පැළලුප්නුවරවැසි චිත්රකථා ඇති බහුශ්රුත වූ යම් ශ්රමණ කෙනෙක් වෙත් නම් ඔවුනතුරෙහි අන්යතර වූ මේ ආයුෂ්මත් තෙමේ (ඍද්ධිචිත්තයෙන් උපන්) පවනින් ආයේ දොරටුවෙහි සිටී.
236. (තදඞ්ගවිෂ්කම්භණ විසින්) මනා වූ ක්ලේශයුද්ධයෙන් ද සත්ප්රාය වූ ධර්මදානයෙන් ද (සමුච්ඡේදප්රහාණ විසින්) ලබනලද ක්ලේශසඞ්ග්රාමිවිජයයෙන් ද පුහුණු කළ මඟබඹසරින් ද මෙසේ මේ තෙමේ (පලසමවත්) සුවවිඳී.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් බුජ්ජසෝභිත ස්ථවිරයන් වහන්සේ ...
බුජ්ජසෝභිත ස්ථවිරගාථා යි.