3. 3.
සුභාසිත සූත්රය
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර අසලැ අනේපිඬුහු ගේ ජේතවන නම් අරම්හි වැඩවසනසේක -පෙ- භාග්යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක.
මහණෙනි, කරුණු සතරෙකින් සමන්වාගත වාක් සුභාෂිත වෙයි දුර්භාෂිත නොවෙයි. අනවද්ය ද වෙයි. විඥයන් විසින් අනුවාද නො කටයුතු ද වේ. කවර සතෙරකින යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණ සුභාෂිතය මැ කියයි, දුර්භාෂිත නො කියයි. ධර්මය මැ කියයි, අධර්ම නො කියයි. ප්රියතෙපුල් මැ කියයි, අප්රියවචන නො කියයි. සත්යය මැ කියයි, අලීක නොකියයි. මහණෙනි, මෙ කරුණු සතරින් සමන්වාගත වාක් සුභාෂිත වෙයි, දුර්භාෂිත නො වෙයි. අනවද්ය ද වෙයි. විඥයන් විසින් නො ගැරැහියයුතු වේ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක. මෙය වදාරා සුගතශාස්තෘන් වහන්සේ ඉක්බිති තෙල ගාථා ද වදාළසේක.
452. බුද්ධාදි සත්පුරුෂයෝ සුභාෂිතය උතුමැයි කීහු: (පළමු අඞ්ගය) ධර්මය මැ කියනේය, අධර්මය නො කියන්නේය යන එය දෙවන අඞ්ගය. ප්රියවචන මැ කියනේය, අප්රියවචන නො කියන්නේය යන එය තෙවන අඞ්ගය. සත්යය කියනේය, අලීක (බොරු) නො කියන්නේය යන එය සතරවන අඞ්ගය.
එක්බිති ආයුෂ්මත් වඞ්ගීස තෙරණුවෝ හුනස්නෙන් නැගැ සිවුර එකස්හි ලා භාග්යවතුන් වහන්සේ වෙතැ ඇඳිලි බැඳ භාග්යවතුන් වහන්සේට තෙල සැළ කළේය. භාග්යවතුන් වහන්ස, මට වැටැහෙයි, සුගතයන් වහන්ස, මට වැටැහෙයි.
“වඞ්ගීසයෙනි, ඒ තට වැටැහේවා” යි භාග්යවතුන් වහන්සේ වදාළසේක.
එක්බිති ආයුෂ්මත් වඞ්ගීස තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ හමුයෙහි සාරුප්ය ගාථායෙන් පැවසූහ.
453. යම් බසෙකින් තමා නො තවන්නේ නම්, මෙරමාත් නො පෙළන්නේ නම්, ඒ බස් ම කියන්නේය. ඒකාන්තයෙන් ඒ වචන මැ සුභාෂිත වේ.
454. යම් බසෙක් අභිනන්දිත වේ නම්, අප්රියවචන නො ගෙණ මෙරමාහට යම් ප්රිය වචනයක් කියා නම්, එබඳු ප්රියවචන ම කියන්නේය.
455. “ඒකාන්තයෙන් සත්යය අමෘතසදෘශවචනයි යන තෙල පෞරාණික ධර්මය”යි සත්යයෙහි හා අර්ත්ථයෙහි හා ධර්මයෙහි පිහිටි සත්පුරුෂයෝ කීහ.
456. ක්ලේශපරිනිර්වාණප්රාප්තිය සඳහා සංසාරදුඃඛයා ගේ අන්තකරණය සඳහා ද යම් නිරුපද්රව වචනයක් බුදුරජානන්වහන්සේ වදාරත් නම් ඒකාන්තයෙන් එය වචනයන් අතුරෙහි උත්තම වේ යි.
සුභාසිත සූත්රය නිමි.
3. 4.
සුන්දරිකභාරද්වාජ සූත්රය
මා විසින් මෙසේ අසන ලදී: එක්සමයෙක්හි භාග්යවතුන් වහන්සේ කෝශල ජනපදයෙහි සුන්දරිකා නදීතීරයෙහි වැඩ වසනසේක. එකල්හි සුන්දරිකභාරද්වාජ බ්රාහ්මණ සුන්දරිකා හෝ තෙරැ ගිනි පුදයි. අග්න්යායතන පරිචරණ කෙරෙයි. ඉක්බිති සුන්දරිකභාරද්වාජ බ්රාහ්මණ ගිනි පුදා අග්න්යායතන පරිචරණ කොට හුනස්නෙන් නැග කවරෙක් මෙ හුතාවශේෂය බුදුනේය යි වටා සිව් දික් බැලීය. සුන්දරිකභාරද්වාජබ්රාහ්මණ නුදුරෙහි එක්තරා රුක්මුලෙක්හි හිස වටා පෙරවූ කහවත් ඇතිවැ වැඩහුන් භාග්යවතුන් වහන්සේ දිටී. දැක වමතින් හව්යශේෂය ගෙණ දකුණතින් කමණ්ඩලාව (කෙංඩිය) ගෙණ භාග්යවතුන් වහන්සේ කරා එළැඹියේය.