3. 7.
සේල සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අඞ්ගුත්තරරාජ දනවුයෙහි සැරිසරණ සේක් අඩ තෙළෙස් යල් සියක් මහණුන් ඇති මහ බික් සඟුන් සමග අඞ්ගුත්තරාපයන්ගේ ආපණ නම් නියම් ගමට වැඩි සේක. කේණිය ජටිල මෙ බස් ඇසී: “ශාක්‍ය කුලයෙන් (නික්මැ) පැවිදි වූ ගෞතම ශ්‍රමණශාක්‍ය පුත්‍රයෝ අඞ්ගුත්තරාප දනවුයෙහි සැරිසරන්නාහු අඩ තෙළෙස් යල් සියක් මහණුන් ඇති බික්මහසඟුන් හා කැටිව ආපණයට පැමිණියහ. ඒ භවත් ගෞතමයන් වහන්සේගේ මෙබඳු කලණ කිත් ගොස මෙසේ පැන නැංග: ‘එ භවත්හු මෙ කරුණෙන් ද අර්‍හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණ සම්පන්නයහ, සුගත්හ, ලෝකවිද්හ, අනුත්තර පුරුෂදම්‍යසාරථිහ, දේව මනුෂ්‍යයනට ශාස්තෘහ, බුද්ධහ, භාග්‍යවත්හ’යි මෙසේ උස්ව නැංගේය. හේ දෙවියන් සහිත මරුන් සහිත, බඹුන් සහිත මේ ලෝකය, මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත සත්ත්‍වාඛ්‍යප්‍රජාව තෙමේ විශිෂ්ට ඥානයෙන් සාක්‍ෂාත් කොට ප්‍රකාශ කෙරෙයි. හේ ආදි කල්‍යාණ වූ මධ්‍යකල්‍යාණ වූ පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ සාර්‍ත්‍ථ කොට සව්‍යඤ්ජන කොට ධර්‍මය දේශනා කරයි. කේවල පරිපූර්‍ණ පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය පවසයි. එබඳු වූ රහතුන්ගේ දර්‍ශනය මනා වේ මැ”යි.
ඉක්බිති කේණිය ජටිල භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු, සිහිකට යුතු කථාව කොට නිමවා එකත්පසෙක හින. එකත් පසෙක හුන් කේණිය ජටිලයන් භාග්‍යවතුන් වහන්සේ දැහැමි කථායෙන් මොනොවට දැක්වූහ. සමාදන් කරවූහ. මැනවින් උත්තේජිත කරවූහ, සම්ප්‍රහර්‍ෂිත කරවූහ.
එක්බිති කේණිය ජටිල භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථායෙන් සන්‍දර්ශිත වූයේ සමාදන් කරවන ලදුයේ සමුත්තේජිත වූයේ සම්ප්‍රහර්‍ෂිත වූයේ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළ කෙළේය: භවත් ගෞතමයෝ සෙට දවසට බික්සඟුන් හා සමග මාගේ ඉවසත්වා යි. මෙසේ කියන ලද භාග්‍යවතුන් වහන්සේ කේණිය ජටිලයන් හට තෙල කරුණ වදාළ සේක: කේණියෙනි, බික්සඟහු මහත් වෙත්, අඩ තෙළෙස් යල් සියක් මහණහු වෙත්, තො ද වනාහි බ්‍රාහ්මණයන් කෙරෙහි අභිප්‍රසන්නයෙහි’යි. දෙවන වටත් කේණිය ජටිල භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ දැන්වීය: භවත් ගෞතමයන් වහන්ස, බික්සඟුන් මහත් වුව, අඩ තෙළෙස් යල් සියක් මහණුන් වුවද, මා ද බ්‍රාහ්මණයන් කෙරෙහි අභිප්‍රසන්න වුව ද, භවත් ගෞතමයන් වහන්සේ සෙට දවසට බික් සඟුන් සමග ම මගේ බත ඉවසත්වා”යි. තෙවන වටත් භාග්‍යවතුන් වහන්සේ කේණිය ජටිලයන් හට තෙල කරුණ වදාළ සේක: කේණියෙනි, බික්සඟහු මහත් වෙති, අඩ තෙළෙස්යල්සියක් මහණහු වෙත්, තොපද වනාහි බ්‍රාහ්මණයන් කෙරෙහි අභිප්‍රසන්නයෙහි’යි. තෙවන වටත් කේණිය ජටිල භාග්‍යවතුන් වහන්සේට තෙල කීය: භවද් ගෞතමයන් වහන්ස, බික්සඟුන් මහත් වුව, අඩ තෙළෙස්යල්සියක් මහණුන් වුව, මා ද බ්‍රාහ්මණයන් කෙරෙහි අභිප්‍රසන්න වුව, භවද් ගෞතමයන් වහන්සේ සෙටදස් සඳහා බික් සඟුන් හා සමග මාගේ බත ඉවසත්වා”යි.
භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් ඉවසා වදාළ සේක.
ඉක්බිති කේණිය ජටිල භාග්‍යවතුන් වහන්සේගේ අධිවාසනය දැන හුනස්නෙන් නැඟී සිය අසපුව කරා ගියේය. ගොස් මිත්‍රාමාත්‍යයන් හා නෑසාලේ නෑයන් ඇමතීය: භවත් මිත්‍රාමාත්‍යයෙනි, නෑසාලේ නෑයෙනි, මබස් අසව. මවිසින් බික්සඟුන් හා ශ්‍රමණ භවද් ගෞතමයෝ සෙට බතට නිමන්ත්‍රණය කරණ ලදහ. මට කයින් වතාවත් කරව”යි.
භවත්නි, එසේය යි කේණිය ජටිලගේ මිත්‍රාමාත්‍යයෝ ද නෑ සාලේ නෑයෝ ද කේණිය ජටිලයන් පිළිවදන් අස්වා ඇතැම් හු ගිනි උදුන් වළ කණිති, ඇතැම්හු දර පලති, ඇතැම්හු බඳුන් දොවති, ඇතැම්හු දිය සැළ තබති, ඇතැම්හු අසුන් පණවත්. කේණිය ජටිල තෙමෙ හේ මැ මණ්ඩල මාලය පිළියෙල කරයි.