3. 5.
මාඝ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජුකුළු පවුයෙහි වැඩ වසන සෙයෙක. එකල්හි මාඝ නම් බමුණු මණෙවු භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටුවියයුතු සිහිකටයුතු කථා නිමවා එකත්පසෙක හින. එකත්පසෙක් හුන් මාඝ මණෙවු භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ දැන්වීය.
භවත් ගෞතමයන් වහන්ස, මම වනාහි දානපති දායකයෙම් යදියන්ගේ බස් දන්නෙම් යදනට නිසි වූයෙම් ධර්‍මයෙන් භෝග සොයමි. දැහැමින් භෝග සොයා ධර්‍මයෙන් ලද, ධර්‍මාධිගත භෝගයෙන් එකක්හට ද දෙමි, දෙදෙනකුන්හට ද දෙමි, තිදෙනකුන්ට ද දෙමි, සතර දෙනකුන්ට ද දෙමි, පස්දෙනකුන්ට ද දෙමි, සදෙනකුන්ට ද දෙමි, සත්දෙනකුන්ට ද දෙමි, අටදෙනකුන්ට ද දෙමි, නවදෙනකුන්ට ද දෙමි, දසදෙනකුන්ට ද දෙමි, විසිදෙනකුන්ට ද දෙමි, තිස්දෙනකුන්ට ද දෙමි, සාලිස්දෙනන්හට ද දෙමි, පණස් දෙනකුන්ට ද දෙමි, සියදෙනකුන්ට ද දෙමි, ඉන් වැඩි බොහෝ දෙනකුන්ට ද දෙමි, භවත් ගෞතමයන් වහන්ස, කිම මම මෙසේ දන්දෙනුයෙම් මෙ සෙයින් යාග කරනෙම් බොහෝ පින් රැස් කරම් දැයි?
මාණවය, ඒකාන්තයෙන් මැ (තෝ මෙසෙයින් දන් දෙන්නෙහි මෙසෙයින් යාගකරන්නෙහි බොහෝ පින් රැස් කෙරෙහි. මාණවය, යම් දායකයෙක් දානපතිවූයේ යදියන්ගේ බස් දන්නේ යාචයෝග වූයේ ධර්‍මයෙන් භෝගපර්ය්‍යේෂණා කෙරේ නම්, ධර්‍මයෙන් භෝගපර්ය්‍යේෂණා කොට ධර්‍මලබ්ධි වූ ධර්‍මාධිගත වූ භෝගයෙන් එකකුහට ද දන් දේ නම් -පෙ- සිය දෙනකුන්හට දේ නම්, එයින් වැඩි දෙනකුන්ට ද දේ නම්, බොහෝ පින් රැස් කෙරේ යයි,
ඉක්බිති මාඝ මාණව භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය.
490. “මම වදන් දන්නා, කාෂායවස්ත්‍රධාරී වූ තෘෂ්ණායෙන් තොර ව හැසිරෙණ භවත් ගෞතමයන් වහන්සේ පුළුවුස්මි. යදනට නිසි, දානපත් වූ පුණ්‍යාර්ත්‍ථි යම් ගෘහස්ථයෙක් පින් කැමැතියේ යාග කෙරේ නම්, මෙලොව්හි මෙරමාහට අහර පැන් දෙන්නේ නම්, කොතන්හි යාගකරන්නහුගේ යාගය ශුද්ධවන්නේදැයි?” යි මෙසේ මාඝ ඇසීය.
491. “මෙ ලොව්හි පින් කැමැති මෙරමාහට ආහාරපාන දෙන දානපති වූ පුණ්‍යාර්ත්‍ථි ගෘහස්ථයෙක් යදනට නිසි වූයේ යාගකෙරේ නම්, හේ තාදී වූ ම දක්‍ෂිණාර්‍හයන් අරියන්නේය”යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
492. මෙලොව්හි යදනට නිසි, දානපති වූ පුණ්‍යාර්ත්‍ථි වූ යම් ගැහැවියෙක් පින් කැමැතියේ මෙරමාහට දන් දෙමින් යාග කෙරේ ද, භාග්‍යවතුන් වහන්ස, එබඳු මාහට දක්‍ෂිණාර්‍හයන් වදාළ මැනැවි.
493. ලෝකයෙහි යම් කෙනෙක් (රාගසඞ්ගාදි විසින්) නො ලැගියාහු පරිනිෂ්ඨිතකෘත්‍ය ඇතියාහු කිඤ්චන රහිත වූවාහු යතාත්ම වූවාහු හැසිරෙත් නම්, යම් බ්‍රාහ්මණයෙක් පින් කැමැතියේ යාග කෙරේ නම් නිසි කල්හි ඒ පුඟුලන් කෙරෙහි හව්‍යසඞ්ඛ්‍යාත දන් පිරිනමන්නේ ය.
494. යම් බමුණෙක් පින් කැමැතියේ යාග කෙරේ ද, හේ යම් කෙනෙක් හැම සංයෝජනබන්‍ධනයන් සිඳලූවාහු අනුත්තර දමථයෙන් දැමුනාහු ප්‍රඥා-චේතෝවිමුක්ති දෙකින් විමුක්තිවූවාහු (ආයතිවර්‍ත දුඃඛභාවයෙන්) ඊඝරහිත වූවාහු (ක්ලේශභාවයෙන්) ආශා රහිත වූවාහු වෙත් නම්, ඒ පුඟුලන් කෙරෙහි සුදුසු කල්හි හව්‍යය දානය කරන්නේය.
495. යම් බමුණෙක් පින් කැමැතියේ යාග කෙරේ නම් හේ, යම් කෙනෙක් සර්‍ව සංයෝජනයෙන් වෙසෙසින් මිදුනු දාන්තවූ විමුක්ත වූ අනීඝ වූ නිරාස වූහු නම් ඔවුන් කෙරෙහි නිසි කල්හි යඥශේෂය පවරන්නේ ය.
496. යම් බමුණෙක් පුණ්‍යාපේක්‍ෂා ඇතියේ යාග කරන්නේ නම් රාග දෝස, මෝහ හැර පියා ක්‍ෂීණාස්‍රව වූ වැසනිම කළ මඟබඹසර ඇති යම් කෙනෙක් වෙත් නම් නිසි කල්හි ඔවුන් කෙරෙහි හව්‍යය දෙන්නේ ය.
497. යම් බමුණෙක් පුණ්‍යාපේක්‍ෂා ඇතියේ යාගකෙරේ නම්, හේ යම් කෙනෙකුන් කෙරෙහි මායා නැද්ද, මාන නැද්ද, යම් කෙනෙක් පහ කළ ලෝභ ඇත්තාහු ද මමත්‍වයෙන් තොරවූවාහු ආශාරහිත වෙත් ද, ඔවුන් කෙරෙහි නිසි කල්හි දන් දෙන්නේ ය.
498. යම් බමුණෙක් පින්කැමැතියේ යාග කෙරේ නම් හෙ, යම් කෙනෙක් ඒකාන්තයෙන් කාම තෘෂ්ණාදියෙහි නො වැටුණාහු, චතුරෝඝය තරණය කොට මමත්‍වයෙන් තොරව හැසිරෙත් ද, ඔවුන් කෙරෙහි නිසි කල්හි දන්දෙන්නේ ය.
499. යම් බ්‍රාහ්මණයෙක් පින්කැමැතියේ යාග කෙරේ නම් හේ, යමකුන්හට මෙලොව්හි වේවයි, පරලොව්හි වේවයි කිසිදු ලොවෙක්හි ශාශ්වත උච්ඡේද විසින් නොහොත් පුනර්‍භවයාගේ අනඟිනිර්‍වෘතිය සඳහා තෘෂ්ණා නැත් ද, ඔවුන් කෙරෙහි නිසි කල්හි හව්‍යය දෙන්නේ ය.