3. 9.
වාසෙට්ඨ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ඉච්ඡානඞ්ගල නම් ගම්හි ඉච්ඡානඞ්ගල වනලැහැබ්හි වැඩ වසන සේක, එ සමයෙහි බොහෝ අභිඥාත වූ බ්‍රාහ්මණමහාසාරයෝ ඉච්ඡානඞ්ගලයෙහි වාසය කරති. උහු කවරහ යත්: චඞ්කී බ්‍රාහ්මණය, තාරුක්ඛ බ්‍රාහ්මණය, පොක්ඛරසාති බ්රාහ්මණය, ජානුස්සෝණී බ්‍රාහ්මණය, තෝදෙය්‍ය බ්‍රාහ්මණය, අන්‍යවූත් අභිඥාත බ්‍රාහ්මණ මහා සාරයෝ ය යන මොහු යි. එකල්හි ජඞ්ඝාවිහාර සඳහා ඔබ මොබ අනුචඞ්ක්‍රමණ කරණ අනුවිචරණ කරණ වාසෙට්ඨ, භාරද්වාජ බ්‍රාහ්මණ මාණවකයන් අතර මෙ අතුරු කථාව පහළ විය. “භවත්නි, කෙසේ බ්‍රාහ්මණ වේ ය”යි?
භාරද්වාජ මාණව මෙසේ කීය: යම් කරුණෙකින් මවුපසින් හා පිය පසින් හා දෙපසින් සුජාත වේද, සුපුරිසිදු මවුකුස් ඇතියේ ද, සත්මුතු පරපුර තෙක් (ජාතිගෝත්‍ර විසින්) අවඥාත නොවූයේ ද, ජාතිවාදයෙන් අනුපකෘෂ්ට වූයේ ද මෙ තෙක් කරුණින් බ්‍රාහ්මණ වේය”යි,
වාසෙට්ඨ මාණව මෙසේ කීය: “භවත්නි, යම්කරුණෙකින් සිල්වත් වේ ද, වත්සපන් වේ ද මෙතෙක් කරුණෙන් බ්‍රාහ්මණ වේය”යි. භාරද්වාජමානව වාසෙට්ඨ මාණවයාට කරුණු ගන්වන්නට නො මැ හැකි විය. වාසෙට්ඨමාණවයාත් භාරද්වාජ මාණව හට කරුණු හැඟැවිය නො හැකි මැ විය.
එකල්හි වාසෙට්ඨ මාණව භාරද්වාජ මානවයා ඇමතීය: “භාරද්වාජයෙනි, ශාක්‍යකුලයෙන් පැවිදිවූ මේ ශ්‍රමණ ගෞතම ශාක්‍ය පුත්‍ර ඉච්ඡානඞ්ගල ගම්හි ඉච්ඡානඞ්ගල වනලැහැබ්හි වැඩැ වෙසෙයි. එ භවත් ගෞතමයන්ගේ මෙවන් කලණ කිත් ගොසෙක් උස්ව නැංගේය. එ භවත් -පෙ- බුද්ධය, භාග්‍යවත්”හයි. භවත් භාරද්වාජයෙනි, යම්හ, ශ්‍රමණ ගෞතමයන් කරා එළැඹෙම්හ. එළැඹ මහණ ගොයුම්හුවෙතින් තෙල කරුණ අසා දැනුම්හ, ශ්‍රමණ ගෞතමයෝ යම් ලෙසකින් අපට විවරණ කරන්නාහු නම් එසෙයින් අසා ධරම්හ”යි. “භවත්නි, එසේය”යි භාරද්වාජ මාණව වාසෙට්ඨ මාණව හට පිළිවදන් ඇස් වීය.
එක්බිති වාසෙට්ඨ භාරද්වාජ මානවයෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු වූහ. සතුටු විය සිහිකටයුතු කථා කොට නිමවා එකත් පස්හි හුන්හ. එකත්පස්හි හුන් වාසෙට්ඨ මාණව භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කරුණු සැල කළේයැ:
597. අපි දෙදෙන (ගුරුන් විසිනුදු අප විසිනුදු) අනුඥාත ප්‍රතිඥාත ත්‍රිවිද්‍යා ඇතියම් හ. මම් පොක්ඛරසාතී ඇදුරුහුගේ දෙටු අතැවැසි යෙමි. මෙ මාණව තාරුක්ඛ ඇදුරුහුගේ දෙටු අතැවැසි වෙයි.
598. ත්‍රිවේදයන් පිළිබඳ යමක් උගන්වන ලද නම්, අපි එහි නිෂ්ඨාගතයම්හ. පදහදාරන්නමෝ වියරණ දතුවමෝ (වේද සඞ්ඛ්‍යාත) ජල්පයෙහි ආචාර්‍ය්‍ය සදෘශයම්හ.
599. ගෞතමයන් වහන්ස, එ අප දෙදෙන අතර ජාතිවාද නිමිත්තයෙන් විවාදැයෙක් ඇත. ඒ ජාතියෙන් බ්‍රාහ්මණ වේ යයි භාරද්වාජ බෙණෙයි, කර්‍මයෙන් බ්‍රාහ්මණ වෙතී මම් කියමි, චක්‍ෂූර්‍මතුන්වහන්ස, තෙල කරුණ මෙසෙයින් දැනගන්නා සේක්වා.
600. එ අපි දෙදෙන උනුන් ගිවිස්වන්නට නො හැකියම්හ. (එහෙයින් ) ‘සම්බුද්ධහ’යි විශ්‍රැත භාග්‍යවතුන් පුළුවුස්නට පැමිණියම්හ.
601. යම්සේ ජනයෝ (ක්‍ෂයාතීතවූ) පිරිපුන් සඳ දැක බදැඳිලි වෙත්ද: එසෙයින් ලොව්හි ගෞතමයන් ද වෙතැ පැමිණ වදනාහු නමදිත්.
602. අපි ලොව්හි උපන් නුවණැසවූ ගෞතමයන් පුළුවුසුම්හ: “ජාතිමාත්‍රයෙන් බ්‍රාහ්මණ වේද? නැතහොත් කර්‍ම හේතුයෙන් බ්‍රාහ්මණවේ? දැ”යි. යම් පරිද්දෙකින් අපි බ්‍රාහ්මණයා හඳුනමෝ නම්, එපරිද්දෙන් නොදන්නා අපට දන්වා වදාළ මැනැවි.
603. වාසෙට්ඨයෙනි, එ තොපට මම අනුපිළිවෙළින් ජාති විභාගය ඇති සැටියෙන් විවරණ කරන්නෙමි. ඒ ඒ ප්‍රාණීන්ගේ ජාතිහු අන්‍ය අන්‍ය (නානාප්‍රාර වූවාහු) මැ වෙත් යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
604. (පළමු මැ) තෘණ වෘක්‍ෂයන් (අනුපාදින්නක වස්තූන්) දනුව. ඔහු(අපි තෘණයම්හ, අපි වෘක්‍ෂයම්හ’යි) ප්‍රතිඥා නොකෙරෙති. ඔවුන්ගේ ලිඞ්ගය (සංස්ථානය) ජාතිමය වෙයි, (ඔවුන්ගේ) ජාතිහු නානාප්‍රකාර මැ වෙත්.
605. අනතුරුවැ සිනි කිහිඹින් හිම්කොට ඇති කෘමි පලඟැටියනු දු දනිවු. ඔවුන්ගේ ලිඞ්ගය ජාතිමය වෙයි, ජාතිහූ අන්‍යෝන්‍ය මැ වෙති.
606. කුදු මහත් සිවුපා සතුනුදු දනුව, ඔවුන්ගේ ලිඞ්ගය මැ ජාතිමය වෙයි, ජාතිහූ නානාප්‍රකාර වෙත්මැයි.