2-4. සත්කායදෘෂ්ටිය
සත්කායදෘෂ්ටියෙහි කවර විසි අයුරෙකින් අභිනිවේශය වෙයි යත්:
මෙලොවැ (බුද්ධාදි) ආර්‍ය්‍යයන් නො දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත වූ සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂධර්‍මයෙහි අදක්‍ෂ වූ සත්පුරුෂධර්‍මයෙහි අවිනීත වූ අශ්‍රැතවත් පෘථග්ජන තෙම රූපය ආත්මවශයෙන් (විපරීතසංඥායෙන්) දකී. ආත්මය රූපවත් කොට හෝ, රූප ආත්මයෙහි ලා හෝ, ආත්මය රූපයෙහි ලා හෝ වේදනාව ... සංඥාව ... සංස්කාරයන් ... විඥානය ආත්මවශයෙන් දකී. ආත්මය විඥානවත් කොට හෝ, විඥානය ආත්මයෙහි ලා හෝ, ආත්මය විඥානයෙහි ලා හෝ දකී.
කිසෙයින් රූපය ආත්මවශයෙන් දකී ද යත්: මෙලොවැ ඇතැමෙක් පඨවිකසිණය ... ඕදාතකසිණය ආත්මවශයෙන් දකී. යමෙක් ඔදාතකසිණ වේ ද හේ මම් වෙමි, යමෙක් මම් වේ ද ඒ ඔදාතකසිණ වේ’යයි ඕදාතකසිණයත් තමාත් එකක් මැ කොට දකී. යම්සේ දැල්වෙන පහනක්හුගේ ... එපරිද්දෙන් මැ මෙලොව ඇතැමෛක් ඕදාතකසිණය ආත්මවශයෙන් දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ ... මේ පළමුවන වූ රූපවස්තුකසත්කායදෘෂ්ටි වේ. සත්කාය දෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි ය ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි මෙසෙයින් රූපය ආත්මවශයෙන් දකී. සත්කායදෘෂ්ටියෙහි මේ විසිඅයුරින් අභිනිවේශය වේ.
2-5. සත්කායවස්තුකශාශ්වතදෘෂ්ටිය
සත්කායවස්තුකශාශ්වතදෘෂ්ටියෙහි කවර පසළොස් අයුරෙකින් අභිනිවේශය වෙයි යත්:
මෙලොවැ ආර්‍ය්‍යයන් නො දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත වූ සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂධර්‍මයෙහි අදක්‍ෂ වූ සත්පුරුෂධර්‍මයෙහි අවිනීත වූ අශ්‍රැතවත් පෘථග්ජන තෙම ආත්මය රූපවත් කොට හෝ රූපය ආත්මයෙහි ලා හෝ ආත්මය රූපයෙහි ලා හෝ ආත්මය වේදනාවත් කොට හෝ ... ආත්මය සංඥාවත් කොට හෝ ... ආත්මය සංස්කාරවත් කොට හෝ ... ආත්මය විඥානවත් කොට හෝ ... විඥානය ආත්මයෙහි ලා හෝ .. ආත්මය විඥානයෙහි ලා හෝ දකී.
කිසෙයින් ආත්මය රූපවත් කොට දකී ද යත්: මෙලොවැ ඇතැමෙක් වේදනාව සංඥාව සංස්කාරයන් විඥානය ආත්මවශයෙන් දකී. ඔහුට මෙබඳු සිතෙක් වෙයි ‘මේ වූකලි මාගේ ආත්ම යැ, වැළිත් මාගේ මේ ආත්මය තෙම මේ රූපයෙන් රූපවත් වේ’යයි ආත්මය රූපවත් කොට දකී. යම්සේ ඡායාසම්පන්න වෘක්‍ෂයෙක් වන්නේ ද, එය ගැන පුරුෂයෙක් මෙසේ කියන්නේ ද: ‘මේ වෘක්‍ෂ යැ, මේ ඡායා යැ, වෘක්‍ෂය අනෙකෙක, ඡායාව අනෙකෙකි. වැළිත් ඒ මේ වෘක්‍ෂය මේ ඡායායෙන් ඡායාවත් වේ’යයි (මෙසේ) වෘක්‍ෂය ඡායාවත් කොට දකී ද, එපරිද්දෙන් මැ මොලොව ඇතැමෙක් වේදනාව ... මේ පළමුවනු වූ සත්කායවස්තුක ශාශ්වතදෘෂ්ටි නම. ශාශ්වතදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් ආත්මය රූපවත් කොට දකී ... සත්කායවස්තුක ශාශ්වතදෘෂ්ටියෙහි මේ පසළොස් අයුරින් අභිනිවේශය වේ.
2-6. සත්කාය වස්තුක උච්ඡේද දෘෂ්ටිය
කවර පස් අයුරෙකින් සත්කාය වස්තුක උච්ඡේද දෘෂ්ටියෙහි අභිනිවේශය වේ ද යත්:
මෙ ලොවැ ආර්‍ය්‍යයන් නො දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත වූ සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂධර්‍මයෙහි අදක්‍ෂ වූ සත්පුරුෂ ධර්‍මයෙහි අවිනීත වූ අශ්‍රැතවත් වූ පෘථග්ජන තෙම රූපය ආත්මවශයෙන් දකී. වේදනාව ආත්මවශයෙන් දකී, සංඥාව ආත්මවශයෙන් දකී, සංස්කාරයන් ආත්මවශයෙන් දකී, විඥානය ආත්මවශයෙන් දකී.
කිසෙයින් රූපය ආත්මවශයෙන් දක්නේ ද යත්: මෙලොවැ ඇතැමෙක් පඨවිකසිණය ... ඕදාතකසිණය ආත්මවශයෙන් දකී. යමෙක් ඕදාතකසිණය වේ ද හේ මම් වෙමි, යමෙක් මම් වේ ද ඒ ඔදාතකසිණ වේ’ යයි ඕදාතකසිණයත් තමාත් එකක් මැ කොට දකී. යම්සේ දැල්වෙන තෙල් පහනක්හු ගේ ... මේ පළමුවනු වු සත්කාය වස්තුක උච්ඡේදදෘෂ්ටි නම. උච්ඡේදදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් රූපය ආත්මවශයෙන් දකී ... මේ පස් අයුරින් සත්කායවස්තුක උච්ඡේදදෘෂ්ටියෙහි අභිනිවේශය වේ.