1. මහා වර්‍ගය
ඒ භගවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේ ට නමස්කාර වේවා.
1.
ඥාන කතා
මාතෘකා
1. ශ්‍රෝත්‍රද්වාරානුසාරයෙන් දන්නා ලද ධර්‍මජාතයෙහි (ශ්‍රැතියෙහි) පැවැති ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.
2. ශ්‍රවණය කොට (ශ්‍රවණ හේතුයෙන්) සංවරයෙහි පැවැති ප්‍රඥාව ශීලමයඥාන යැ.
3. ශීලයෙන් සංවෘත වැ සිත එකඟ කිරීමෙහි පැවැති ප්‍රඥාව සමාධි භාවනාමයඥාන යැ.
4. ප්‍රත්‍යයධර්‍මයන් පිරිසිඳ දැනීමෙහි ප්‍රඥාව ධර්‍මස්ථිතිඥාන යැ.
5. අතීතානාගතප්‍රත්‍යුත්පන්න (පඤ්චස්කන්‍ධ) ධර්‍මයන් (කලාප විසින්) රැස් කොට නිශ්චය කිරීමෙහි ප්‍රඥාව සම්මර්‍ශනඥාන යැ.
6. ප්‍රත්‍යුත්පන්න වූ ස්කන්‍ධධර්‍මයන්ගේ විපරිණාමය දැකීමෙහි ප්‍රඥාව උදයව්‍යානුදර්‍ශනඥාන යැ.
7. රූපාදි ආලම්බනය ප්‍රත්‍යවේක්‍ෂා කොට භඞ්ගවශයෙන් දැකීමෙහි ප්‍රඥාව විදර්‍ශනාඥාන යැ.
8. උත්පාදාදිය භය වශයෙන් වැටහීමෙහි ප්‍රඥාව ආදීනවඥාන යැ.
9. (උත්පාදාදිය) මුදාලන්නට කැමැති බව ද ප්‍රත්‍යවේක්‍ෂාව ද අධ්‍යුපේක්‍ෂණය ද යන (ත්‍රිවිධ) ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂාඥාන යැ.
10. සංස්කාර නිමිත්තෙන් නැඟී සිටුනා එයට පරාඞ්මුඛ වීමෙහි ප්‍රඥාව ගෝත්‍රභූඥාන යැ.
11. (කෙලෙසුන් කෙරෙන් ද, තදනුවර්‍තක ස්කන්‍ධයන් කෙරෙන් ද යන) දෙකින් නැඟී සිටුනා එයට පරාඞ්මුඛ වීමෙහි ප්‍රඥාව මාර්‍ගඥාන යැ.
12. (උභතොවුට්ඨානයෙහි) ප්‍රයෝගයාගේ නිෂ්ඨාව (සතර මාර්‍ගකෘත්‍ය පර්‍ය්‍යවසානය) ට හේතු වූ ප්‍රඥාව ඵලඥාන යැ.
13. ඒ ඒ මාර්‍ගයෙන් සිඳුණු කෙලෙස්වට ප්‍රත්‍යවේක්‍ෂා කිරීමෙහි ප්‍රඥාව විමුක්තිඥාන යැ.
14. ඒ මාර්‍ගඵලක්‍ෂණයෙහි (ප්‍රතිලාභප්‍රතිවේධ වශයෙන්) පැමිණි (මාර්‍ගඵලචතුස්සත්‍ය) ධර්‍මයන් දක්නා ප්‍රඥාව ප්‍රත්‍යවේක්‍ෂාඥාන යැ.
15. අධ්‍යාත්ම (ආධ්‍යාත්මිකෂඩායතන) යන් පිරිසිඳ දැනීමෙහි ප්‍රඥාව වස්තුනානාත්‍වඥාන යැ.
16. බාහිරවිෂයයන් පිරිසිඳ දැනීමේ ප්‍රඥාව ගෝචරනානාත්‍වඥාන යැ.
17. (විඥානචර්‍ය්‍යාදී වශයෙන්) චර්‍ය්‍යාවන් පිරිසිඳ දැනීමේ ප්‍රඥාව චර්‍ය්‍යනානාත්‍වඥාන යැ.
18. සතර සතර ධර්‍මයන් පිරිසිඳ දැනීමේ ප්‍රඥාව භූමිනානාත්‍වඥාන යැ.
19. නව නව ධර්‍මයන් පිරිසිඳ දැනීමේ ප්‍රඥාව ධර්‍මනානාත්‍වඥාන යැ.
20. අභිඥාප්‍රඥාව ඥාතාර්‍ත්‍ථ (ජානනස්වභාව) ඥාන යැ.
21. පරිඥාප්‍රඥාව තීරණාර්‍ත්‍ථඥාන යැ.
22. ප්‍රහාණප්‍රඥාව පරිත්‍යාගාර්‍ත්‍ථඥාන යැ.
23. භාවනා ප්‍රඥාව ඒකරසාර්‍ත්‍ථඥාන යැ.
24. (ප්‍රතිවේධ ප්‍රතිලාභ වශයෙන්) සාක්‍ෂාත් කරන ප්‍රඥාව ස්පර්‍ශනානාර්‍ත්‍ථ ඥාන යැ.
25. අර්‍ත්‍ථනානාත්‍වයෙහි ප්‍රඥාව අර්‍ත්‍ථප්‍රතිසංවිද්ඥාන යැ.
26. ධර්‍මනානාත්‍වයෙහි ප්‍රඥාව ධර්‍මප්‍රතිසංවිද්ඥාන යැ.
27. නිරුක්තිනානාත්‍වයෙහි ප්‍රඥාව නිරුක්තිප්‍රතිසංවිද්ඥාන යැ.
28. ප්‍රතිභානනානාත්‍වයෙහි ප්‍රඥාව ප්‍රතිභානසංවිද්ඥාන යැ.
29. (අනිත්‍යානුදර්‍ශානාදි) විහාරනානාත්‍වයෙහි ප්‍රඥාව විහාරාර්‍ත්‍ථඥාන යැ.
30. සමාපත්තිනානාත්‍වයෙහි ප්‍රඥාව සමාපත්ත්‍යර්‍ත්‍ථඥාන යැ.
31. විහාරසමාපත්තිනානාත්‍වයෙහි ප්‍රඥාව විහාරසමාපත්ත්‍යර්‍ත්‍ථඥාන යැ.
32. අවික්‍ෂේපපරිශුද්ධභාවයෙන් කාමාදි ආස්‍රවයන්ගේ සමුච්ඡෙදයෙහි ප්‍රඥාව ආනන්තරික (මාර්‍ග) සමාධිඥාන යැ.
33. දර්‍ශනාධිපතිභාවය ද, ශාන්තවිහාරාධිගමය ද, ප්‍රණීතාධිමුක්තතා ද යන (ත්‍රිවිධ) ප්‍රඥාව අරණවිහාරඥන යැ.
34. ශමථවිදර්‍ශනා යන බල දෙකින් සමන්‍වාගත බැවින් (වාචාදි) තුන් සංස්කාරයන්ගේ ද නිරුද්ධ කිරීමෙන් ෂොඩෂඥානචර්‍ය්‍යායෙන් නවසමාධිචර්‍ය්‍යායෙන් වශීභාවය ඇති ප්‍රඥාව නිරෝධසමාපත්තිඥාන යැ.
35. සම්‍යග්ඥාන ඇත්තහුගේ ක්ලේශ - ස්කන්‍ධප්‍රවෘත්ති ක්‍ෂය කිරීමෙහි ප්‍රඥාව පරිනිර්‍වාණඥාන යැ.
36. සියලු ත්‍රෛභූමික ධර්‍මයන් මොනොවට නිරුද්ධ කිරීමෙහි ද නිරුද්ධ කළ කල්හි නැවත නො ඉපදීමෙහි ද ප්‍රඥාව සමශීර්‍ෂාර්‍ත්‍ථඥාන යැ.
37. පෘතග්රාගයන්ගේ ද කාමච්ඡන්‍දාදීන්ගේ ද දුශ්ශීල්‍යාදීන්ගේ ද ක්‍ෂය කිරීමෙහි ප්‍රඥාව සල්ලේඛාර්‍ත්‍ථඥාන යැ.