3. 6.
සභිය සූත්රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වේළුවනයෙහි වැඩ වසන සේක. එකල්හි සභිය නම් පරිව්රාජකයාගේ පැරැණි සහලේ නෑවූ දෙවියකු විසින් පැන උදෙසන ලද වෙයි. “සභිය, යම් මහණෙක් වේවයි බමුණෙක් වේවයි තා විසින් මෙ පැන පුළුවුස්නා ලදුයේ විවරණ කෙරේ නම්, උහු හමුයෙහි බඹසර වස”යි.
එක්බිති සභිය පිරිවැජි ඒ දෙවි වෙතැ පැන උගෙන පූරණ කස්සපය, මක්ඛලි ගෝසාලය, අජිත කේසකම්බලය, පකුධ කච්චායනය, සඤ්ජය බෙල්ලට්ඨිපුත්ත්රය, නිගණ්ඨනාථපුත්ත්රය යන මෙබඳු ශිෂය සඞ්ඝයාගෙන් යුක්ත වූ ගණයා ඇති ගණාචාර්ය්ය වූ අභිඥාත වූ යශස් වී වූ දෘෂ්ටිතීර්ත්ථකර වූ බහුජනයා විසින් සත්පුරුෂය යි සම්මත වූ යම් මහණ බමුණෝ වෙත් නම්, ඔවුන් වෙත් ගොස් එ පැන පුළුවුස්සි. සභිය පිරිවැජි විසින් පැන පුළුවුස්නා ලද ඔහු නො සපයත්. නො සපයන්නාහු කෝප හා ද්වේෂ හා දොම්නස් හා පාළකරත්. වැලිත් සභිය පිරිවැජි ම ප්රතිපෘච්ඡා කරත්. එක්බිති සභිය පිරිවැජි හට තෙල සිත් විය: “පූරණ කස්පය -පෙ- නිගණ්ඨනාථපුත්තය යන යම් ශිෂ්ය සඞ්ඝයාගෙන් සපන් වූ ගණයා ඇති ගණැදුරු වූ විශ්රැත වූ යශස්වී වූ තීර්ත්ථකර වූ බොහෝ දෙනා විසින් සාධුසම්මත වූ භවත් මහණ බමුණෝ ඇත් නම්, ඔහු මා විසින් පැන පුළුවුස්නා ලද්දාහු පිළිතුරු නො සපයත්. නො සපයන්නාහු කෝප හා ද්වේෂ හා අප්රත්යය හා පාළ කෙරෙත්. වැලිදු මා මැ පුළුවුස්ති. මම ගිහී භාවයට පෙරැළී කම්සුව වළඳනෙමි මැනැවැ”යි.
එක්බිති සභිය පිරිවැජිහට තෙල සිත් විය: “මේ ශ්රමණ භවත් ගෞතමයෝත් ශිෂ්ය සඞ්ඝයා ඇතියාහු ගණයා ඇත්තාහු ගණැදුරු වූවාහු විශ්රැත වූවාහු යශස්වී වූවාහු තීර්ත්ථකර වූවාහු බොහෝ ජනයා විසින් සාධු සම්මතයහ. මම ශ්රමණ ගෞතමයන් කරාත් ගොස් මෙ පැන පුළුවුස්නෙම් මැනැවැ”යි.
ඉක්බිති සභිය පරිව්රාජකහට තෙල සිත් විය: පූරණ කස්සපයැ,-පෙ- නිගණ්ඨනාථපුත්තය යන මෙ බඳු යම් ඒ ජරාජීර්ණ වූ අඞ්ගප්රත්යඞ්ග වෘද්ධිමර්ය්යදාවට පත්, ජාතිමහල්ලකතායෙන් සමන්වාගත, දෙතුන් රාජපරිවෘත්තයන් ඉක්ම ගිය, පැසුළු විය පත්, ස්වකීය ශ්රමණධර්මයෙහි තෙර බවට පත්, චිරරාත්රඥ වූ, පැවිදියෙන් බොහෝ කල්ගිය, ශිෂ්යගණයා ඇති, ගණයා ඇති කරණ, ගණැදැරු වූ, ඥාතෘ වූ, යශස්වී වූ, තීර්ත්ථකර වූ බහුජනයා විසින් සාධු සම්මත වූ මහණ බමුණෝ වෙත් නම්, ඔහුදු මා විසින් පැන පුළුවුස්නාලද්දාහු පිළිතුරු නොසපයත්. නොසපයන්නාහු කෝප හා ද්වේෂ හා අප්රත්යය හා පාළ කෙරෙත්. වැලිත් මා මැ එකරුණෙහි ප්රතිපෘච්ඡා කරත්. මා විසින් මෙ පැනපුළුවුස්නා ලද ශ්රමණ ගෞතමයෝ කවර නම් විසැඳුමක් කරත් ද? ශ්රමණගෞතමයෝ ජාතියෙන් දහරයහ. පැවිද්දෙන් නවකයහ”යි. එකල්හි සභිය පරිව්රාජකහට මෙසිත් විය: “මහණ දහර වුව, හේ මහ ඉදු ඇතියේ මහානුභාව ඇතියේ ය. මහණ වනාහි දහර යයි පරිභව නො කටයුතු වෙයි. මම මහණ ගොයුම් කරා ගොස් මෙ පැන පුළුවුස්නෙම් මැනැවැ”යි.
එක්බිති සභිය පිරිවැජි රජගහ බලා චාරිකාවට නික්ම ගියේය. අනුපිළිවෙළින් සැරිසරන්නේ රජගහ නුවර කලන්දක නිවාප නම් වේළුවනය කරා ගොස් භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළැඹ භාග්යවතුන් වහන්සේ හා සමග සතුටු විය. සතුටුවියයුතු සිහිකටයුතු කථා කොට නිමවා එකත්පසෙක හින. එකත්පසෙක හුන් සභිය පරිව්රාජක භාග්යවතුන් වහන්සේට ගාථායෙන් කරුණු ගන්වා කීය:
513. ප්රශ්නව්යාකරණකාඞ්ක්ෂා ඇතියෙම්, ප්රශ්නාර්ත්ථයෙහි විචිකිත්සා ඇතියෙම්, පැන පුළුවුස්නට කැමැතියෙම් පැමිණියෙම්. පුළුවුස්නාලද භාග්යවතුන් වහන්සේ ඔවුන්ගේ අන්තය කරණසේක් මැ මට අනුපිළිවෙලින්අර්ත්ථානුරූප පාළිය විවරණ කළමැනැවැයි සභිය කීය.
514. “සභිය, දුරැ සිට (තෝ) පැන පුළුවුස්නට කැමැති ව ආයෙහි ය. (තා විසින්) පුළුවුස්නාලද්දෙම් ඒ ප්රශ්නයන්ගේ පර්ය්යවසාන කරම්. පැන පිළිවෙළින් අර්ත්ථරූප ධර්මය තොපට විවරණ කරන්නෙමි”යි භාග්යවතුන් වහන්සේ වදාළ සේක.
515. සභිය, සිතින් යම් මැ කිසිවක් කැමැතියෙහි නම්, එ පැන මා පුළුවුස්ව, මම තොපට එ එ ප්රශ්නාගේ පර්ය්යවසානය කරන්නෙම්.
එකල්හි සභිය පිරිවැජිහට තෙල සිත් විය: “භවත්නි, එකැතියන් අසිරියෙකි. භවත්නි, එකැති යෙන් නො වූ විරූයෙකි. අන් මහණ බමුණන් වෙතැ මම එකැතින් යම්බඳු අවකාශමාත්රයකුදු නොලදිම් ද, මට ඒ අවසරය ශ්රමණ ගෞතමයන් වහන්සේ විසින් දෙන ලද වේ ය”යි ආරාධිත සිත් ඇත්තේ ප්රමුදිත වූයේ ඔද වැඩි සිතැතියේ හටගත් ප්රීතිසොම්නස් ඇත්තේ භාග්යවතුන් වහන්සේ ගෙන් පැන පිළිවිසි.