30. 1. 3.
1017. පිසුනු බස් ඇතියහු හා ද කිපෙනසුල්ලහු හා ද මසුරු බැව් ඇතියහු හා ද විනාශය හෝ වෙන් වීම කැමැත්තහු හා ද නුවණැත්තේ යහළු බව නොකරන්නේ ය. පාපපුද්ගලයා හා සඞ්ගමය ලාමක යි.
1018. සැදැහැ ඇතියහු හා ද සිල්වතා හා ද නැණවතා හා ද බහුශ්‍රැතයා හා ද නුවණැත්තේ යහළු බව කරන්නේ ය, සත්පුරුෂයා හා සඞ්ගමය සුන්‍දර යි.
1019. යම් ශරීරයක්හුගේ ධ්‍රැව (නිත්‍ය) භාවයෙක් ස්ථිතිභාවයෙක් නැත් ද (ඒ) වණ වූ ඇටසැකිල්ල විසින් ඔසවනලද ගිලන් වූ (බාලයන් විසින්) නොයෙක් අයුරින් සංකල්පනය කටයුතු වූ විසිතුරු කරනලද සිරුර බලව.
1020. මිණියෙන් ද කොඬොලින් ද විසිතුරු කරනලද, යටින් බඳනා ලද (තුන්සියයකට අධික) ඇට ඇති රූපය බලව, වස්ත්‍ර සහිත වැ හොබී.
1021. ලාරසින් රැඳු පාදයෝ සුවඳසුණු තැවැරූ මුව බාලයාගේ මුළාවට පමණි, පාරගවෙෂිහුගේ මුළාවට නො ද පමණි.
1022. කියඹුවැල් ද අඳුන් ඇඳි තෙත් ද බාලයාගේ මෝහයට පමණි, පාරගවෙෂිහුගේ මෝහයට නො ද පමණි.
1023. සිතියම් කළ අභිනව අඳුන්කොපුවක් මෙන් සරසන ලද කුණුකය බාලයාගේ මෝහයට පමණි, පාරගවෙෂිහුගේ මෝහයට නො ද පමණි.
1024. මුවවැදි මලපුඬුව දැමී යැ. මුවා පාශය නො ගැටී මුවවැද්දා හඬද්දී ගොදුරු කා යම්හ.
1025. මුවවැද්දාගේ පාශයෝ සිඳිනලදහ, මුවා පාශය නො ගැටී. මුවවැද්දා සොවිද්දී ගොදුරු කා යම්හ.
1026. බහුශ්‍රුත වූ චිත්‍රකර්‍ත්‍ථ වූ බුද්ධෝපස්ථායක වූ ගිලිහුණුබර ඇති පහ වූ සංයොග ඇති ගෞතමගෝත්‍ර ඇති ශ්‍රාවක ශයනය කෙරේ.
1027. ක්‍ෂීණාස්‍රව තෙමේ පහ වූ සංයොග ඇත්තේ ඉක්මැවූ (රාගාදි) සඞ්ග ඇත්තේ මොනවට නිවියේ ජාති - මරණ දෙක්හි පරතෙරට ගියේ අන්තිමදේහය දරයි.
1028. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුන්ගේ ධර්‍මයෝ යමකු කෙරෙහි පිහිටියාහු නම් ඒ මේ ගෞතම (ගෝත්‍ර ඇති ආනන්‍ද) තෙමේ නිවනට යන මඟැ සිටී.
1029. දෙයාසූදහසක් බුදුන් වෙතින් උගත්මි, දෙදහසක් භික්‍ෂූන් වෙතින් උගත්මි, මට යම් ධර්‍මස්කන්‍ධ කෙනෙක් ප්‍රගුණ වූවාහු නම් ඔහු සුවාසූදහසෙකි.
1030. මේ අල්පශ්‍රැත පුරුෂ තෙම ගොනකු මෙන් වැඩේ, ඔහුගේ මස්පිඬුහු වැඩෙත්, ඔහුගේ ප්‍රඥාව නො වැඩේ.
1031. යම් බහුශ්‍රැතයෙක් තම බහුශ්‍රුත කමින් අල්පශ්‍රැතයාහට අවමන් කෙරේ නම් ඔහු පහනක් ගත් අන්‍ධයකු මෙන් මට වැටහේ.
1032. බහුශ්‍රැතයා ඇසුරු කරන්නේ යැ. ඇසූ දැය ද නො නසන්නේ යැ, බ්‍රහ්මචර්‍ය්‍යාවට ඒ මුල් වෙයි, එහෙයින් ධර්‍මධරයෙක් වන්නේ යි.
1033. පූර්‍වාපරභාගයන් දන්නේ අර්‍ත්‍ථ දන්නේ නිරුක්තිපදයෙහි දක්‍ෂ වූයේ මැනවින් උගති, (අසනලද පිරිවහනලද ධර්‍මයාගේ) අර්‍ත්‍ථයත් විමසයි.
1034. (විමසූ ධර්‍මයෙහි) දෘෂ්ටිනිධ්‍යානක්‍ෂාන්තියෙන් (විදර්‍ශනාභිනිවේශයෙහි) කරනලද ඡන්‍ද ඇත්තේ වෙයි, උත්සාහ කොට ඒ නාම රූපය තුලනය කෙරේ, යොග්‍යසමයෙහි ප්‍රධන්වීර්‍ය්‍ය කරයි, අධ්‍යාත්මයෙහි සුසමාහිත වේ.
1035. ධර්‍මඥානය කැමැත්තේ එබඳු බහුශ්‍රුත වූ ධර්‍මධර වූ සප්‍රාඥ වූ ඒ බුද්ධශ්‍රාවකයා භජනය කරන්නේ යි.
1036. බහුශ්‍රුත වූ ධර්‍මධර වූ මහර්ෂීහු (බුදුන්) ගේ කොටුගේ (ධර්‍මරත්නය) රක්නා වූ සියලු ලෝකයාට ඇසක් වූ පිදියයුතු වූ-
1037. (සමථ විදර්‍ශනා) ධර්‍මයට නිවාස වූ ධර්‍මයෙහි ඇලුණා වූ ධර්‍මය මෙනෙහි කරන්නා වූ ධර්‍මය අනුස්මරණය කරන්නා වූ මහණ තෙම සද්ධර්‍මයෙන් නො පිරිහේ.
1038. කායමාත්සර්‍ය්‍යගරුකයා (ක්‍ෂණක්‍ෂණයෙහි) පිරිහෙන්නේ උත්‍ථානවීර්‍ය්‍යය නො කරන්නේ යැ. ශරීරසුඛයෙහි ගිජු වූවහුට ශ්‍රමණඵාසුතාවක් කොයින් ද?
1039. සියලු දිශාවෝ නො පැනෙත්, ධර්‍මයෝ මට නො වැටහෙත්, කලණමිතුරා (සැරියුත් තෙරුන්) පිරිනිවි කල්හි (ලොව) අඳුරක් මෙන් හැඟේ.
1040. පහ වැ ගිය කලණමිතුරන් ඇතියාහට, පළමු පිරිනිවි ශාස්තෲන් ඇතියාහට, කායගතාසතිය යම්සේ ද එබඳු මිතුරෙක් නැති.