3. 4.
සුන්‍දරිකභාරද්වාජ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කෝශල ජනපදයෙහි සුන්‍දරිකා නදීතීරයෙහි වැඩ වසනසේක. එකල්හි සුන්‍දරිකභාරද්වාජ බ්‍රාහ්මණ සුන්‍දරිකා හෝ තෙරැ ගිනි පුදයි. අග්න්‍යායතන පරිචරණ කෙරෙයි. ඉක්බිති සුන්‍දරිකභාරද්වාජ බ්‍රාහ්මණ ගිනි පුදා අග්න්‍යායතන පරිචරණ කොට හුනස්නෙන් නැග කවරෙක් මෙ හුතාවශේෂය බුදුනේය යි වටා සිව් දික් බැලීය. සුන්‍දරිකභාරද්වාජබ්‍රාහ්මණ නුදුරෙහි එක්තරා රුක්මුලෙක්හි හිස වටා පෙරවූ කහවත් ඇතිවැ වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දිටී. දැක වමතින් හව්‍යශේෂය ගෙණ දකුණතින් කමණ්ඩලාව (කෙංඩිය) ගෙණ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේය.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ සුන්‍දරිකභාරද්වාජ බ්‍රාහ්මණයාගේ පියහඬින් හිස විවර කළසේක. එක්බිති මෙ භවත් මුඬෙක, මෙ භවත් මුණ්ඩකයෙකැයි එතැනින් මැ පෙර ලා නවතිනු කැමැතියේ වියැ. එකල්හි සුන්‍දරිකභාරද්වාජබමුණුහට තෙල සිත විය:
“මෙ ලොව්හි ඇතැම් මුඬුබමුණෝත් ඇත. මම් තුලුන් වෙතැ ගොස් දෑ පුළුවුස්නෙම් මනාය”යි. එක්බිති සුන්‍දරිකභාරද්වාජබ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේට තෙල බස් කීය: භවත් කිනම් ජාති ඇතියේ” දැ?යි. එකල්හි භාග්‍යවතුන්වහන්සේ සුන්‍දරිකභාරද්වාජ බමුණුහට ගාථායෙන් කරුණුගන්වා වදාළහ.
457. බ්‍රාහ්මණයෙම් නො වෙම්මැ යැ. රාජපුත්‍රයෙම් ද නො වෙමි. වෛශ්‍යගෝත්‍රඇතියෙම් ද නොවෙමි. වැලිත් (ශ්‍රද්‍රාදි) අන්කිසිවෙකිම් ද නො වෙමි. පුහුදුනන් ගේ ගෝත්‍ර (ත්‍රිවිධපරිඥායෙන්) පිරිසිඳ දැන රාගාදිකිඤ්චන නැතියෙම් ප්‍රඥායෙන් ලොව්හි හැසිරෙම්.
458. සඟලසිවුරු දැරුයෙම් (තෘෂ්ණාසඞ්ඛ්‍යාත) ගෘහ නැතියෙම්, බහාලු කෙස්රවුළු ඇතියෙම්, අතිශයින් නිවුනු සිතැතියෙම්, මෙලොව්හි මනුෂ්‍යන් හා නො ඇලෙන්නෙම් හැසිරෙමි. බමුණ, (එහෙයින් තෝ) මා අතින් අකල්‍ය ගෝත්‍රප්‍රශ්න පුළුවුස්හි.
459. භවත්නි, බ්‍රාහ්මණයෝ බමුණන් හා සමග භවත් බ්‍රාහ්මණයෙහිනුයි? එකැතින් පුළුවුස්නාහ. ඉදින් තො ද ‘මා අබ්‍රාහ්ම’යි කියහි නම් සූවිසි අකුරු ඇති (බුද්ධං සරණං ගච්ඡා මි, ධම්මං සරණං ගච්ඡා මි, සඞ්ඝං සරණං ගච්ඡා මි යන) ත්‍රිපද යුක්තවූ ආර්‍ය්‍ය සාවිත්‍රිය තා පුළුවුස්මි.
460. මෙලොව්හි ඍෂිහූත් බ්‍රාහ්මණයෝත් තදන්‍ය බොහෝ මනුෂ්‍යයෝත් දෙවියනට කවර නම් අධිප්‍රාය ඇතිව යඥාකළාහු ද? යමෙක් (ත්‍රිවිධ පරිඥායෙන්) වර්ත්තයාගේ අන්තයට ගියේ (සිවුමගනැණ නම් වූ) වේදයෙහි කෙල පැමිණියේ යඥකාලයෙහි යමෙකුගේ (දේයධර්‍ම සඞ්ඛ්‍යාත) ආහුතියක් ලබා නම්, ඔහුගේ එ යඥකර්‍මය සමෘද්ධ වන්නේයයි කියමි.
461. යම්හෙයකින් තොප බඳු වේදසඞ්ඛ්‍යාත චතුර්මාර්‍ගඥානයේ කෙළපැමිණියකු දක්නමෝ නම්, ඒකාන්තයෙන් මැ ඒ මාගේ (දේයධර්‍මසඞ්ඛ්‍යාත) මෙ හුතය සමෘද්ධ වන්නේය. (මහත් ඵල වෙයි) තොප වැන්නවුන්ගේ අදර්‍ශනහේතුයෙන් මැ අන් දෙනේ (චරුක හා පූවසඞඛ්‍යාත) භව්‍යශේෂය( පුරෝඩාශය) වලඳනේය යි (බ්‍රාහ්මණ කීය.)