සූත්‍රනිපාතය
ඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
1. උරග වර්‍ගය
1. 1.
උරග සූත්‍රය
1. යම් මහණෙක් උපන් ක්‍රෝධය පැතිරැගිය සර්‍පවිෂ ඖෂධයෙන් නසාලන්නාක් සෙයින් දුරු කෙරේ ද එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරලන්නාක් මෙන් (පඤ්චෝරම්භාගිය සංයෝජන සඞ්ඛ්‍යාත) ඔරපාරය ඔරිමතීරය හැරැපියයි.
2. යම් මහණෙක් විලට බැස නෙලුම්මල් නෙළන්නාක් සෙයින් පඤ්චකාමගුණරාගය නිරවශේෂ කොට සිඳලන්නේ වේ ද, ඒ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරලන්නාක් මෙන් (පඤ්චෝරම්භාගිය සංයෝජන සඞ්ඛ්‍යාත) ඔරපාරය හැරැපියයි.
3. යම් මහණෙක් වෙළෙවි ව ගලාබස්නා හොයක් බඳු තෘෂ්ණාව නිඃශේෂ කොට වියළවා සිඳලන්නේ වේ ද එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරැලන්නාක් මෙන් (පඤ්චෝරම්භාගිය සංයෝජන සඞ්ඛ්‍යාත) ඔරපාරය හැරැපියයි.
4. යම් මහණෙක් මහවතුරෙක් ඉතාදුබල නළමුවා හෙයක් බිඳලන්නාක් සෙයින් (නවවිධ) මානය නිඃශේෂ කොට (රහත් මඟින්) නසාලන්නේ වේ ද එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරැලන්නාක් මෙන් ඔරපාරය හැරැපියයි.
5. යම් මහණෙක් මල් නෙළන්නකු දිඹුල්රුක්හි මල් නොලබන්නාක් මෙන් සෙයින් (කාමාදි) භවයෙහි සාරයක් නොලබන්නේ වේ ද එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරැලන්නාක් මෙන් ඔරපාරය හැරැපියයි.
6. යම් මහණක්හුගේ සිත්හි කෝප නැත් ද (ශාශ්වතාදි) ඉතිභවාභවතාව ඉක්මසිටියේ වේ ද එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරලන්නාක් මෙන් ඔරපාරය හැරැපියයි.
7. යම් මහණහුක් විසින් (කාමාදි) විතර්‍කයෝ නසන ලද්දාහු වෙත් ද, සිය සතන්හි එ හැම විතර්‍කයෝ මොනොවට සිඳින ලද්දාහු වෙත් ද, එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරැලන්නාක් මෙන් ඔරපාරය හැරැපියයි.
8. යම් මහණෙක් (අත්‍යාරබ්ධවීර්‍ය්‍ය වශයෙන්) අතිධාවන නො කරන්නේ නො පසුබස්නේ වේ ද (තෘෂ්ණාදි) මෙ හැම ප්‍රපඤ්චය සමතික්‍රමණ කෙළේ වේ ද එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරලන්නාක් මෙන් ඔරපාරය හැරැපියයි.
9. යම් මහණෙක් අවකාශලෝකයෙහි ලා මෙ හැම විතථ යයි දැන අතිධාවන නො කරන්නේ නො පසුබස්නේ වේ ද එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරලන්නාක් මෙන් ඔරපාරය හැරැපියයි.
10. යම් මහණෙක් මෙ හැම විතථ යයි දැන පහවගිය රාග ඇත්තේ අතිධාවන නො කරන්නේ නො පසුබස්නේ වේ ද එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරලන්නාක් මෙන් ඔරපාරය හැරැපියයි.
11. යම් මහණෙක් මෙ හැම විතථ යයි දැන පහවගිය ලෝභ ඇත්තේ අතිධාවන නො කරන්නේ නො පසුබස්නේ වේ ද, එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරලන්නාක් මෙන් ඔරපාරය හැරැපියයි.
12. යම් මහණෙක් (අත්‍යාරබ්ධවීර්‍ය්‍ය වශයෙන්) අතිධාවන නො කරන්නේ (කුසීතභාවයෙහි වැටෙමින්) නො පසුබස්නේ මෙ හැම ධර්‍මසමූහය විතථ යැයි දැනැ පැහූ ද්වේෂ ඇත්තේ වේ ද, එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරලන්නාක් මෙන් ඔරපාරය හැරැපියයි.
13. යම් මහණෙක් අතිධාවන නො කරන්නේ නො පසු බස්නේ මෙ හැම ධර්‍මසමූහය විතථ යැයි දැනැ පහකළ මෝහ ඇත්තේ වේ ද, එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරලන්නාක් මෙන් ඔරපාරය හැරැපියයි.
14. යම් මහණක්හට කිසිදු අනුශය කෙනෙක් නැත් ද, මූල නම් ලත් අකුශලයෝ ද නසන ලද්දාහු වෙත් ද, එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරලන්නාක් මෙන් ඔරපාරය හැරැපියයි.